අරුණ පුවත්පතේ කර්තෘ CID කැඳවීම මාධ්‍යවේදීන් බිය ගැන්වීමක් ද?

2024 සැප්තැම්බර් 23 වන දින කොළඹදී, රටේ ජනාධිපතිවරණ ප්‍රතිඵලවල මුල් පිටු සහිතව විකිණීමට තබා ඇති ශ්‍රී ලාංකික පුවත්පත් සහිත කුටියක් පසුකර යන මිනිසෙක්.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

    • Author, බීබීසී සිංහල

පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් අවශ්‍ය වූ ග්‍රාමසේවක සහතිකයට අමතරව, සහතිකය ගැනීමට අවශ්‍ය පුද්ගලයා ජීවත් වන ප්‍රදේශයේ මහජන ආරක්ෂක කමිටු සභාපතිවරයාගේ ලිපියක් ද අවශ්‍ය බව දක්වමින්, "ග්‍රාම නිලධාරි සහතිකය මදි, පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්‍රධානීගේ අනුමැතියත් ඕනෑ" යන සිරස්තලය යටතේ අරුණ පුවත්පතේ පළ කර තිබූ වාර්තාවක් සම්බන්ධයෙන් කරන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා එම පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා අද දින (නොවැම්බර් 24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි.

කෙසේවෙතත්, එම කැඳවීම අනුව තමන් අද දිනයේ ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොගිය බව අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම බීබීසී සිංහල වෙත කියා සිටියේ ය.

මේ වන විටත් ඔහුව එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීම සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන ඇතුළු විශාල පිරිසක් සිය විරෝධය පළ කර තිබේ.

මේ වන විට ප්‍රශ්නයට තුඩු දී ඇත්තේ 2025 නොවැම්බර් 19 වන බදාදා අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ලෙස පළ ව තිබූ එම පුවත යි.

පොලිස් වාර්තා ලබා ගැනීමේදී ග්‍රාම නිලධාරී සහතිකයට අමතරව සිවිල් ආරක්ෂක කමිටු (මහජන ආරක්ෂක කමිටු) සභාපතිවරයාගේ චරිත සහතිකයක් ලබාගත යුතු බව පොලීසිය විසින් දැනුම් දී ඇති බව ග්‍රාම නිලධාරීන් පවසන බවට එම වාර්තාවේ සඳහන් වේ.

පොලීසියේ ප්‍රතිචාරය

මෙම පුවත පළ වූ දිනයේ ම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබිණි.

"පොලිස් වාර්තාවක් ලබා ගැනීම සඳහා අදාළ අයදුම්කරුගේ පදිංචිය තහවුරු කර ගැනීමට අවශ්‍ය වන ග්‍රාමනිලධාරී සහතිකයට අමතරව ග්‍රාමනිලධාරී වසමේ සිවිල් ආරක්ෂක කමිටු ( මහජන ආරක්ෂණ කමිටු ) සභාපතිවරයා විසින් නිකුත් කළ චරිත සහතිකයක් ලබාගත යුතු බව සඳහන් පුවතක් මාධ්‍ය මගින් ප්‍රචාරය වන බව නිරික්ෂණය වී ඇත. පොලිස් වාර්තාවක් ලබාගැනීම සඳහා අයැදුම් කිරීමේදී එලෙස මහජන ආරක්ෂක කමිටු සභාපතිවරයා විසින් නිකුත් කරනු ලබන චරිත සහතිකයක් අවශ්‍ය නොවන බැවින් එම ප්‍රචාරයන් අසත්‍ය බව දැනුම් දෙන්නෙමු," යැයි එම නිවේදනයේ සඳහන් වේ.

පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීම්

මෙම පුවත පළවූ දිනයේ ම (නොවැම්බර් 19 වැනිදා) මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යවරයා එම පුවත්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එම ප්‍රවෘත්තිය අසත්‍යක් බවට ප්‍රකාශ කළේ ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"25/11/19 දින ඇති අරුණ පත්තරයේ ප්‍රධාන සිරස්තලය විදිහට "ග්‍රාම නිලධාරි සහතිකය මදි, පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්‍රධානීගේ අනුමැතියත් ඕනෑ" කියලා. දැන් මේක අරුණ පත්තරේ ප්‍රධාන සිරස්තලේ විදිහට ගහලා තියෙනවා," ඔහු පැවසුවේ ය.

'මේ ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක්. මෙහෙම උපදෙසක්වත්, චක්‍රලේඛයක්වත්, පොලිසියවත්, මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන්වත් නිකුත් කරලා නෑ. ප්‍රවෘත්තිය තුළ සඳහන් වෙනවා මේ ප්‍රවෘත්තිය තුළ සඳහන් තොරතුරු ග්‍රාම නිලධාරී පැවසුවා කියලා. තොරතුරු ලබාගත්ත මූලාශ්‍රය නිශ්චිතව කියන්නේ නෑ. එහෙම තහවුරු නොකරගත් තොරතුරු ප්‍රවෘත්තියක් විදිහට පළ කරනවා නම් එයින් බලපෑමට ලක්වෙන පාර්ශවයන්ගෙනුත් තොරතුරු හොයලා ඒ ප්‍රවෘත්තිය පළ කරන්න ඕනේ. හේතුව, මාධ්‍ය සදාචාරය එහෙම නැතුව තමයි මේ මාධ්‍ය පළ කරලා තියෙන්නේ," මහජන ආරක්ෂක අමාත්‍යවරයා නොවැම්බර් 19 වන දින පාර්ලිමේන්තුවේදී පැවසුවේ ය.

"ඒ විතරක් නෙවෙයි මේ පුවත්පතේ හිමිකාරත්වය දරන දෙරණ අයිතිකරුගේ ම ආයතනයක් වන දෙරණ ටීවී නාලිකාවේ මේ ප්‍රවෘත්තිය දෙරණ අරුණ නම් වැඩසටහනේ මේ අසත්‍ය ප්‍රවෘත්තිය නැවත නැවතත් හුවා දක්වමින් පළ කරලා තියෙනවා සත්‍ය ප්‍රවෘත්තියක් හැටියට. ඒ හින්දා මේක වැරදි ප්‍රවෘත්තියක්, අසත්‍ය ප්‍රවෘත්තියක්, රට ම නොමග යවන විදිහේ. සහතිකයක් අවශ්‍ය නෑ, මෙහෙම චක්‍රලේඛයක් නිකුත් කරලා නෑ."

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට පැමිණිලි කරන බව ද ඔහු කියා සිටියේ ය.

"ඒ හින්දා මහජනයා නොමග යවන, රජය කෙරෙහි අප්‍රසාදය පළ කරවන ප්‍රවෘත්තියක්. ඒ හින්දා මේ පිළිබඳව හෙට දිනයේ මම වරප්‍රසාද කමිටුවට පැමිණිල්ලක් කිරීමට බලාපොරොත්තු වෙනවා, මේ පුවත්පතට විරුද්ධව.

මමත් මීට පෙර සීඅයිඩී එකට පැමිණිල්ලක් කරලා තියෙනවා මීට කලින් සිදු කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන්. ඒ නිසා මේ සම්බන්ධයෙන් හෙට දිනයේ වරප්‍රසාද කමිටුවට පැමිණිල්ලක් කරන්න බලාපොරොත්තු වෙනවා." යැයි කියා සිටියේය.

ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් 20 දින අදහස් දැක්වූයේ ය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ ඒ පුවත සම්බන්ධයෙන් මූලාශ්‍රයක් සඳහන් කර නොමැති බව ත්, එම පුවත, අනුරාධපුරය නැගෙනහිර නුවර ගම්පළාතේ ග්‍රාම නිලධාරීන් කිහිපදෙනෙකු විසින් ප්‍රවෘත්තිය වාර්තා කළ පුද්ගලයාට පැවසූ දෙයක් මත පදනම්ව ඇති බවත් ය.

මෙවැනි දෙයක් අදාළ ප්‍රදේශයේ කිසිඳු ග්‍රාම නිලධාරීවරයෙකු පවසා නැති බවට තමා වගකීමෙන් පවසන බවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

"මේක සම්බන්ධයෙන් සීඅයිඩී එකේ හෝ, ප්‍රෙස් කවුන්සිල් එකේ හෝ ඊට සම්බන්ධ වෙනත් ආයතනයක පැමිණිල්ලක් කළා ම කියනවා ඔන්න මාධ්‍ය මර්දනය කරනවා කියලා. ජනතාවට ඇත්ත දැනගන්න අයිතියික් තියෙනවා. අදාළ අමාත්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. පැමිණිලි කරන්න ඕනේ තැන්වල පැමිණිලි කරනවා," අමාත්‍යවරයා පැවසීය.

ඉන්පසුව නැගී සිටි විපක්ෂ නායකවරයා පොලිස් සහතික ලබා ගැනීමට ගිය පුද්ගලයන් දෙදෙනෙකුගෙන් සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරුන්ගේ සහතික ඉල්ලා සිටි අවස්ථා දෙකක් සම්බන්ධයෙන් පැවසුවේ ය.

"මේකේ මූලාශ්‍රය සජිත් ප්‍රේමදාස. පොලිස් ඇමතිතුමා කිව්වා ඊයේ දිනයේ ප්‍රජා පොලිස් කමිටුවල සභාපතිවරුන්ගේ නිර්දේශය අවශ්‍ය නෑ කියලා පොලිස් සහතික ගන්න," ඔහු පැවසීය.

"මම ඉදිරිපත් කරන්න කැමතියි මාතර, කිරින්ද, පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුබල්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ, කංකානම් පතිරණගේ අනුරාධ මධුශංඛ පෞද්ගලික රැකියාවකට යාමට හක්මන පොලිසියෙන් පොලිස් සහතිකය ඉල්ලීමට කටයුතු කරන විට එයාට උපදෙස් ලබාදීලා තියෙනවා ග්‍රාම නිලධාරී වාර්තාවට අමතරව, ප්‍රජා පොලිස් කමිටු සභාපතිවරයාගේ චරිත සහතිකයක් අවශ්‍යයි කියලා. ඉන්පසුව චරිත සහතිකය ලබා දුන්නයින් පසුවයි මේ පුද්ගලයාට පොලිස් වාර්තාව ලබාදීලා තියෙන්නේ," විපක්ෂ නායකවරයා පැවසුවේ ය.

එමෙන් ම ඔහු එවැනි තවත් සිදුවීමක් උපුටා දැක්වූයේ ය.

"මාතර, කඹුරුපිටිය , ලේනබටුව ග්‍රාමනිලධාරී වසමේ ඩී. ජී. දෙනෙත්. ඔහු පොලිස් වාර්තාව ඉල්ලුම් කරනවිට ප්‍රජා පොලිස් කමිටුවේ සම්පත් වික්‍රමසිංහ, මම මේ වගකීමෙන් මේවා කියන්නේ, ඔහු තමයි ගමේ NPP සභාපතිතුමා. කඹුරුපිටිය පොලීසියෙන් ඉල්ලීමක් කරන විට ප්‍රජා පොලිස් කමිටුවේ සභාපති සම්පත් වික්‍රමසිංහගේ චරිත සහතිකයත් ඉල්ලලා තියෙනවා."

"මම අහන්න කැමතියි මේ මුල පුරන්නේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයකට ද? මේ මුල පුරන්නේ පොලිස් රජයක් ක්‍රියාත්මක කරන්න ද?"

ඉන්පසුව නැගී සිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල විමසා සිටියේ විපක්ෂ නායකවරයා පැවසූ සිදුවීම්වලට අදාළ දින මොනවා ද යන්න ය.

එහිදී විපක්ෂ නායකවරයා ඔහු සතුව දින නොමැති බව පැවසූ අතර, අමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා අතර උණුසුම් තත්ත්වයක් ද ඇති විය.

ඉන්පසුව මහජන ආරක්ෂක ඇමතිවරයා "මේ වන විට මහජන ආරක්ෂක කමිටු පිහිටුවලා තියෙන්නේ. කලින් එතුමා කියපු ප්‍රජා පොලිස් කමිටුවලින් ඕවා ගන්න ඇති. එකයි මම දිනය ඇහුවේ. මොක ද අපි මහජන ආරක්ෂක අමාත්‍යංශය හැටියටත්, පොලිස් දෙපාර්තමේන්තුව හැටියටත් කිසිම ආකාරයකින් චක්‍රලේඛයක් නිකුත් කරලා නෑ මහජන ආරක්ෂක කමිටුවලින් පොලිස් චරිත සහතික ගන්නකොට චරිත සහතික ගන්න කියලා," යැයි පැවසුවේ ය.

ප්‍රජා පොලිස් කමිටු මීට පෙර පැවති ආණ්ඩු සමයේ පිහිටවූවක් බව ත්, විපක්ෂ නායකවරයා ඉදිරපත් කරන කරුණු එයට අදාළ විය හැකි බව ත් පැවසු මහජන ආරක්ෂක අමාත්‍යවරයා, යම්කිසි ආකාරයකින් එවැනි සිදුවීමක් සිදුවී ඇත්නම් පරික්ෂා කර බැලීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.

'අපි පුවත වාර්තා කළේ මූලාශ්‍ර සහිතවයි'

මේ අතර බීබීසී සිංහල විසින් මේ සම්බන්ධයෙන් අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුමගෙන් ද විමසීමක් සිදු කළ අතර ඔහු ප්‍රකාශ කළේ "අපරාධ වරදක් නොමැති අවස්ථාවක" මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති බව ය.

"මේක අපි සම්පූර්ණ මූලාශ්‍ර සහිතව කළේ. අපට තේරුම් ගන්න බැරි ඇයි මේකට මේ තරම් කලබල වුණේ කියලා. CID එකෙන් විමර්ශනය කරන්න තරම් අපරාධමය වරදක් මෙතන සිද්ධ වෙලා නෑ කියලා අපේ විශ්වාසයේ තියෙනවා. අපි පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්නවා, අපරාධමය වරදක් යටතේ අපිව CID එකට කැඳවනවා ද කියලා අපට තහවුරු කරගැනීමක් කරන්න ඕනෑ," ඔහු පැවසීය.

"දැන් මේ සිද්ධිය වෙලා තියෙන්නේ ග්‍රාමනිලධාරීන්ගෙන් කියනවා මුලින් ම අපේ පත්තරේට ග්‍රාමනිලධාරී සහතිකය විතරක් මදි, මහජන ආරක්ෂක කමිටුවේ නිර්දේශයත් ඕනේ කියලා පොලිස් වාර්තාවක් ලබා ගැනීම සඳහා. පොලිස් වාර්තාවක් ගන්න මහජන ආරක්ෂක කමිටුවල වාර්තාවත් ඕනේ කියන නිව්ස් එක ගියා කියලා ගියා විතරයි මහජන ආරක්ෂක ඇමති ඒක බරපතල විදිහට හෙළා දැකලා, පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට අපිව ගෙනාවා කියලා ලොකු ප්‍රකාශයක් කළා," ඔහු පෙන්වා දුන්නේ ය.

"ඒකෙන් නවතින්නේ නැතිව ඊට පහුවෙනිදා ජනමාධ්‍ය ඇමතිතුමා කිව්වා මේක රට කළඹන්න කරපු නිව්ස් එකක්, මේක සම්පූර්ණ අසත්‍යක්, කිසිම සෝස් එකක් නැතිව - මූලාශ්‍රයක් නැතිව කරපු නිව්ස් එකක්, ඒ හින්දා මේකට ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා."

මෙහිදී විපක්ෂ සාමාජිකයන් විසින් ඔවුන්ගේ ප්‍රදේශවල වාර්තා වී ඇති එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළ බව ද ඔහු කියා සිටියේ ය.

"විපක්ෂ නායකතුමා ඒ වෙලාවේ නැගිටලා කිව්වා, අවස්ථා තුනක් එයා දුන්නා මහජන ආරක්ෂක කමිටුවේ නිර්දේශය ඉල්ලන ග්‍රාමසේවක වසම්වල නම් කියලා කරුණු ඉදිරිපත් කළා. ඩී. වී. චානක විපක්ෂ මන්ත්‍රීවරයා පැහැදිලි කළා මේ කරුණ ආණ්ඩුවේ ඉන්න රාජ්‍ය පරිපාලන ඇමතිවරයා පවා මේක පිළිඅරගෙන තියෙනවා, හැන්සාඩ් එකෙත් තියෙනවා කියලා. තවත් හිටපු විපක්ෂ මන්ත්‍රීවරුන් පැහැදිලි කළා තම තමන්ගේ ප්‍රදේශවලත් එවැනි සිදුවීම් වාර්තා වෙලා තියෙනවා කියලා."

මෙම ප්‍රවෘත්තිය මූලාශ්‍ර සහිතව සිදු කළ වාර්තා කිරීමක් බව කතෘවරයා පැහැදිලි කළේ ය.

"අපි ඇත්තට ම මේක ලිව්වේ අනුරාධපුරය මුල් කරගත්ත එක්තරා වට්සැප් ගෘප් එකක් තියෙනවා ග්‍රාමනිලධාරීන්ගේ. ඒකෙ එක ග්‍රාමනිලධාරිවරයෙක් මැසේජ් එකක් දාලා තියෙනවා, ඒ මැසේජ් එකේ තියෙන්නේ ඔබගේ පොලිස් සහතික ලබා ගැනීමට මෙන්න මේ අංක දරන මහජන ආරක්ෂක කමිටු නියෝජිතයන් අමතන්න කියලා නම්බර්ස් දීලා තියෙනවා. එක පදනම් කරගෙන අපි හොයා බැලීමක් කරනවිට ගොඩක් ප්‍රදේශවල ඒ විදිහට ම ඒ කටයුතු සිද්ධ වෙනවා. එක පදනම් කරගෙන තමයි අපි නිව්ස් එක දැම්මේ," ඔහු බීබීසී සිංහල වෙත කියා සිටියේ ය.

"තඹුත්තේගමින් පටන් ගත්ත ම, අනුරාධපුරෙන් පටන් ගත්ත ම, කටුනායකින් පටන් ගත්ත ම, ඒ වගේ ම මොරටුමුල්ල පොලිසිය ඒ බව ප්‍රදර්ශනය කරලා තියෙනවා, ඒ වගේ නොයෙක් තැන්වල ඒ විදිහට බලාපොරොත්තු වෙනවා මහජන රක්ෂක කමිටුවේ නිර්දේශය පොලිස් වාර්තාව ගන්න. ඒ මූලාශ්‍ර අපි ළඟ තියෙනවා. අපිට හිතාගන්න බැරි මේ බව රටේ සිදුවෙන බව දන දැනත් ඇයි මේකට රජය මේ තරම් කලබල වුණේ කියලා."

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පසුගිය සෙනසුරාදා එනම් නොවැම්බර් 21 වන දින දැනුම්දීමක් කළ බව අරුණ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම පැවසුවේ ය.

"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගිය සෙනසුරාදා දැනුම් දීමක් කරලා තියෙනවා එන්න කියලා. ඒ වෙලාවේ මම අසනීපෙන් හිටපු නිසා මම දැනුම් දුන්නා මම අසනීපෙන් ඉන්නේ, මට කාලයක් දෙන්න, මම දැනුම් දෙන්නම් වෙන දවසක එන්න වෙනවා කියලා. ඒ ගැන දැනුම් දීමක් තාම මට කරන්න බැරි වුණා.

CID එකට මම තාම ගියේ නෑ," ඔහු පැවසීය.

සාමාන්‍යයෙන් මෙවැනි පැමිණිලි සඳහා ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පුවත්පත් කාර්යාලයට පැමිණ සිදු කරන්නක් බව ද ඔහු පැවසුවේ ය.

"සීඅයිඩී එක සාමාන්‍යයෙන් අපරාධමය නොවන වරදක් සම්බන්ධයෙන් නොවන නිසා ගොඩක් වෙලාවට පත්තර කන්තෝරුවට ඇවිල්ලා තමයි ප්‍රකාශ සටහන් කරගන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා එහෙම කරයි කියලා."

මෙලෙස මාධ්‍යවේදීන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අපරාධ පරික්ශාන දෙපාර්තමේන්තුව වෙත කැඳවීම තුලින් එම ක්‍රියාවලියේ සිටින්නන් බියගන්විමක් සිදුවන බව කතෘවරයා පෙන්වා දෙයි.

"සීඅයිඩී එකට කැඳවූවා ම ලොකු බයක් ඇති වෙනවා නවක මාධ්‍යවේදීන්. මේක මර්දනය සඳහා පාවිච්චි කරන දෙයක්. ඒකෙන් ම අපට නිව්ස් දෙන මූලාශ්‍ර පවා බය වෙනවා ඒ අයගේ තොරතුරු සීඅයිඩී එක හෙළිදරවු කරලා එයාලගේ රැකියාවලට ප්‍රශ්නයක් වෙයි කියලා. එක සීඅයිඩී එකේ වරදක් නෙවෙයි, ඒක ආණ්ඩුව පාවිච්චි කරන විදිහේ වරද. මාධ්‍යවේදියෙක් සීඅයිඩී එකට ගෙන්නුවට පස්සේ නිදහස් මනසකින් නෙවෙයි උත්තර දෙන්නේ," ඔහු පැවසුවේ ය.

"එතකොට ඒකට ගියා ම අනෙක් මාධ්‍යවේදීනුත් බය වෙනවා සමහර දේවල් ලියන්න ගියා ම. ඒක මර්දනකාරී වෙනවා මේ වගේ දෙයකටත් සීඅයිඩී ගියා ම. ඒක නරක පූර්වාදර්ශයක්."

එමෙන් ම , "අපි රජයට සහ සීඅයිඩී එකට ඒත්තු ගන්වන්න උත්සහ කරනවා මේ විදිහට කරනකොට රජය බලාපොරොත්තු වෙන යහපත් මාධ්‍ය කලාව කරගෙන යන්න බැරි වෙනවා, විවේචනාත්මක මාධ්‍යට ඉඩක් නැතිව යනවා, ජනතාව අතරේ අසත්‍ය තොරතුරු පැතිරෙනවා," යැයි ඔහු තවදුරටත් පැවසීය.

ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව කර්තෘ මහින්ද ඉලේපෙරුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තෙවරක් කැඳවා ඇති බව ඔහු බීබීසී සිංහල වෙත පැවසුවේ ය.

"මේ ආණ්ඩුව පත්වුණාට පසුව තුන්වෙනි වතාවට තමයි සීඅයිඩී එකට මාව කැඳවලා තියෙන්නේ. කලින් දෙවතාවේ ම මම මෙහෙම ප්‍රචාරයක් දෙන්නේ නැතිව එයාල කිව්ව ගමන් ම සීඅයිඩී එකට ගියා. මේක ඉවරයක් වෙන්නේ නෑ."

"මම නීතියට ගරු කරන පුරවැසියෙක් නිසා මම ඒ අවස්ථා දෙකේ ම ගියා. හැබැයි මේ අවස්ථාවේ, ඉතා ම ආණ්ඩු විරෝධී නොවන, කැළඹීමේ චේතනාවකින් නොකරපු, සැබෑ මූලාශ්‍ර සහිත ප්‍රවෘත්තියක් ඉදිරිපත් කළා ම ඒක පාර්ලිමේන්තුවේ දැඩි සේ විවේචනය කරලා, ඊට පස්සේ දැඩි විදිහට හෙළා දැකලා, අපට උත්තර දෙන්න බැරි තැනක එයාලා ප්‍රකාශ නිකුත් කරලා, ඊට පස්සේ අපිව සීඅයිඩී එකට කැඳවනකොට මට දැන් තේරෙනවා මෙතන මාධ්‍ය මර්දනය සඳහා ගන්න ක්‍රියාමාර්ගයක් කියලා," කර්තෘවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

මාධ්‍ය සංගම්වල කනස්සල්ල

මෙම සිදුවීමට අදාළව අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුමගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම පිළිබඳව මාධ්‍ය සංවිධාන සිය කනස්සල්ල පළ කොට තිබේ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, "පොලීසිය භාර ඇමතිවරයා ලෙස මෙවැනි අවස්ථාවක ආනන්ද විජේපාල හැසිරිය යුත්තේ ජනතාව ප්‍රතික්ෂේප කළ පසුගිය ආණ්ඩු ලෙස අත්තනෝමතිකව නොවන," බව ය.

"සිය අමාත්‍ය ධුරයේ වගකීම නිසි ලෙස ඉටුකිරීම වන්නේ, පුවත සාවද්‍ය නම් පිළිතුරු දීමේ අයිතිය භාවිතා කොට සත්‍යය පළ කිරීම සහ පුවත ඇත්තක් නම් අදාළ අවකල් කටයුත්ත සිදුනොකරන මෙන් පොලීසිය දැනුවත් කිරීමයි," යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන් ම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට දැනගැනීමට ලැබී ඇති ආකාරයට පුවත්පතේ පළ ව ඇති කරුණ සැබෑවක් බවට නිවේදනයේ සඳහන් වේ.

එමෙන් ම, "මාධ්‍යවේදී මහින්ද ඉලේපෙරුම පොලීසිය වෙත කැඳවීම නොකළ යුත්තක් බව පෙන්වා දෙමින් ඔවුන් එම ක්‍රියාව හෙළා දකින අතර පොලීසියට යමක් දැන ගැනීමට වුවමනා නම් ඔහු වෙත යා හැකි බව ද," එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති අතර, "පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් පිළිබඳව කටයුතු කළහැකි අවම සදාචාරයවත් නොසලකා රජය විසින් පුවත්පතේ කර්තෘවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම පැහැදිලිව ම තමන්ට හීලෑ නොමැති ජනමාධ්‍ය මර්දනයට රජය තුළ පවතින කැමැත්ත ප්‍රක්ෂේපණය වන්නක් ," බව එහි සඳහන් ය.