ඡායාරූප මාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමනන් PTA යටතේ පැය 7කට ආසන්න CTID ප්‍රශ්න කිරීමකට

Kumanan

ඡායාරූප මූලාශ්‍රය, Kumanan Kana/Facebook

    • Author, බීබීසී සිංහල

උතුරු නැගෙනහිර මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදියෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ ප්‍රශ්න කර තිබේ.

මුලතිව්, ආලම්පිල්හි පිහිටි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාස (CTID) උපකාර්යාලය වෙත අගෝස්තු 17 වන දා කැඳවන ලද මාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමනන්ගෙන් එම ඒකකයේ නිලධාරීන් තිදෙනෙකු පැය හතකට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබේ.

දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කිහිපයකට සිය දායකත්වය ලබා දෙන කුමනන් උතුරු නැගෙනහිර අතුරුදන්වූවන්ගේ විරෝධතා, සමූහ මිනීවළවල් සම්බන්ධයෙන් මෙන් ම ඉඩම් ගැටලුව වැනි දෙමළ ජනයා මුහුණ දෙන ගැටලු සම්බන්ධව ඡායාරූප වාර්තාකරණයේ නිරත වන්නෙකි.

kumanan

ඡායාරූප මූලාශ්‍රය, Kumanan Kana/Facebook

වසර දෙකකට පෙර කරන ලද පැමිණිල්ලක්

මුලතිව් මාධ්‍ය සමාජයේ සභාපතිවරයා ද වන කනපතිපිල්ලෙයි කුමනන් වෙත ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය ලිඛිතව සහ දුරකතන ඇමතුමකින් දැනුම් දී තිබුණේ, එම කොට්ඨාසය විසින් කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා 2025 අගෝස්තු 17 වන දා පෙරවරු 10ට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ ආලම්පිල් උපඒකකය වෙත පැමිණෙන ලෙස ය.

එහිදී ඔහුට පවසා ඇත්තේ, ඔහුගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳව ප්‍රශ්න කරන බව ය.

කෙසේ වෙතත්, තමන්ට කරන ලද කැඳවීම පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස ඉල්ලා ඡායාරූප මාධ්‍යවේදී කුමනන් යාපනයේ පිහිටි මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

කුමනන්ගේ පැමිණිල්ලට අදාළව CTIDය විසින් අගෝස්තු 13 වන දා මානව හිමිකම් කොමිසම වෙත එවා ඇති වාර්තාවක් අනුව, මානව හිමිකම් කොමිසම මාධ්‍යවේදී කුමනන්ට දැනුම් දී ඇත්තේ, 2023 මාර්තු මස 13 වන දා හමුදා බුද්ධි අංශ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඔහු ප්‍රශ්න කිරීමට කැඳවා තිබූ බව ය.

'පැමිණිල්ලේ හරය නම්, ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාතේ යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ ප්‍රජාවන් සමග කටයුතු දෙමළ මාධ්‍යවේදියෙකු සහ වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු වන මම, ඔවුන් පවත්වන විරෝධතා සහ උද්ඝෝෂණ පිළිබඳ මාධ්‍ය ආවරණය ලබා දෙමින්, එම තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් හමුදාවට අපකීර්තියක් ඇති කරන බවත්, හමුදාව සහ දෙමළ ජනතාව අතර ගැටුම් ඇති කරන බවටත් වන චෝදනාව යි,' යනුවෙන් මාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමනන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කර තිබිණි.

'හිරිහැර කිරීම වහාම අවසන් කරන්න' - ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලීමක්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මාධ්‍යවේදී කුමනන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා එවා ඇති කැඳවීම ආපසු හරවන ලෙසට බල කරන ජාත්‍යන්තර සංවිධාන සමූහයක් ඉල්ලා ඇත්තේ, ඔහුට හිරිහැර කිරීම වහා ම අවසන් කළ යුතු බව ය.

Asian Forum for Human Rights and Development (FORUM-ASIA), Committee to Protect Journalists (CPJ), CIVICUS: World Alliance for Citizen Participation, Front Line Defenders (FLD), Free Press Unlimited (FPU), International Commission of Jurists (ICJ), International Press Institute (IPI), Reporters Without Borders (RSF) යන සංවිධාන ඒකාබද්ධව නිකුත් කරන ලද නිවේදනයේ දක්වා තිබුණේ, ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය (CTID) කරන ලද කැඳවීම කුමනන්ගේ වාර්තාකරණයට එරෙහි පළිගැනීමක් බව ය.

'මෑතකදී උතුරු පළාතේ චෙම්මනි සමූහ මිනීවළ කැණීම් සම්බන්ධයෙන් දින 41ක කැණීම් වාර්තා කරමින් සමාජ මාධ්‍යවල යාවත්කාලීන කිරීම් කර ඇති අතර, ඔහු ඡායාරූප ද පළ කර ඇත. එම කැණීම් අතරතුර අස්ථි කොටස් 140කට වැඩි සංඛ්‍යාවක් ගොඩගෙන ඇති බව ඔහු වාර්තා කළ අතර, ඔහුගේ ඡායාරූප බලපෑම් සංවිධාන සහ මාධ්‍ය ආයතන ඔස්සේ පුළුල් ලෙස ‍හුවමාරු වී ඇත,' යනුවෙන් ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වේ.

Asian Forum for Human Rights and Development (FORUM-ASIA), Committee to Protect Journalists (CPJ), CIVICUS: World Alliance for Citizen Participation, Front Line Defenders (FLD), Free Press Unlimited (FPU), International Commission of Jurists (ICJ), International Press Institute (IPI), Reporters Without Borders (RSF) යන සංවිධාන ඒකාබද්ධව නිකුත් කරන ලද නිවේදනයේ දක්වා තිබුණේ, ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය (CTID) කරන ලද කැඳවීම කුමනන්ගේ වාර්තාකරණයට එරෙහි පළිගැනීමක් බව ය.
Asian Forum for Human Rights and Development (FORUM-ASIA), Committee to Protect Journalists (CPJ), CIVICUS: World Alliance for Citizen Participation, Front Line Defenders (FLD), Free Press Unlimited (FPU), International Commission of Jurists (ICJ), International Press Institute (IPI), Reporters Without Borders (RSF) යන සංවිධාන ඒකාබද්ධව නිකුත් කරන ලද නිවේදනයේ දක්වා තිබුණේ, ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය (CTID) කරන ලද කැඳවීම කුමනන්ගේ වාර්තාකරණයට එරෙහි පළිගැනීමක් බව ය.

ප්‍රශ්න කළේ කුමක් පිළිබඳව ද?

ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය වෙත පැය 7කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසු අගෝස්තු 18 වන දා ඡායාරූප මාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමනන් සමාජ මාධ්‍ය ඔස්සේ ඒ ගැන සටහන් කර තිබිණි.

'ඊයේ, ශ්‍රී ලංකා පොලිස් ත්‍රස්ත මර්දන විමර්ශන අංශය (CTID) විසින් මගෙන් පැය 6 යි විනාඩි 45ක් ප්‍රශ්න කරන ලදී.'

"ප්‍රශ්න කිරීම්වලට මගේ මාධ්‍යකරණය සහ ඡායාරූපකරණ කටයුතු, සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම්, මූල්‍ය ක්‍රියාකාරකම්, දුරකතන වාර්තා සහ විදේශ සංචාර ඇතුළත් විය," මාධ්‍යවේදියා සටහන් කර ඇත.

කුමනන්ගේ නීතිඥවරයා කියන්නේ මොනවා ද?

මාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමනන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම පිළිබඳව ඔහු සමග CTIDයට ගිය නීතිඥ නඩරාජා කාන්දීපගෙන් බීබීසි සිංහල සේවය කරුණු විමසීය.

"මම පැය 6ය හමාරකට වැඩිය එතන හිටියා එයත් එක්ක. එයාගේ බැංකු ගිණුම් ගැන ප්‍රශ්න ඇහුවා, තව එයාගේ සිම් කාඩ් තුනක් හතරක් තියෙනවා කියලා ඒ ටික බැලුවා, එයාගේ සෝෂල් මීඩියා එකෙන් දාපු දේවල් ගැන විස්තර ඇහුවා, ඒ වගේ ගොඩක් දේවල් ඇහුවා."

"ඒගොල්ලන්ට ඕනකමක් තියෙන්නේ මෙයා පිටරට යනවා ය, පිටරටින් සල්ලි එනවා ය කියලා….. එයා ජර්නලිස්ට් කෙනෙක් හැටියට ඒක ජොබ් එකක්. එතකොට එයා පැහැදිලි කරලා කිව්වා මේ වාගේ ගාණක් මම ගන්නවා, මේක මගේ රැකියාව කියලා. ඒගොල්ලෝ මම හිතන්නේ එයාව කොනකට තල්ලු කරන්න හේතුව ඇවිල්ලා මෙයා චෙම්මනි නැතිනම් මුල්ලිවයික්කාල් නැතිනම් මහවිරු දිනවල එයා පළ කරපු පෝස්ට් ටික පළ කරන්න එපා කියන එක තමයි මම හිතන්නේ එයාට එල්ල වෙන චෝදනාව පොලිසියෙන්," යැයි නීතිඥවරයා පැවසීය.

කුමනන්ගෙන් ප්‍රශ්න කිරීම ගැන ආණ්ඩුවේ ස්ථාවරය කුමක් ද?

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳව සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබියදී චෙම්මනි කැණීම් රූපගත කිරීමට සහභාගි වූ මාධ්‍යවේදී කුමනන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රශ්න කරනු ලැබීම ගැන ආණ්ඩුවේ ස්ථාවරය අගෝස්තු 17 වන දා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් මාධ්‍යවේදියකු ප්‍රශ්න කළේ ය.

"මම ඒ සම්බන්ධව අඟහරුවාදාට කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී කරුණු ඉදිරිපත් කරන්නම්. ඒ වගේ ම ඔබ කියූ ප්‍රශ්නෙට ම උත්තරේකුත් තියෙනවා මානව හිමිකම් සැසිවාර පදනම් කරගෙනත් සමහර සිදුවීම් උළුප්පා දැක්වීමේ හෝ අසත්‍ය සිදුවීම් වාර්තා කිරීමේ ප්‍රවණතාවකුත් අපේ රටේ සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා," යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී කියා සිටියේ ය.