ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දුලබ පිළිකාවකින් පෙළුණු "අසාමාන්‍ය" ශ්‍රී ලාංකික දරුවා ඇමෙරිකාවේදී මියයයි
අවුරුදු සයක කෙටි කාලයක් තුළ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාදරය දිනූ ශ්‍රී ලාංකික දරුවෙකු දුර්ලභ පිළිකා රෝග තත්ත්වයක් නිසා මිය ගොස් තිබේ.
ඔහු නමින් යෙනුල ආර්ය හෙන්නක නමැති විය.
ඇමෙරිකාවේ ඔහායෝහි පදිංචිවී සිටි යෙනුල වසර දෙකකට අධික කාලයක් 'යූවින් සාර්කෝමා' නමැති දුර්ලභ පිළිකා රෝගයෙන් පෙළිණි.
යූවින් සාර්කෝමා යනු අස්ථි තුළ හෝ අස්ථි වටා ඇති මෘදු මාංශ පේශිවල හටගන්නා පිළිකාවකි. මෙය ළමුන් සහ තරුණයින් අතර වැඩි වශයෙන් දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි.
"අසාමාන්‍ය දරුවෙක්"
සිය පුතණුවන් අසාමාන්‍ය හැකියාවන් සහිත දරුවෙකු බව ඔහුගේ දෙමාපියන් වන ප්‍රදීප් ඉන්දික හෙන්නක සහ චතුරිකා හෙන්නක පවසති.
"එයා අපි එක්ක හිටිය ඒ ටික කාලයට ගොඩක් වැඩ කළා. කතා නිර්මාණය කළා. ඒ කතාවලින් චිත්‍රපට හැදුවා. කවි සහ ගීත ලිව්වා. ඒ ඔක්කොම කළේ පිළිකාවෙන් පීඩා විඳින අතරතුරදි. ඒ වගේ ම එයාට හැමෝම ආදරය කළා. හැම තැනක දී ම එයාට ආදරය හිමි වුණා," යෙනුලගේ මව ඇමෙරිකානු මාධ්‍ය වෙත පවසා තිබිණි.
යෙනුල හෙන්නක කුඩා අවධියේ සිට ම කවි සහ ගීත රචනයට යොමු වී ඇති අතර, ඔහු 'Wind of escape' නමින් කාව්‍ය සංග්‍රහයක් ද පළ කළේ ය. එහි සිතුවම් නිර්මාණය ද ඔහු විසින් සිදුවීම විශේෂත්වයකි.
ඇමෙරිකානුවෙකු වූ හැටි
යෙනුලගේ පියා වන ප්‍රදීප් ඉන්දික හෙන්නක වසර 20ක කාලයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ රියැදුරෙකු ලෙස සේවය කරන අතර මව වන චතුරිකා මීට වසර අටකට පමණ පෙර ඇමෙරිකාවට පැමිණ තිබේ. ඇය පෙර පාසල් ගුරු සහායිකාවක ලෙස සේවය කරයි.
මීට වසර සයකට පෙර යෙනුල උපත ලැබුවේ ස්ටැටන් අයිලන්ඩ් යුනිවර්සිටි රෝහලේ දී ය. ඔහු ක්ලෝව් වැලී විද්‍යාලයයේ ඉගෙනුම ලැබීය.
ඔහු පිළිකා රෝගියෙකු බව හදුනාගෙන ඇත්තේ 2020 වසරේ ජූලි මාසයේ දී ය. ඉන්පසු ඔහු අඛණ්ඩව ප්‍රතිකාර ලබා ගත්බව දෙමාපියෝ පවසති.
දුර්ලභ පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විඳි ඔහු පසුගිය පෙබරවාරි 24 වන දා අවසන් හුස්ම හෙළීය.
යෙනුලගේ පවුලේ සාමාජිකයින් ඔහු වෙනුවෙන් සටහනක් තබා තිබිණි.
"යෙනුල, ඔබ නැති අඩුව අපට දැඩිව දැනෙනු ඇත. දිනෙක අපි යළිත් මුණ ගැසෙමු."