නවසීලන්ත ගිනි කන්ද: මෙහෙයුම්වලට බාධා

Helicopter covered in ash on White Island, 9 December

ඡායාරූප මූලාශ්‍රය, Michael Schade

ඡායාරූප ශීර්ෂ වැකිය, දූපතේ නවතා ඇති හෙලිකොප්ටරයක් අළුවලින් වැසී ගොස් ඇති අයුරු

නවසීලන්තයේ 'වයිට් අයිලන්ඩ්' යමහලෙහි (ගිනි කන්ද) ඉහළ මට්ටමේ භූ චලන ආශ්‍රිත ක්‍රියාකාරකම් පෙන්නුම් කරන බැවින් සහන මෙහෙයුම් අත්හිටුවීමට සිදුව ඇත.

මිය ගොස් ඇතැයි අනුමාන කෙරෙන පුද්ගලයන් අට දෙනෙකු සොයා, රැගෙන ඒමට හැකි වනු ඇති බවට බලධාරීහු බලාපොරොත්තු පළ කළහ.

ඛේදවාචකයෙන් හය දෙනෙකු මරණයට පත්ව ඇති බව මේ වන විට තහවුරු වී ඇත. දරුණු මට්ටමේ පිළිස්සුම් තුවාල සහිත බරපතල තත්ත්වයේ පසුවන තවත් විසි පස් දෙනෙකු රෝහල් ගත කර තිබේ.

වකාරි නමින්ද හඳුන්වනු ලබන 'වයිට් අයිලන්ඩ්' යමහල සඳුදා (දෙසැ 09) පුපුරා යන අවස්ථාවේ සංචාරකයන් ගණනාවක් දූපත වෙත පැමිණ සිටියහ.

"මේ මෙහෙයුමට සම්බන්ධ බොහෝ දෙනෙකුට මම කතා කළා. ඔවුන් මිනිස්සුන්ගේ ආදරණීයයන් යළි රැගෙන ඒමට දූපත වෙත යන්න ඉතාමත් නොඉවසිල්ලෙන් ඉන්නේ" යනුවෙන් නවසීලන්තයේ අගමැතිනි ජසින්ඩා ආඩන් වාර්තාකරුවන්ට පැවසුවාය.

මේ අතරතුර මරණයට පත් පුද්ගලයන් හඳුනා ගැනීමේ ක්‍රියාවලි සහ මරණ පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙහෙයුම් ප්‍රමාද ඇයි?

White Island volcano

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 'වයිට් අයිලන්ඩ්' දූපත ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි

"අද උදෑසන හතරේ පමණ සිට දූපතේ ගිනි කඳු චලනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබෙනවා" යනුවෙන් භූගෝලීය වෙනස්කම් සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක් වන 'ජියෝනෙට්' බදාදා (දෙසැ 11) නිකුත් කළ නිවේදනයක දැක්වේ.

"ඉදිරියේ ඇති විය හැකි තත්ත්වය ඉතාමත් සැක සහිතයි. ඉදිරි පැය 24 තුළ විදාරණ ඇති වීමේ හැකියාවක් පවතිනවා"

"දූපත තුළ භූ චලන ආශ්‍රිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ලැබෙන සංඥා මේ වන විට ඉහළ යමින් පවතිනවා" යනුවෙන් යමහල් පිළිබඳ ප්‍රවීණයෙකු වන ග්‍රැහැම් ලෙනාර්ඩ් පොලිසිය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදී පැවසීය.

"ඊයේ විදාරණය වීමේ ඉහළ අවදානමක් පැවතියා" යනුවෙන් කී ඔහු " අද වන විට විදාරණය වීමට වඩාත් ඉහළ අවදානමක් පවතිනවා" යැයි සඳහන් කළේය.

ගිනි කන්ද

භූ චලන ආශ්‍රිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ලැබුණු අලුත්ම වාර්තා අනුව සහන මෙහෙයුම් පමා කරනවා හැර වෙනත් විකල්පයක් නොමැති බව පොලිසිය කියා සිටී. නමුත් හැකි ඉක්මනින් දූපත වෙත ළඟා වීමට එම කණ්ඩායම් නිරන්තර සූදානමින් පසුවන බවත් පොලිසිය පැවසීය.

යමහලේ විවරයෙන් විෂ වායු පිටවන බව කී පොලිසිය භාර අමාත්‍ය ස්ටුවට් නෑෂ් දූපත අම්ලකර ඝන අළු ස්ථරයකින් වැසී ඇති බව සඳහන් කළේය.

දූපතේ තවමත් ක්‍රියාත්මකව පවතින උපකරණ උපයෝගී කර ගනිමින් 'ජියෝනෙට්' ආයතනය වාර්තා ලබා දෙයි. එම වාර්තා ඇසුරින්, පොලිසිය සහන කණ්ඩායම් යැවීම සම්බන්ධයෙන් පවතින අවදානම තක්සේරු කරනු ඇත.

පිරික්සීමේ ගුවන් ගමන්වලදී දූපත තුළ දිවි බේරා ගත් පුද්ගලයන් සිටින බවට හෝඩුවාවක් ලැබී නොමැත. අතුරුදහන් වී සිටින අට දෙනා අතර දිවි බේරා ගත් පුද්ගලයන් නොමැති බව බලධාරීන්ගේ විශ්වාසය වී තිබේ.

Jessica (left) and Julie Richards pictured after completing a fun run

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, හතලිස් හත් හැවිරිදි වියේ පසු වූ ජෙලී රිචඩ්ස් සහ ඇයගේ විසි හැවිරිදි දියණිය ජෙසිකා රිචඩ්ස් අනතුරින් මරණයට පත් වූහ

තුවාල ලැබූවන්ගේ තත්ත්වය කෙබඳුද?

බහුල වශයෙන් සංචාර සහ මනස්කාන්ත දර්ශන දැකිය හැකි ගුවන් ගමන් යෙදෙන 'වයිට් අයිලන්ඩ්' දූපත ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි.

ඉතාමත් සීමිත කාලයක් තුළ පෙළින් පෙළ පිපිරීම් දෙකක් සිදුවන අවස්ථාවේ ලොව නන් දෙසින් පැමිණි සංචාරකයන් හතලිස් හත් දෙනෙකුවත් යමහලෙහි විවරයේ රැඳී සිට ඇත.

තුවාල ලැබූ තිස් දෙනාගෙන් විසි පස් දෙනෙකු ඉතාමත් බරපතල තත්ත්වයේ පසුවන අතර සෙසු පස් දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල වුවත් ස්ථාවර මට්ටමකට ළඟා වී ඇති බව පොලිසිය පවසයි.

Flowers and cards at a fence

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මරණයට පත් වූවන් වෙනුවෙන් දූපත අසල ඇති වරායේ නගරයේ තැබූ මල්

දිවි බේරා ගත් පුද්ගලයන්ට සිදුව ඇති තුවාල කෙතරම් බරපතල දැයි කිවහොත් ඇතැම් පුද්ගලයන්ට තමන්වම හඳුනා ගැනීමට නොහැකි වී ඇති බව පොලිසිය භාර අමාත්‍ය ස්ටුවට් නෑෂ් කියා සිටියේය.

"කිසිම දෙයක් සන්නිවේදනය කර ගැනීමට බැරි කිහිප දෙනෙකුම රෝහලේ ඉන්නවා. ඔවුන්ගේ සම පමණක් නෙවෙයි අභ්‍යන්තර ඉන්ද්‍රියන් පවා සැලකිය යුතු මට්ටමෙන් පිළිස්සීමට ලක් වෙලා" යනුවෙන් ඔහු 'රේඩියෝ නිව්සීලන්ඩ්' වෙත පැවසීය.

"ඔවුන්ට හොඳක් වේවා කියා අපි ප්‍රර්ථනා කරනවා. නමුත් තවමත් අවදානම පහ වී නැහැ"

නවසීලන්තයේ ජාතික පිළිස්සීම් ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පීටර් වොට්සන් කියා සිටියේ රෝගීන්ගේ පිළිස්සීමට ලක් වූ ස්ථානවලට සම බද්ධ කිරීම් සඳහා මිනිස් සම, වර්ග සෙන්ටිමීටර මිලියන 1.2 ක් අවශ්‍ය වෙතැයි ඇස්තමේන්තු කර ඇති බවය. ඒ සඳහා ඇමරිකාවට ඇනවුමක් භාර දී තිබේ.

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක හමුදාවට අයත් දැඩි සත්කාර දිය හැකි ගුවන් යානයක් යොදා ගනිමින් ඉදිරි පැය 24 -48 කාලය තුළ රෝගීන් කිහිප දෙනෙකු ඔස්ට්‍රේලියාව වෙත යවන බවත් වෛද්‍ය වොට්සන් වැඩිදුරටත් පැවසීය.