ඉතියෝපියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් නැඟෙන අළු දුමාරය ශ්‍රී ලංකාවේ ගුවන් ගමන්වලට බලපා ඇති ආකාරය

A satellite image shows ash rising from the eruption of the Hayli Gubbi volcano in Ethiopia as it drifts over the Red Sea.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉතියෝපියාවේ හේලි ගුබ්බි ගිනි කන්දෙන් අඩි දහස් ගණනක් ඉහළට අළු වලාවක් වායුගෝලයට මුදා හැර තිබේ
    • Author, බීබීසී සිංහල

ඉතියෝපියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් නැඟෙන අළු දුමාරය නිසා ඊයේ (නොවැම්බර් 24 වැනිදා) ලන්ඩන් බලා පියාසර යානයක් ප්‍රමාද වී පියාසර කිරීමට සිදුව තිබේ.

සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල බීබීසී සිංහල පැවසුවේ, මෙම තත්ත්වය හේතුවෙන් (නොවැම්බර් 24 වැනිදා) ලන්ඩන් බලා පියාසර කළ UL 503 දරන යානය ප්‍රමාද වී ඇෆ්ඝනිස්ථානය හරහා පියාසර කළ බවයි.

එහෙත් අද (නොවැම්බර් 25 වැනිදා) දිනයේ කිසිදු බාධාවකින් තොරව යානා පියාසර කරන බව ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත්, මෙම දුමාරය හේතුවෙන් මේවන විටත් ඉන්දියාවේ ගුවන් මෙහෙයුම්ලට බාධා මතුව තිබේ.

කපිතාන් දමින්ද රඹුක්වැල්ල සඳහන් කළේ, මෙම ගිනිකඳු දූමාරය හේතුවෙන් යානා පියාසර කිරීමේදී දෘශ්‍යතාවය (visibility) අඩුවන බවයි.

'අපිට බලපෑමක් එන්න පුළුවන් මේක දිගටම ගියොත්'

සුළං ප්‍රවහාය අනුව මෙම දුමාරය මැද පෙරදිග කාලපයටත්, ඕමන්, ඇෆ්ගනිස්ථාන, ඉන්දියාව සහ පකිස්ථානය දෙසටත් පැතිර ගොස් ඇති බව ඔහු කියා සිටියේ ය.

මෙවැනි තත්ත්වයකදී ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව ද ඔහු පැහැදිලි කළේය.

"විකල්ප මාර්ගවල යන්න වෙනවා , අවොයිඩ් කරලා යන්න වෙනවා. නැත්නම් වෙන තැනක තෙල් ගහලා යන්න වෙනවා. ප්‍රමාද කරන්න වෙනවා. එහෙම නැත්නම් කැන්සල් කරන්න වෙනවා නරකම තත්ත්වයට (Worst case scenario) පත්වුණොත්. නමුත් අපිට එහෙම කරන්න වුණේ නැහැ ඊයේ, විකල්ප මාර්ගවල යන්න සැලැස්සුවා. ඒක ගිය දිශාව අනුව.. පැතිරිලා තියෙන්නේ ඇෆ්ගනිස්ථානය වගේ , ඉන්දියාව, පකිස්ථානය වගේ උඩින්"

"අපිට බලපෑමක් එන්න පුළුවන් මේක දිගටම ගියොත්, අපිට එයාර් කාරාෆ්ට් ෆ්ලයිට් කැන්සල් කරන්න වෙයි. නමුත් දැනට තියෙන විදිහට අපි හිතපු තරම් බලපෑමක් වුනේ නැහැ. එක තමයි කියන්න තියෙන්නේ." යැයි සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල වැඩිදුරටත් පැවසීය.

ඉන්දියාවේ ගුවන් මෙහෙයුම්වලට බාධා

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඉතියෝපියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් නැගෙන මෙම අළු දුමාරය ඕමානය සහ යේමනය හරහා රතු මුහුද හරහා හමා ගොස් දිල්ලියට ළඟා වී ඇති බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) පවසයි.

වසර දහස් ගණනක් අක්‍රීයව පැවති ඉතියෝපියාවේ හේලි ගුබ්බි ගිනි කන්ද පුපුරා යාම ඉරිදා උදෑසන ආරම්භ වූ අතර, එමඟින් අඩි දහස් ගණනක් ඉහළ වායුගෝලයට අළු සහිත දුමාරය මුදා හැර තිබේ.

අළු සහිත දුමාරය හේතුවෙන් ඉන්දියාවේ ගුවන් ගමන් කිහිපයක් අවලංගු කර, ප්‍රමාද වී හෝ විකල්ප ගුවන් මාර්ග ඔස්සේ යවා ඇති අතර, බලපෑමට ලක් වූ ප්‍රදේශ "දැඩි ලෙස මඟ හරින ලෙස" එරට ගුවන් සේවා නියාමන ආයතනය ගුවන් සමාගම්වලින් ඉල්ලා ඇත.

අළු දුමාරය නිසා ඇතිව තිබෙන දූෂණයේ මට්ටම නිෂ්චිතව පැහැදිලි නැතැයි විශේෂඥයෝ පැවසූහ, නමුත් අඟහරුවාදා නිකුත් වූ නිල වාර්තාවලට අනුව "ඉතා දුර්වල" දිල්ලියේ වායු ගුණාත්මක භාවයට එය බලපානු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය.

ගිනිකඳු අළු යනු ගිනිකඳු විදාරණය වීමකදී වායුගෝලයට මුදා හරින ඉතා කුඩා, අංශු වලාකුළකි. එය ගුවන් යානා එන්ජින් වලට හානි කළ හැකි අතර, ගුවන් තොටුපළවල්ද දූෂණය කළ හැකි අතර දෘශ්‍යතාව අඩු කරයි, ඒවා ගුවන් මෙහෙයුම් වලට අනතුරුදායක වේ.

"බලපෑමට ලක් වූ උන්නතාංශය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 8.5 (සැතපුම් 5.2) ත් 15 ත් අතර උසකින් යුක්තයි," IMD අධ්‍යක්ෂ ජනරාල් මෘත්‍යුන්ජේ මොහපත්‍රා බීබීසීයට පැවසීය.

"මේක තාවකාලිකව චන්ද්‍රිකා ක්‍රියාකාරීත්වයට සහ ගුවන් ගමන් මෙහෙයුම් වලට බලපානවා. නමුත් එය කාලගුණික තත්ත්වයන්ට හෝ වාතයේ ගුණාත්මක භාවයට බලපානු ඇතැයි හිතන්න බැහැ. මේක ඊයේ රාත්‍රියේ උතුරු ඉන්දියාවට ළඟා වූණා. දැන් චීනය දෙසට ගමන් කරන බව තමා පෙනේන්නේ," මොහපත්‍රා පැවසීය.

පුද්ගලික ආයතනයක් වන ස්කයිමෙට් වෙදර් ආයතනයට අනුව, අළු දුමාරය විසිරී යෑමට කොපමණ කාලයක් ගතවේදැයි අනාවැකි කීම දුෂ්කර නමුත්, අඟහරුවාදා සවස් වන විට දිල්ලියේ අහස පැහැදිලි වනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) ඇස්තමේන්තු කරයි.

අළු හේතුවෙන් ගුවන් යානා මෙහෙයුම් අඩාල වී ඇති අතර, එයාර් ඉන්දියා ගුවන් ගමන් 11 ක් අවලංගු කර ඇති අතර, ඉන්ඩිගෝ, ආකාසා එයාර් සහ KLM වැනි ගුවන් සේවා ද බලපෑමට ලක්ව ඇති බව වාර්තා වේ.

X වෙත නිවේදනයක් නිකුත් කරමින් ඉන්ඩිගෝ පැවසුවේ "ජාත්‍යන්තර ගුවන් සේවා ආයතන සමඟ සම්බන්ධීකරණයෙන්" තත්ත්වය නිරීක්ෂණය කරන බවයි.

ගුවන්තොටුපළට යාමට පෙර ඔවුන්ගේ ගුවන් ගමන් වල තත්ත්වය පරීක්ෂා කරන ලෙස මුම්බායි ගුවන්තොටුපළ මගීන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගුවන් මෙහෙයුම්කරුවන්ට උපදේශනයක් නිකුත් කරමින් කියා සිටියේ එන්ජින් ක්‍රියාකාරීත්වයේ විෂමතා හෝ මැදිරි දුම හෝ ගන්ධය ඇතුළු ඕනෑම සැක සහිත අළු සහිත තත්ත්වයන් වහාම වාර්තා කරන ලෙසයි.

බලපෑමට ලක් වූ කලාප ආශ්‍රිතව පියාසර කරන ගුවන් යානා පරීක්ෂා කරන ලෙසත්, "තත්ත්වය නරක අතට හැරේ නම් බලපෑමට ලක් වූ ගුවන් තොටුපළවල මෙහෙයුම් අත්හිටුවීම හෝ ප්‍රමාද" කරන ලෙසත් එම උපදේශනය මගින් ගුවන් සේවාවලට උපදෙස් දී තිබේ.

ගිනිකඳු අළු දූෂණය සම්බන්ධයෙන් අඩු, මධ්‍යම සහ ඉහළ යන මට්ටම් යටතේ කාණ්ඩ තුනක් ඇත. ඊට සැලකිය යුතු හානියක් සිදු කිරීමට පෙර ගුවන් නියමුවෙකුට එම සාන්ද්‍රණයන් තුළ කොපමණ කාලයක් පියාසර කළ හැකිද යන්න පිළිබඳ මාර්ගෝපදේශයක් ඊට අන්තර්ගතය.

මෙම අවස්ථාවේ දී දූෂණයේ මට්ටම පැහැදිලි නොමැත.

"ගිනිකඳු පිපිරීම් නිසා ඇතිවන දූෂණය මැනීම සඳහා විශාල සූදානමක් අවශ්‍ය වෙනවා. සංවේදක කල්තියා යෙදවිය යුතුයි. මෙම නිෂ්චිත ගිනිකඳු පිපිරීම එවැනි සූදානම් වීමකට කිසිදු ඉඩක් ලබා දුන්නේ නැහැ. එබැවින් දූෂණයේ මට්ටම හරියට ම දන්නේ නැහැ," ස්කයිමෙට් වෙදර් හි සභාපති (කාලගුණ විද්‍යාව සහ දේශගුණික විපර්යාස) ජී.පී. ෂර්මා පැවසීය.

ගිනිකඳු අළු වලාකුළු දුර්ලභ ය. නමුත් 2010 දී අයිස්ලන්තයේ ගිනි කන්දු පුපුරායමකින්, එය ගෝලීය සංචාරක ක්ෂේත්‍රයේ අවුල් සහගත තත්ත්වයක් ඇති කළේය. එක්සත් රාජධානිය සහ යුරෝපීය ගුවන් කලාපය මේ හේතුවෙන් වසා දමා හෝ අර්ධ වශයෙන් වසා දැමුණු අතර, එය දෙවන ලෝක යුද්ධයෙන් පසු දරුණුතම ගුවන් ගමන් බාධාවන්ට හේතු විය.