සහරා කාන්තාරය: අඩ සියවසකට පසු පළමු වරට ඇතිවූ ජලගැලීම්වල දුර්ලභ ඡායාරූප

ඡායාරූප මූලාශ්‍රය, Associated Press
වසර 50කට පසු ප්‍රථම වරට ගිනිකොනදිග මොරොක්කෝවේ සහරා කාන්තාරයේ ඇතිවූ ජලගැලීම් තත්ත්වය දැක්වෙන දුර්ලභ ඡායාරූප පෙළක් නිකුත් වී තිබේ.
දින දෙකක අධික වර්ෂාපතනය මෙම දුර්ලභ ජලගැලීම් තත්ත්වයට හේතු වූ අතර එය වාර්ෂික සාමාන්‍යය වර්ෂාපතන අගයන් ඉක්මවා ගියේ ය.
සහරා යනු ලොව විශාලතම උණුසුම් කාන්තාරය වන අතර එය උතුරු, මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ රටවල් 12ක් පුරා විහිද යයි.
"මේ වගේ කෙටි කාලයක් තුළ මේ තරම් වර්ෂාපතනයක් අපට අවුරුදු 30කින් 50කින් විතර ලැබිලා නැහැ," මොරොක්කෝවේ කාලගුණ විද්‍යා ඒජන්සියේ නිලධාරිනියක වන හූසින් යූබෙබ් ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Associated Press
අග්නිදිග මොරොක්කෝව ලෝකයේ වඩාත් ම ශුෂ්ක ස්ථානවලින් එකක් වන අතර ගිම්හාන ඍතුවල අගභාගයේදී එහි කලාතුරකින් වර්ෂාව ඇතිවිය හැකි ය.
රාබාට් අගනුවරට දකුණින් කිලෝමීටර් 450ක් (සැතපුම් 280ක්) දුරින් පිහිටි ටැගුනයිට් ගම්මානයෙන් පැය 24ක් ඇතුළත මිලිමීටර් 100කට (අඟල් 3.9) අධික වර්ෂාපතනයක් වාර්තා විය.
කාලගුණ විද්‍යාඥයන් මෙවැනි දුර්ලභ වර්ෂාපතනයක් හඳුන්වන්නේ අධිනිවර්තන කුණාටුවක් ලෙසනි. වාතය වැඩි තෙතමනයක් රඳවා ගන්නා බැවින්, එය වාෂ්පීකරණය සඳහා දායක වන අතර ඉන් තවත් කුණාටු ඇති කරන බව මොරොක්කෝවේ කාලගුණ විද්‍යා ඒජන්සිය ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Associated Press
සාගෝරා නගරය සහ ටාටා නගරය අතර පිහිටා ඇති වසර 50ක් පුරා වියළී ගොස්තිබූ ජලාශයක් පිරී යන ආකාරය නාසා ආයතනයේ චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙන්නුම් කළේ ය.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානයට (WMO) අනුව, ලොව පුරා ජල චක්‍ර නිතර නිතර වෙනස් වෙමින් පවතී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රතිඵලයක් විදිහට ජල චක්‍රය වේගවත් වෙලා තියෙන්නේ" යනුවෙන් ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ මහලේකම් සිලේයිස්ට් සවුලෝ මාධ්‍ය හමුවකදී පැවසීය.
"එය වඩාත් අක්‍රමවත් සහ අනපේක්ෂිත වී ඇති අතර, ජලය ඕනෑවට වඩා වැඩි හෝ අඩුවෙන ගැටලුවලට අපට මුහුණ දීමට සිදුවනවා."
ගෝලීය උණුසුම හේතුවෙන් අසාමාන්‍ය කාලගුණික සිදුවීම් වඩාත් බහුල වන බැවින්, විද්‍යාඥයින් අනාවැකි පළ කරන්නේ අනාගතයේදී සහරාහි ද එවැනි කුණාටු ඇතිවිය හැකි බව ය.














