ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් බාලිහි ගුවන් ගමන් අවලංගු කරයි
- Author, ග්‍රේම් බේකර්
- Role, බීබීසී ප්‍රවෘත්ති
ඉන්දුනීසියාවේ වඩාත් ක්‍රියාකාරී ගිනි කන්දක් පුපුරා යාම හේතුවෙන් බාලි වෙත සහ ඉන් පිටතට සිදුකෙරෙන ගුවන් ගමන් කිහිපයක් අවලංගු කර හෝ ප්‍රමාද කර ඇත.
ඉන්දුනීසියානු ගිනි කඳු අධ්‍යයන ඒජන්සියට අනුව, ෆ්ලෝරස් දූපතේ පිහිටි ලෙවෝටෝබි ලකී-ලකී ගිනි කන්ද අඟහරුවාදා එරට වේලාවෙන් පස්වරු 5:35ට විදාරණය වීමෙන් කිලෝමීටර 11කට (සැතපුම් 6.8) වඩා ඉහළ අහසට අළු පැහැති දුමාරයක් නිකුත් වී තිබිණි.
මෙතෙක් පුද්ගල හානි කිසිවක් වාර්තා වී නැත. බලධාරීන් ඉහළ ම මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ගිනි කන්දේ සිට අවම වශයෙන් කිලෝමීටර 7ක් දුරින් සිටින ලෙස ජනතාවට දැනුම් දී ඇත.
ෆ්ලෝරස්හි බටහිර දෙසින් පිහිටි බාලි දූපත් වෙත සහ ඉන් පිටතට යන ගුවන් ගමන් අවලංගු කළ සමාගම් අතර Air India, Air New Zealand, Jetstar, Juneyao Airlines, Singapore Airlines සහ Virgin Australia යන සමාගම් ද වේ.

ඡායාරූප මූලාශ්‍රය, EPA
බදාදා දහවල් I Gusti Ngurah Rai ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් දත්තවලට අනුව, ගිනි කන්ද විදාරණය වීම හේතුවෙන් ගුවන් ගමන් 20කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇත.
ෆ්ලෝරස් බලා පිටත්ව යන AirAsia දේශීය ගුවන් ගමන් කිහිපයක් ද අවලංගු කර තිබේ.
නොවැම්බර් මාසයේදී කඳු මුදුන් දෙකක් සහිත මෙම ගිනි කන්ද කිහිප අවස්ථාවකදී විදාරණය වූ අතර, එහිදී පුද්ගලයින් නව දෙනෙකු මිය ගිය අතර තවත් දහස් ගණනකට ප්‍රදේශය හැර යාමට සිදුවිය.
භූ විද්‍යා ප්‍රධානී මුහම්මද් වෆිඩ් අනතුරු ඇඟවූයේ, අධික වර්ෂාව සහිත තත්ත්වයක් ඇති වුවහොත් ගිනිකඳු සුන්බුන්වලින් සෑදුණු ලහාර් ලෙස හඳුන්වන මඩ සහිත ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව ය.
ගිනිකඳු අළුවලින් ආරක්ෂා වීම සඳහා මුහුණු ආවරණ පැළඳීමට ද අවට පදිංචිකරුවන්ට උපදෙස් දී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, EPA
ජාතික ආපදා ඒජන්සිය පැවසුවේ, එක් ගම්මානයක ජනතාව ඉවත් කළ බවත්, අනතුරුදායක කලාපයෙන් පිටත තවත් ගම්මානයකට අළු වැටී ඇති බවත් ය.
ගිනි කන්ද තවමත් ක්‍රියාකාරී බව පෙන්නුම් කරන භූ කම්පන තවමත් සිදුවන බැවින් ගිනි කන්ද අසල ජීවත් වන ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඉන්දුනීසියාව පැසිෆික් "ගිනි වළල්ල" (Ring of Fire) මත පිහිටා ඇති රටක් වන අතර, එහිදී භූ තැටි එකිනෙක ගැටෙන අතර එය බොහෝ ගිනි කඳු සහ භූමිකම්පා ඇති වීමට හේතු වෙයි.
ලෙවෝටෝබි ලකී-ලකී අවසන් වරට පුපුරා ගියේ, මැයි මාසයේදී වන අතර, පසුව බලධාරීහු ඉහළ මට්ටමක අනතුරු ඇඟවීම් නිකුත් කළහ.
ඉන්දුනීසියානු භාෂාවෙන් "මිනිසා" යන අර්ථය ඇති ලකී-ලකී ගිනි කන්ද, "කාන්තාව" යන අර්ථය ඇති පෙරම්පුවාන් යනුවෙන් හඳුන්වන උසින් වැඩි ගිනි කන්දක් සමග කඳු යුගලයක් ලෙස පිහිටා තිබේ.















