නවසීලන්තයේ ගිනි කඳු පිපිරීමට හසු වී පස් දෙනෙකුවත් මරුට

Tourist take pictures of the White Island eruption

ඡායාරූප මූලාශ්‍රය, Michael Schade

ඡායාරූප ශීර්ෂ වැකිය, 'වකාරි' නමින් ද හඳුන්වනු ලබන 'වයිට් අයිලන්ඩ්' ගිනි කන්ද නවසීලන්තයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කඳු අතරින් එකකි

නවසීලන්තයේ ගිනි කන්දක් පුපුරා යාමෙන් පස් දෙනෙකුවත් මරණයට පත්ව ඇති අතර තවත් කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරක් නොමැති බව එරට පොලිසිය පවසයි.

පුපුරා යාමට මොහොතකට පෙර 'වයිට් අයිලන්ඩ්' (White Island) ගිනි කඳු විවරය වටා සංචාරකයන් ඇවිද යමින් සිටිනු දැක ඇත.

විසි තුන් දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බව පවසන පොලිසිය මරණයට පත් සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති බව කියා සිටී. එහි වඩාත් අනතුරුදායක තත්ත්වයක් පවතින බැවින් බේරා ගැනීම මෙහෙයුම් සිදු කිරීමට නොහැකි වී ඇත.

'වකාරි' (Whakaari) නමින් ද හඳුන්වනු ලබන 'වයිට් අයිලන්ඩ්' ගිනි කන්ද නවසීලන්තයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කඳු අතරින් එකකි.

එහෙත් පෞද්ගලික හිමිකාරීත්වයක් යටතේ පවතින දූපත සංචාරක ගමනාන්තයකි. බහුල සංචාරක ගමන් සහ මනස්කාන්ත දර්ශන දැකිය හැකි ගුවන් ගමන් ද ඊට ඇතුලත්ය.

ගිනි කන්ද අසලදී සිදුව ඇත්තේ කුමක්ද?

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

'වයිට් අයිලන්ඩ්' ගිනි කන්ද විදාරණය වීම ආරම්භ වී ඇත්තේ එරට වේලාවෙන් පස්වරු 02:11 ට පමණය.

ගිනි කන්ද පුපුරා යාමත් සමග ඉන් ඝන අළු වලා සහ දුමාරය පිට වන ආකාරය උදෑසන සංචාරයක් නිමවා දූපතෙන් ඔබ්බට යාත්‍රා කරමින් සිටි බෝට්ටුවක ගමන් ගත් සංචාරකයෙකු වන මයිකල් ශේඩ් විසින් පටිගත කරනු ලැබ ඇත.

ගිනි කන්ද පුපුරා යාමට මිනිත්තු 30 ට පෙර තමන් එහි විවරය වටා ගමන් කළ බව ඔහු බීබීසී වෙත කියා සිටියේය.

"ඒ වන විට ආරක්ෂිත මට්ටමක් පැවතියත් සංචාරක කණ්ඩායම්වල ප්‍රමාණය සීමා කිරීමට ඔවුන් උත්සහ කරමින් සිටියා"

ගිනි කන්ද පුපුරා යාම පිළිබඳ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ "අපි බෝට්ටුවට නැග්ගා විතරයි...කවුරුහරි ඒක පෙන්නුවා, එතකොටයි අපි දැක්කේ. මම මුලින්ම කම්පනයට පත් වුණා"

"බෝට්ටුව නැවත හරවගෙන ගිහින් ජෙටියෙ හිටපු සමහර අයව ඇදලා ගත්තා."

Stills from a live feed show the crater minutes before the eruption
ඡායාරූප ශීර්ෂ වැකිය, ගිනි කන්ද පුපුරා යාමට මිනිත්තු කිහිපයකට පෙර කඳු විවරයේ සජීවී දර්ශන ඔස්සේ ගත් ඡායාරූපයක්

තවත් ඇසින් දුටුවෙකු වන බ්‍රසීල ජාතික අලෙහන්ද්‍රෝ කවුෆ්මන් නූලෙන් දිවි බේරා ගෙන තිබේ.

"අද ගිනි කන්ද බලන්න යන්න ටුවර් දෙකක් තිබ්බා. ඉස්සෙල්ලම තිබුණු එක අපේ. ගිනි කන්ද පුපුරන්න විනාඩි පහකට කලින් අපි එතනින් පිටත් වුණා," යනුවෙන් ඔහු පෘතුගීසි බසින් ඉන්ස්ටර්ග්‍රෑම් හි සටහනක් තබා තිබේ.

"අවාසනාවකට, පස්සේ ආපු අනෙක් ටුවර් එකේ හිටපු අයට එතනින් පිට වෙන්න ලැබුණේ නැහැ. බරපතල විදිහට පිළිස්සුනු අයත් හිටියා."

ගිනි කන්දේ සිට ලබා දුන් සජීවී දර්ශන මගින් සංචාරකයන් කණ්ඩායමක් කඳු විවරය තුළ සිටිනු දැක ගත හැකි විය. පසුව දර්ශන අඳුරු වී ගොස් ඇත.

දූපතේ සිටියේ කවුරුන්ද?

Map

නවසීලන්තයේ අගමැතිනිය ජසින්ඩා ආඩන් කියා සිටියේ දූපත තුළ හෝ ඒ අවට සංචාරකයන් "ගණනාවක්" සිට ඇති බවය.

"ඒ වෙලාවේ දූපත තුළ තමන්ගේ ආදරණීයයන් හිටපු අය ලොකු අවධානයකින් සහ චකිතයකින් පසු වේවි කියා මා දන්නවා. පොලිසිය කළ හැකි සියල්ල කරන බව මට ඔවුන්ට සහතික විය හැකියි," යනුවෙන් ඇය පැවසුවාය.

පොලිසිය විසින් සෙවීමේ සහ බේරා ගැනීමේ මෙහෙයුම් දියත් කරනු ලැබ තිබුණ බව කී අගමැතිනිය විවරය අවට අළු පතිත වන බැවින් ඒ වෙත ළඟා වීමේ උත්සහයට බාධා එල්ල වී ඇති බව සඳහන් කළාය.

නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ජෝන් ටයිම්ස් කියා සිටියේ " මේ මොහොත වන විට, පොලිසිය සහ බේරා ගැනීමේ කණ්ඩායම් දූපත වෙත යාම ඉතාමත් අනතුරුදායකයි" යනුවෙනි. දූපත "අළුවලින් සහ ගිනි කඳුවලින් පිටවෙන ද්‍රව්‍යවලින් වැසී ඇති බව" ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

"දූපත තුළට යාමට අවස්ථාවක් ලැබෙන තෙක් අපි පවතින තත්ත්වය ගැන සොයා බලමින් ඉන්නවා. ඕනෑම ආකාරයක බේරා ගැනීමේ උත්සාහයක තිබිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් අපි ප්‍රවීණයන්ගේ උපදෙස් ලබා ගනිමින් ඉන්නවා."

දූපත තුළ හෝ ඒ අවට පුද්ගලයන් සිය දෙනෙකු සිට ඇති බව පොලිසිය මුලින් පැවසීය. පසුව එම සංඛ්‍යාව පනහක් බව නිවේදනය කෙරිණි.

එහි සිටි ඇතැම් සංචාරකයන් 'රෝයල් කැරිබියන්' නෞකා සේවයට අයත් 'Ovation of the Seas' නමැති සුඛෝපභෝගී සංචාරක නෞකාවේ (Cruise ship) මගීන් යයි විශ්වාස කරේ.

ඔස්ට්‍රේලියාවේ අගමැති ස්කොට් මොරිසන් කියා සිටියේ ඔස්ට්‍රේලියානුවන් "මේ දරුණු සිදුවීමට හසුව තිබෙනවා" යනුවෙනි. ඔවුන් යහතින් බේරා ගැනීම සඳහා බලධාරීන් කටයුතු කරමින් සිටින බවත් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගිනි කන්ද පුපුරා යාම දැන සිටියාද?

Plume of smoke from volcano

ඡායාරූප මූලාශ්‍රය, Michael Schade

ඡායාරූප ශීර්ෂ වැකිය, දූපත තුළ හෝ ඒ අවට පුද්ගලයන් සිය දෙනෙකු සිට ඇති බව පොලිසිය මුලින් පැවසීය. පසුව එම සංඛ්‍යාව පනහක් බව නිවේදනය කෙරිණි

භූගෝලීය වශයෙන් සිදු විය හැකි අනතුරු නිරීක්ෂණය කරන වෙබ් අඩවියක් වන 'GeoNet' පසුගිය දෙසැම්බර් 03 වෙනිදා අනතුරු ඇඟවීමක් කර තිබිණි. "ගිනි කන්දේ පුපුරා යාමේ ක්‍රියාකාරීත්වය බොහෝ විට සාමාන්‍යයෙන් පවතින මට්ටමට වඩා වැඩි අවදියකට ඇතුළු විය හැක." එසේ වුවත් "ක්‍රියාකාරීත්වයේ දැන් පවතින මට්ටමෙන් සංචාරකයන්ට සෘජු උවදුරක් සිදු නොවේ," යනුවෙන් එහි සඳහන් වී ඇත.

ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ සහය මහාචාර්ය ජැන් ලින්ඩ්සේ කියා සිටියේ මෑතකදී අවදානම් මට්ටම 1 සිට 2 දක්වා ඉහළ දැමුණු බවය. "නොසන්සුන්බවේ ඉහළ මට්ටමක් තිබුණා වගේම ඒ ගැන හැමෝම ඒ ගැන දැන සිටියා," යනුවෙන් ඇය සඳහන් කළේය.

"ගිනි කන්දක නොනවත්වා ක්‍රියාත්මක වන ජලතාපක ක්‍රියාවලියක් තිබෙනවා. මැටි හෝ මඩ කුට්ටියක් යට වායු ගොඩ නැගුනොත් එක පාරටම ඒවා නිදහස් වෙන්න පුළුවන්," යනුවෙන් මහාචාර්ය ලින්ඩ්සේ වැඩිදුරටත් පැවසීය.

"මේ සඳහා, පෘථිවියේ ඝන කබොල්ලට යටින් ඇති දියර බවට පත් ඛනිජ/කාබනික ද්‍රව්‍ය මිශ්‍රණවල (Magma) සම්බන්ධයෙක් නොතිබෙන්න පුළුවන්. මෙය හුමාලය පිරී සිදු වුණු පිපිරීමක් වෙන්න පුලුව. අපි තාම ඒ ගැන දන්නේ නැහැ."