2025 වසරේ මාධ්‍ය නිදහස, භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතීන් සීමා කෙරුණු සිදුවීම්

Black Jaznuary

ඡායාරූප මූලාශ්‍රය, Getty Images | Lokesh Sharma

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් විපක්ෂයේ සිටි සමයේදී දැවැන්ත හඬක් නැගූ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයය බලයට පත්වී පාලන කටයුතුවල නිරත වූ පළමු සම්පූර්ණ වර්ෂය ලෙස 2025 වසර හඳුන්වා දිය හැකි ය.

විධායක ජනාධිපති ධූරයත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයත් සහිතව පාලනය සිදු කෙරුණු එම වසරක කාලය තුළ, ඔවුන් බලයට පැමිණීමට පෙර යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් ලබා දුන් පොරොන්දු සහ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව මාධ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් පිරිස් මැසිවිලි නගනු දැකගත හැකි විය.

මේ, ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සිදු කළ සොයා බැලීමකි. ඒ අනුව, 2025 වසර තුළදී මාධ්‍ය නිදහස අභියෝගයට ලක්වූ අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

2025 වසරේ මාධ්‍ය, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සීමා කෙරුණු සිදුවීම් සහ දණ්ඩ මුක්තිය අවසන් කිරීමට නොහැකි වූ සිදුවීම්

උතුරේ මහවිරු සමරු සම්බන්ධයෙන් අරුණ පුවත්පත සිදු කළ වාර්තාකරණයක් සම්බන්ධයෙන් එහි ප්‍රවෘත්ති කර්තෘ උදයජිව ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම. මිට පෙර එහි ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම ඇතුළු පිරිසකගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළේ ය.

Image copyright by Getty

ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව නඩු පැවරීමක් සිදු නොකරන බවට නීතිපතිවරයා අධිකරණයට දැනුම් දීම

  • අරුණ පුවත්පතේ පළවූ පුවතක් සම්බන්ධයෙන් අදාළ මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවන ලෙස ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමතිවරයා කතානායකවරයාගෙන් විමසීම
  • ජනමාධ්‍යවේදීන් සඳහා වරලත් ආයතනයක් පිහිටුවීම සඳහා "ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක්" හඳුන්වා දීමට කටයුතු කරන බව ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ප්‍රකාශ කිරීම

  • අනුරාධපුර වෛද්‍යවරියකට ලිංගික අපරාධයක් සිදුවීමට අදාළ නඩුවේ බී වාර්තාව ලැබුණු ආකාරය සම්බන්ධයෙන් අධිකරණ වාර්තාකරුවෙකු වන උපාලි ආනන්දගෙන් පොලිසිය ප්‍රශ්න කිරීම
  • කැබිනට් මාධ්‍ය හමුවට මාර්ගගතව සම්බන්ධ වන මාධ්‍යවේදීන්ට ප්‍රශ්න ඇසීමට ඇති අවස්ථාව සීමා කිරීම
  • කැබිනට් මාධ්‍ය හමුවට සම්බන්ධ වීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත හිමි මාධ්‍යවේදීන්ට පමණක් සීමා කිරීම
  • ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ ඇතැම් අවස්ථා ආවරණය කිරීමට ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් හට අවස්ථාව ලබා නොදීම
Image copyright by Getty

ආණ්ඩුවේ මැයි දින රැළියේදී ලංකාදීප පුවත්පතේ ඡායාරූප ශිල්පී ලහිරු හර්ෂණ විසින් ලබා ගත් ඡායාරූපයක් ඔහුගේ සමාජ මාධ්‍යවලින් ඉවත් කරන ලෙස සහ එය පුවත්පතේ පළ නොකරන ලෙස ජනාධිපති මාධ්‍ය අංශයෙන් ඔහුට දැනුම් දීම

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුවේ සාක්ෂිකරුවෙකුට එම නඩුවේ පළමු විත්තිකාර (විශ්‍රාමික) බ්‍රිගේඩියර් ෂම්මි කුමාරරත්න විසින් අවස්ථා 19කදී බලපෑම් හා තර්ජන කර ඇති බවට විමර්ශන වලින් කරුණු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ දැනූම් දුන්නේ ය.

Image copyright by Getty

ජනාධිපති මාධ්‍ය අංශයට අනුයුක්ත නිලධාරීන්ගේ නම් හෙළි කරන ලෙස සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර විසින් යොමු කළ තොරතුරු ඉල්ලීම ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කිරීම

  • ඔහුගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳව ප්‍රශ්න කිරීමට යැයි පවසා ඡායාරූප මාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමනන් ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත කැඳවා ප්‍රශ්න කිරීම
  • අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැලීමට අග්‍රාමාත්‍යවරිය රෝහලට ගිය බවට හිරු මාධ්‍ය ආයතනය වාර්තා කළ පුවතක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කිරීම

Image copyright by Getty

පොලිස් වාර්තා ලබා ගැනීම සම්බන්ධයෙන් අරුණ පුවත්පත පළ කළ පුවතක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට එම පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දීම

  • ජනාධිපතිවරයා සහ රජයේ මැති ඇමතිවරුන් පිළිබඳව අපහාසාත්මක ප්‍රකාශ පතුරුවන පුද්ගලයින්ට එරෙහිව හදිසි නීතිය යටතේ පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක ඇමති සුනිල් වටගල පොලිසියට උපදෙස් ලබා දීම
  • හිරු මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා පොලිසිය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දීම

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සෑම මසක ම මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් නිරීක්ෂණ වාර්තාවක් නිකුත් කරනු ලබයි. 2025 වසරේදී එම සංවිධානය විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇති මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය අභියෝගයට ලක්වූ නව සිදුවීම් සංඛ්‍යාව 88කි.

සියලු ම ආකාරයේ මාධ්‍ය නිදහස සීමාවීම් සම්බන්ධයෙන් ඔවුන් නිරීක්ෂණය කර ඇති සිදුවීම් සංඛ්‍යාව 246කි. ඊට අමතරව නීතිමය තත්ත්වයන් යටතේ පැරණි සිදුවීම්වල නව වර්ධනයන් 31ක් ද ඔවුන් නිරීක්ෂණය කර තිබේ.

එම ව්‍යාපාරයේ කැඳවුම්කරු ලසන්ත ද සිල්වා බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ, මෙම වසරේ ඍජු තර්ජන වාර්තා වී නොමැති බව ය.

"ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ මාධ්‍ය ඉලක්ක කර ගත් ඍජු තර්ජන සහ මර්දනය කිරීම් තව ම වාර්තා වෙලා නෑ," ඔහු පැවසුවේ ය.

"ආණ්ඩුව බලයට පත්වෙන්න කලින් තිබුණු නඩුකර සහ ඒවා ඉදිරියට ආව විදිහ ඇරෙන්න වෙනත් පියවර මොනවත් ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ අපරාධ සම්බන්ධයෙන් ගත්තා කියලා අපට නිරීක්ෂණය කරන්න ලැබුණේ නෑ."

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් ලබා දීලා තියෙන තොරතුරු දැනගැනීමේ මූලික අයිතිවාසිකම සම්බන්ධයෙන් රජය කටයුතු කරන ආකාරයට ගැන බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. තොරතුරු කොමිසමත් ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඒ සම්බන්ධයෙන් රජය මීට වඩා සැලකිලිමත් විය යුතු යි කියලා අපි හිතනවා," ඔහු පැහැදිලි කළේ ය.

එමෙන් ම රජය සැමවිට ම මාධ්‍යවේදීන් සමග යහපත් සම්බන්ධතාවක් පවත්වාගෙන යාම වැදගත් බව ඔහු පවසයි.

"ඒ වගේ ම, මාධ්‍යවේදීන්ට වාර්තා කිරීම සංඛ්‍යා දත්ත අවශ්‍යයි. හරි තොරතුරු ලබා දෙන එක රජයට හොඳයි. රජයෙන් අවශ්‍ය තොරතුරු ලබා දීලා මාධ්‍යවේදීන් ඒවා වාර්තා කරනවා නම් ඒක රජයට හොඳ දෙයක්. නමුත් රජය පැත්තෙන් කතා නොකර ඉන්නවා නම්, දුරකතනයට ප්‍රතිචාර දක්වන්නේ නැතිනම්, කතා කළා ම කතා කරන්න බෑ කියනවා නම් එතකොට රජය පැත්තෙන් එන්න ඕනේ තොරතුරු ටික ඇවිල්ලා නෑ."

මෙම නිරීක්ෂණ සම්බන්ධයෙන් විමසීම සඳහා බීබීසී සිංහල විසින් මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද එය ව්‍යර්ථ විය.

'අලුත් තොරතුරු එක්ක පරීක්ෂණ සිදු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා'

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පසුගිය ජනවාරි 27 වන දින කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී කළු ජනවාරිය සැමරුමක් පැවැත්වූ අතර, මාධ්‍යවේදී සනත් බාලසූරිය විසින් රචනා කරන ලද "Who is Lasantha" කෘතිය ජනගත කිරීම ද සිදු විය.

එහිදී එම අවස්ථාවට සම්බන්ධ වී සිටි මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ සහෝදරයා වන ලාල් වික්‍රමතුංග බීබීසී සිංහල වෙත අදහස් දක්වන ලදී.

"ලසන්තගේ පරීක්ෂණ දිහා අපි අවුරුදු ගාණක් තිස්සේ බලන් ඉන්නවා. පරීක්ෂණවලදී ගොඩක් කරුණු අනාවරණය වෙලත් තියෙනවා. මේ ගැන ඕනේ තරම් කතා කරලත් තියෙනවා. ,මම හිතන්නේ දැන් අනාවරණය වෙලා තියෙන දේවලුත් එක්ක මේ පරීක්ෂණ ඉක්මනට ඉවර කරලා සාධාරණයක් සිදු වෙනවා නම් හොඳයි."