ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වීඩියෝ ක්‍රීඩා ව්‍යාධිය: තාක්ෂණයේ දියුණුව නිසා දරුවන්ට වැළඳෙන අලුත්ම රෝගය
"අපි වැඩිහිටියන්ගේ ඇබ්බැහිවීම් හැටියට වැඩිපුර කතා කරන්නේ මත්පැන් හෝ මත්ද්‍රව්‍ය පිළිබඳවයි. නමුත් ළමුන්, නව යව්වනයන්ගේ සහ තරුණයන්ගේ ඇබ්බැහිවීම් ඇතිවී තිබෙන්නේ නව තාක්ෂණික උපකරණත් සමගයි."
බීබීසී සිංහල සේවය සමග දරුවන්ගේ ඇබ්බැහිවීම් අතර රෝග තත්වයක් දක්වා වර්ධනයවූ 'වීඩියෝ ක්‍රීඩා ව්‍යාධිය' පිලිබඳ එසේ අදහස් දැක්වුයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් ය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, පෞද්ගලික, පවුල්, සමාජ ජීවිතයේ සහ අධ්‍යාපන, රැකියා හෝ වෙනත් වැදගත් කාර්යයන්ට දැඩි ලෙස බලපාන පරිදි අවම වශයෙන් වසරක කාලයක් තිස්සේ වීඩියෝ ක්‍රීඩාව හේතුවෙන් ඇතිවිය හැකි සැළකිය යුතු මට්ටමේ අක්‍රීය බව 'වීඩියෝ ක්‍රීඩා ව්‍යාධිය' ලෙස හැඳින්වේ. ඒ අනුව, එය අන්තර්ජාතික රෝග වර්ගීකරණයට ඇතුළත් කර ඇත. දිනකට පැය හතරකට වඩා යමෙක් වීඩියෝ ක්‍රීඩාවේ යෙදේ නම් එය ව්‍යාධියක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ථ දක්වයි.
දැනට අන්තර්ජාලයේ සහ වෙළෙඳ පොළේ, සරල වීඩියෝ ක්‍රීඩාවල සිට ත්‍රාස ජනක එනම්, මිනිසුන් මරා දමන, හිංසා කරන, යුද්ධ ක්‍රීඩා දක්වා පරාසයන් තුළ විහිද ගොස් තිබෙන වීඩියෝ ක්‍රීඩා දැකිය හැකිය. ඒ අනුව සමහර ක්‍රීඩාවල ජග්‍රහණය තීරණය වන්නේ අවම ආයුධ භාවිතයෙන් උපරිම මිනිසුන් මරාදමන තරමටය.
"මේවා ඉතා දරුණු තේමාවන් සහිත පරිගනක ක්‍රීඩා. මේ තේමාවන් සහිත පරිගනක ක්‍රීඩාවේ යෙදීම මගින් දරුවන්ට පහරදීම්, ලේ දැකීම් සාමාන්‍ය සිද්ධි බවට පත් වෙනවා. මේවා දරුවාගේ සමාජ ජීවිතයට එකතු වෙනවා. මොකද දරුවෙක් කියන්නේ සමාජය දෙස බලා ඉගෙන ගන්නා කෙනෙක්," මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් ප්‍රකාශ කරයි.
වීඩියෝ ක්‍රීඩා සඳහා ඇබ්බැහි වීම මගින් සිදුවිය හැකි හානිකර තත්ත්වයන් ලෙස මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මතු සඳහන් කරුණු ගෙනහැර දක්වයි:
- අධ්‍යාපනය කටයුතු සඳහා ඇති කාලය අහිමිවීම
- පවුලේ අය, යහලුවන් හෝ සමාජය සමග ගතකිරීමට ඇති කාලය ප්‍රමාණවත් නොවීම මගින් අත්දැකීම් අඩු පුද්ගලයෙක් බිහිවීම
- සෞන්දර්යය කෙරෙහි නැඹුරුවක් නොමැති වීමෙන් රස වින්ඳනාත්මක හැකියාව නොලැබීම
- කියවීමෙන්, සාමූහික ක්‍රීඩා කිරීමෙන්, සාමූහික ක්‍රියාකාරකම්වල යෙදීමෙන් මොලයේ සතුට දැනීමේ පරිපත සක්‍රීයවන බව ඔවුන්ට අත්දැකීම් නොමැතිවීම
- මේ ක්‍රියාවට විරුද්ධවන දෙමාපියන් ඥාතීන් සමග ගැටුම් ඇතිකර ගැනීම
- දෙමාපියන් හතුරන් ලෙස දකින්නට හුරුවීමෙන් දෙමාපිය සබඳතා අහිමිවීම
- නව යෞවනයෙක් ලෙස තමන්ට ස්වාධීන වීමට ඇති අවස්ථා අහිමි කරගැනීම
- සමාජ සබඳතා නැති පුද්ගලයන් බවට පත්වීම
- අත්දැකීම් නොමැති බැවින් ගැටලුවලට විසඳුම් සෙවීම වැනි සමාජ කුසලතා නොමැති පුද්ගලයන් බවට පත්වීම
- වැඩි කාලයක් විද්‍යුත් තිරය දෙස ඇස් යොමුවී ඇති නිසා විවිධ දෘෂ්‍යාබාධ ඇතිවීමේ හැකියාව
- ව්‍යායාම සිදු නොවන බැවින් කායික දුබලතා (ස්ථුලතාව, අලසකම වැනි) ඇති පුද්ගලයන් බවට පත්වීම
"දරුවෙක් වීඩියෝ ක්‍රීඩා කරන්නේ යම් කිසි කාල සීමාවක් තුළ පාලනයකින් යුතුව නම් ඒ දරුවා සම්පූර්ණයෙන් ඉවත් කරන්න කියා මනෝ වෛද්‍යවරු හැටියට අපට කියන්න බැහැ," ඔහු පවසයි.
සමස්ථයක් ලෙස දරුවෙක් දිනකට රූපවාහිනිය නැරඹීමට සහ වීඩියෝ ක්‍රීඩා කිරීමට ගතකරන කාලය පැය දෙකකට අඩු නම් එය ඇබ්බැහිවීම් යටතට නොගැනෙන බව මනෝ වෛද්‍ය විශේෂඥවරයා ප්‍රකාශ කරයි.
පාලනයක් සහිතව වීඩියෝ ක්‍රීඩා කිරීම මගින් දරුවන්ගේ ආතතිය පාලනයවන බවත් නොයෙක් කුසලතා වර්ධනයවන බවත් නොයෙක් පර්යේෂණවලදී අනාවරණයවී තිබේ.
එසේම, මහා බ්‍රිතාන්‍යයේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ ක්ලෙයා වී හචින්සන් (Claire V. Hutchinson) සහ ඇගේ පර්යේෂණ කණ්ඩායම වීඩියෝ ක්‍රීඩා පුහුණුව ඔස්සේ අවධානය පාලනය කිරීම පිලිබඳ අධ්‍යනයක නිරත විය. එහිදී යම් ආකාරයක වීඩියෝ ක්‍රීඩා පිලිබඳ පුහුණුවක් ඇති එහිදී වීඩියෝ ක්‍රීඩා පුහුණුව සහිත පුද්ගලයන්ගේ ප්‍රතිචාර දැක්වීමේ වේගය එසේ නොවන පුද්ගලයන්ට වඩා සැලකියයුතු මට්ටමක පවතින බව තහවුරු වියඔවුන් පෙන්වාදී ඇත.
කෙසේවුවත්, පසුව පීඩාවක් ලෙස සලකන වීඩියෝ ක්‍රීඩා සඳහා දරුවන් යොමුකරවන්නේ දෙමාපියන්ම බව තම අත්දැකීම යැයි මනෝ වෛද්‍ය විශේෂඥවරයා පැවසිය. ඔහුහේ අත්දැකීම් අනුව;
- ආහාර කැවීමට පහසු ක්‍රමයක් ලෙස,
- පාඩම් කිරීමට උනන්දු කරවීමක් ලෙස,
- දරුවන්ගෙන් ඈත්වී සිටීමට සුදුසු උපක්‍රමයක් ලෙස
- දරුවන් අසන ප්‍රශ්නවලින් ගැලවී සිටීමේ උපායක් ලෙස
- ඔවුන් දඟකාරකම්වලින් වලක්වාලීමට
එහි ප්‍රතිඵලයක් ලෙස;
"පාඩම් කරන්නනං වීඩියෝ ගේම් කරන්න ඉඩ දෙන්න ඕන"
"ගෙදර වැඩ කරන්න ඕන නං වීඩියෝ ගේම් කරන්න ඕන" යැයි නැගෙන ඉල්ලීම්වලට ඉඩ දීමට සමහර දෙමාපියන් හුරුවී සිටින බව මනෝ වෛද්‍ය විශේෂඥවරයා පවසයි.
වීඩියෝ ක්‍රීඩාවේ දීම ව්‍යාධියක් බවට පත්වූවිට එම ක්‍රීඩාවෙන් ඉවත්වී සිටින ලෙස දැනෙන අපහසුතා ලෙස;
- ආහාර ගැනීමට නොහැකිවීම
- නොසන්සුන් බව
- කෝපය ඇතිවීම
- නින්ද නොයාම
- අධ්‍යයන කටයුතු මතකයේ නොසිටීම
වැනි කරුණු පෙන්වාදිය හැකිය.
මේ තත්ත්වය වලකා ගැනීමට ගතහැකි ක්‍රියා මාර්ග;
- කාර්ය බහුල ජීවිතයෙන් ඈත්වී දරුවන්ට අවශ්‍ය ආදරය නිසි පරිදි ලබාදීම
- දරුවන් ගැන වැඩි අවධානයෙන් සිටීම
- කෑම කැවීම, පාඩම් කිරීම වැනි කරුණු ඉටුකරවා ගැනීම සඳහා කුඩා අවධියේ සිට වීඩියෝ ක්‍රීඩා කිරීමට ඉඩ හැරීමෙන් වැළකීම
- වෙනත් බාහිර ක්‍රියාකාරකම්වලට දරුවන් උනන්දු කිරීම
- දරුවා භාවිත කරන උපකරණ මොනවද, කොපමන කාලයක් ඒවායේ ගතකරනවද, ඒවායේ තියෙන තේමාවන් මොනවද යන්න පිළිබඳ දෙමාපියන් අවබෝධයෙන් සිටීම
- අන්තර්ජාලයේ නුසුදුසු අංගවලින් ආරක්ෂාවීම සඳහා තිබෙන යෙදවුම් (App) භාවිත කිරීම
- ළමයාගේ හැසිරීමේ වෙනස්කම් පිළිබඳ අවබෝධයෙන් පසුවීම
- අවශ්‍ය සීමා කිරීම් කිරීම හා ඒවායේ පාලනයට වෙනත් වරප්‍රසාද ලබාදීම සීමා කිරීම
- ඉහත ක්‍රම මගින් පාලනයක් කළ නොහැකි නම් සම්පූර්ණයෙන් එම උපකරණ භාවිතයෙන් ඉවත් කිරීම
කෙසේවෙතත්, "ක්‍රීඩා කරන්න එපා කියල දරුවන්ට බැනල වැඩක් නෑ. ඊට අවශ්‍ය පරිසරය නිර්මාණය නොකර. එහෙම දරුවන් වීඩියෝ ක්‍රීඩා නෙවේ මත්ද්‍රව්‍ය වලටත් ඇබ්බැහි වෙන්න පුළුවන්," යැයිද මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් පැවසීය.
තවත් පුවත්: