අධ්‍යාපනය : වෛද්‍යවරයෙකු වීමට සිහින දකින කිසිදා පාසලකට නොගිය දරුවෙක්

කිසිදා පාසලකට නොගිය තමන්ගේ සිහිනය වෛද්‍යවරයෙකු වීම බව මැදවච්චිය නගරය ආසන්නයේ ජීවත් වෙන අවුරුදු අටක් වයසැති මධුෂාන් ජයසිංහ BBC සිංහල සේවයට පැවසුවේය.

මෙම දරුවා සිය පියා සමග මැදවච්චිය නගරයේ 'සපත්තු මහන' කටයුතු සිදු කරයි.

ආර්ථික අපසහසුතා නිසා දරුවන් තිදෙනාටම නිසි අධ්‍යාපනයක් ලබා දීමට නොහැකි වූ බව මදුෂාන්ගේ පියා වන සිරිල් ජයසිංහ පවසයි.

මේ වන විට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීමේ වැඩපිළිවලක් රට තුළ ක්‍රියාත්මක වේ.

98 අංක 16 දරන චක්‍ර ලේඛය අනුව, අනිවාර්ය අධ්‍යාපන පනත යටතේ අවුරුදු 05 - 16 වයස් සීමාවේ දරුවෙක් ඕනෑම අවස්ථාවක පාසලකට ඇතුළත් කිරීමේ හැකියාව තිබේ.

2017 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව 92.6% කි. එහෙත් දරුවන්ගේ අනාගතය මෙලෙස අඳුරු වන්නේ කෙසේදැයි දරුවන්ගේ භාරකරුවන් මෙන්ම වගකිය යුතු නිලධරීන් ද අවධානය යොමු කළ යුතුව ඇත.