සංචාරක කලාපයක සැඟවුණු මැණිකක් බඳු කළුදියපොකුණ

ඡායාරූප මූලාශ්‍රය, Erick Lenden-Hasse
ඉරු උදාවටත් ප්‍රථමයෙන් අවදි වී අලුයම 5.30ට පමණ ලහි ලහියේ ආහාර ගනිමින් මමත් මාගේ මිතුරියත් සූදානම් වෙමින් සිටියේ හැකි ඉක්මනින් අප යාමට බලාපොරොත්තුවෙන් සිටිනා වනය තුළට පිවිසීමටයි.හිරු උදාව නැරඹීමටත්, උදෑසනින්ම කෑම සොයා යන සතුන් දැකබලා ගැනීමට පහසු වීමත් නිසා එලෙස අලුයමින් ම පිටත් වීමට අපි තීරණය කළෙමු.
පෙරදා රාත්‍රියේ, මාගේ නවාතැනේ සේවා සපයන්නා වූ, වසය අවුරුදු 86ක් පමණ වන කුඹුක්කඳන්වල ග්‍රාමයේ මුල්පදිංචි කරුවන්ගේ සත්වැනි පරම්පරාවේ සාමාජිකයෙකු වන ටිකිරි බණ්ඩා මෙම ප්‍රදේශය ජනාවාසකරණය වූ ආකාරය පිළිබඳ විස්තරයක් පැවසුවේ ය. "ගැමුණු කුමාරයා යුද්දෙ පැරදිලා තැනින් තැනට යමින් හිටිය දි ගෙදරකට ගිහින් කෑම කෑ කතාව අහලා ඇතිනේ. මගේ පරම්පරාවේ ගෙදරකට තමයි ගැමුණු කුමාරයා ඒ විදිහට ගොඩවැදිලා තියෙන්නේ. රජවුණාට පස්සෙ අපේ පරම්පරාවට කැකිරාව පැත්තෙන් නින්දගම් ලබා දීලා තියෙනවා. සියවස් කීපයක් ඒ නින්දගම්වල හිටියාට පස්සෙ ඒ නින්දගම් විකුණලා ඒ මුදල් මේ ප්‍රදේශය අයිතිවෙලා තිබුණු මහවාසළ අධිකාරම් කෙනෙකුට දීලා තමයි මේ ප්‍රදේශයට ලන්දේසි කාලයේදි අපේ පරම්පරාවෙ අය පදිංචියට එන්නේ," යැයි ටිකිරි බණ්ඩා විස්තර කළේ ය. මෙම ගම්මානය දඹුල්ලට කිලෝමීටර් 16ක් පමණ දුරින් පිහිටා ඇති අතර මෙම ග්‍රාමයට යාමට කණ්ඩලම වැව ද පසු කර යා යුතු ය.
මාතලේ දිස්ත්‍රික්කයට අයත් වූවත් මෙම ප්‍රදේශය කාළගුණික වශයෙන් අයත් වන්නේ වියළි කලාපයටයි. ගමට නම වැටීමට හේතුවද ටිකිරි බණ්ඩා විස්තර කළේ ය. " දඹුල්ල විහාරෙ හදන කාලෙ බුදුපිළිම හදලා තියෙන්නෙ අච්චුවකට මැටි පුරවලා. ඒ අච්චු හදන්න කුඹුක් කඳන් ගෙනිහින් තියෙන්නේ ගමට මායිම් වුණ කැලෙන්. ඒ නිසා තමයි මේ ගමට කුඹුක්කඳන්වල කියලා නම වැටිලා තියෙන්නේ."

ඡායාරූප මූලාශ්‍රය, Erick Lenden-Hasse
ගමට නම වැටීමට හේතු පාදක වූ ගමට මායිම් වූ වනාන්තරයට පිවිසීම එදින අපගේ අරමුණ විය. එය අතිශය සුන්දර හා බොහෝ දුරට නොයිඳුල් පරිසර පද්ධතියක් බව පෙර දැනගන්නට ලැබුණ ද එය හැබැහින් දැකගැනීමේ කුහුලක් ඒ වන විට ඇති වී තිබුණි. අප යාමට සූදානම් වෙමින් සිටි වනාන්තරය පුරා විද්‍යා රක්ෂිතයක් වන අතර එය සීගිරිය සංචාරක කලාපයට අයත් සංචාරක ස්ථානයකි.

ඡායාරූප මූලාශ්‍රය, Erick Lenden-Hasse
හිරු උදාව මැදින් සමනල උයනක සිට
අලුයමින්ම උදෑසන ආහාරය ගෙන, ටිකිරි බණ්ඩා විසින් ඔතා දුන් දිවා ආහාරය ද රැගෙන කුඩා මෝටර් සයිකලයෙන් අප පිටත් වූයේ කඳු අතරින් හිරු උදාවන සුන්දර දර්ශනය නැරඹීමටයි. උදෑසන හය පසු වී මිනිත්තු පහක් පමණ ගතවන තැන අපට එම දර්ශනය නැරඹීමට අවස්ථාව ලැබුණු අතර නැගෙනහිර අහස තැඹිලි පැහැයක් ගෙන තිබුණි. සවසට ද හිරු බැස යන දර්ශනය ඉතාම සුන්දර බව මා සමඟ යමින් සිටි මිතුරිය පැවසුවා ය. ඒ වන විට අප රළු මාර්ගයකට ප්‍රවිෂ්ට වී සිටි අතර වළ ගොඩැලි අතරින් සෙමෙන් සෙමෙන් මෝටර් සයිකලය මඳ දුරක් යන අතරතුර දී එම විශ්මයජනක දර්ශනය ආරම්භ විය.
අප ගමන්කරමින් සිටි මාර්ගය දෙපස "සිරි සිරි" හඬ නගමින් සුදු පැහැති සමනලුන් සියගණනක් පියඹා යාමට පටන් ගත්තේ අප එනු දැක පලා යාමට තැත් කරන්නා මෙනි. නමුත් එය සැබෑ දර්ශනයක්දැයි ඇස් අදහා ගත නොහැකි තරම් විශාල සමනලයන් ප්‍රමාණයක් දක්නට ලැබුණි. අප ගමන් ගත් බයිසිකලයේ සමනලුන් වැදී ඔවුන්ට හානියක් වේදැයි සැක මතු වූ නිසා අපි මදවේලාවක් බයිසිකලය නවත්වා සිටියෙමු. මෙම සමනලයන් වර්ගය ශ්‍රී ලංකාවේ බහුලව දැකගත හැකි Common Albatross නැමැති සමනල විශේෂයයි. මද දුරක් ගොස් පුරා විද්‍යා කලාපයට ඇතුළුවන තෙක්ම සමනල් රංචු දැකගැනීමට හැකි වූ අතර ඒවා අතර Common Indian Crow, Chocalate Soldier, Tamil Yeoman, Red spot duke යන සමනලුන් බහුලව ම දැකගැනීමට හැකි විය. පැවති අධික වියළි කාලගුණය හේතුවෙන් සමනල් ගහණය යම් දුරකට අඩු වී තිබුණද දින කිහිපයකට පෙර ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් නැවතත් සමනල් ගහණය වර්ධනය වී ඇති බව දැනගන්නට ලැබුණි.

ඡායාරූප මූලාශ්‍රය, Erick Lenden-Hasse
දෙවන සේන රජු ඉදිකළ ආරාමය
ඒ වන විට අප පුරාවිද්‍යා කලාපයට ඇතුළු වී සිටි අතර උදෑසනම වූ නිසාදෝ අප යනවිට කිසිඳු සංචාරකයෙක් එහි පැමිණ තිබුණේ නැත. කළුදියපොකුණ පුරා විද්‍යා රක්ෂිතයට එලෙස නම යෙදීමට මූලික හේතුවක් වී ඇත්තේ මෙම පුරා විද්‍යා කලාපයේ ඇති පොකුණයි. එය කළුදියපොකුණ නමින් හඳුන්වයි. අනුරාධපුර යුගයේ ඉදිවූවක් වූවද අනෙකුත් පොකුණුවල වැනි කැටයම් හෝ වෙනත් ශිලා නිර්මාණ එහි නොතිබූ අතර එය හුදෙක් ස්වභාවික විලකට සමාන විය. ජල මට්ටම අඩු වී තිබුණු නමුඳු එහි ජලය කළු පැහැයෙන් දිස්විය. වියළි කාලයේදී පවා අවශ්‍ය ජලය සපයාගැනීම සඳහා මෙම පොකුණ කරවා අතැයි දැනගැන්නට ලැබුණි.
එහි ස්ථූපයක නටඹුන් දිස්වන අතර ගල් කුට්ටි යොදාගනිමින් සිදු කළ ඉදිකිරීම් කිහිපයක නටබුන් ද දැකගැනීමට හැකි විය. කුඹුක්කඳන්වල ග්‍රාමයේම පදිංචි කරුවෙකු වූ ස්ථාන භාර පුරාවිද්‍යා සහායක හේරත් එහි ඇති පුරා විද්‍යා වටිනාකම පැහැදිලි කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Erick Lenden-Hasse
"1970 ගණන්වල වගේ ගමේ හිටපු මුතුබණ්ඩා කියලා කෙනෙක් මේ කැලේ දි නටබුන් දැකලා සීගිරියෙ තිබුණු පුරාවිද්‍යා කාර්යාලයට දැනුම් දීලා තියෙනවා. ඒ අනුව තමයි මෙතණ කැණීම් පටන් ගන්නේ. කැණීම් අතරතුර සොයාගත් සෙල්ලිපියකින් මේ තැන අනුරාධපුර රාජධානියේ සිටි රජකෙනෙක් වන දෙවන සේන රජතුමා විසින් කරවපු ආරාමයක් බව හෙළිවෙලා තියෙනවා," එම නිලධාරියා පැවසුවේ ය. මෙම විහාරය පුරාණ කාලයේ හඳුන්වා තිබෙන්නේ 'දඛිණගිරි' විහාරය ලෙසයි. රක්ෂිතයේ සෑම තැනම ගල් පර්වත දිස්වන අතර කඳුමුදුන්ද ගල් පර්වත වලින් සැදී ඇත. ගල් පර්වත පෙනෙනා විහාරයක් නිසා එය දඛිණගිරි ලෙස නම් කළ බවට සැක කරන බව පුරා විද්‍යා නිලධාරියා පැවසුවේ ය. එහි තෙවන සේන රජුගේ කාලයේ කරවන ලද පුවරු ලිපියක්ද ඇති අතර එහි, විහාරයේ භික්ෂූන් හා නිලධාරීන් පිළිපැදිය යුතු නීතිරීති අඩංගු බවත්, එසේ නීති කඩකරන්නන්හට 'මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමට නොහැකිවේවා' යනුවෙන් සඳහන් කර ඇති බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සවිකළ පුවරුවක දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, Erick Lenden-Hasse
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙම ප්‍රදේශය ආශ්‍රිතව කටාරම් කොටා සකස් කරන ලද ලෙන් කිහිපයක්ම දැකගැනීමට හැකියි. පුරා විද්‍යා නිලධාරියා පැවසුවේ එලෙස කටාරම් කොටා ඇති ලෙන් 47ක් මේ වන විට පුරා විද්‍යා රක්ෂිතයෙන් සොයා ඇති බවයි. "කටාරම් කොටලා තියෙන එකෙන් තමයි මේ ලෙන්වල මනුෂ්‍ය ක්‍රියාකාරකම් සිදුවුණා කියලා සාක්ෂි ලැබෙන්නේ. මේ සමහර ලෙන් විශාල පිරිසකට එක වර ඉන්න පුලුවන් එවා. බොහෝදුරට මේ විහාරයේ විශාල භික්ෂූන් වහන්සේලා පිරිසක් ඉන්න ඇති කියලා අනුමාන කරනවා," හේරත් පවසයි.
නටබුන් ආශ්‍රිතව පිහිටා ඇති ගල් තලාවක් "සළුසල" ලෙස හඳුන්වන අතර එය භික්ෂූන් වහන්සේලා සිය සිවුරු සේදීමට යොදාගත් ස්ථානය යැයි කියැවේ. වර්ෂා කාලයේ දී ඒ හරහා ජල පහරක් ගලා යන නමුත් අප එහි යන විට කුඩා වතුර වළවල් පමණක් ඉතිරි වී ජල පහර සම්පූර්ණයෙන් ම වියළී ගොස් තිබුණි. එම වතුර වළවල් ආශ්‍රිතව තෙත් වූ පසේ සුදු පැහැති සමනලයන් රංචු පිටින් වසා සිටිය හ. ඒ ආශ්‍රිතව බොහෝ ගල් පර්වත දැකගැනීමට හැකි අතර නටබුන්වල ඇති ගල්කණුවල ප්‍රමාණයට සමානවන අයුරින් එම ගල්කුට්ටිවල කැපුම් සලකුණු දමා ඇති බව නිරීක්ෂණය කළ හැකිය. විහාරය සෑදීම සඳහා ගල්කණු ලබාගන්නට ඇත්තේ ද මෙම ප්‍රදේශයෙන් ම බව ඔහු පවසයි.
ඒවන විට විදෙස් සංචාරකයන් කිහිපදෙනෙකු මෙම ස්ථානය නැරඹීමට පැමිණ සිටි අතර, වෙනත් ස්ථානවල මෙන් දේශීය හෝ විදේශීය සංචාරකයන් හට අවසර පතක් අලෙවි කිරීමක් නොකරන නිසා ඕනෑම අයෙකුට නොමිලේ ඇතුළුවීමේ හැකියාව පවතී.

ඡායාරූප මූලාශ්‍රය, Erick Lenden-Hasse
වඳුරු රාජධානියේ තතු
අහස උසට විහිදුණු දැවැන්ත ගස් අතරින් කුහුඹුවන් සේ අප ගමන් කරමින් සිටිය දී එම ගස්වල අතුපතරෙන් පෙරී එන ළා හිරු රශ්මිය අතරින් ශ්‍රී ලංකාවට ආවේණික වඳුරු විශේෂයක් වන කළුවඳුරු රංචුවක් ගමන් අරමින් සිටිනා බව අපට නිරීක්ෂණය විය. [Purple-Faced Leaf Langur] ලෙස හඳුන්වන මෙම වඳුරු විශේෂය මෙන් ම අළු වඳුරන් ලෙස හඳුන්වන [Gray langur] වඳුරු විශේෂය ද මෙහි ජීවත් වෙති. මේ වන විට මෙම කළුදියපොකුණ පුරා විද්‍යා රක්ෂිතය ආශ්‍රිත ව වඳුරන් සම්බන්ධයෙන් [Kaludiyapokuna Primate Conservation and Research Center]නමින් දීර්ඝකාලීන පර්යේෂණ ව්‍යාපෘතියක් සිදු කරන අතර එය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, එක්සත් ජනපදයේ ජෝර්ජියා විශ්වවිද්‍යාලය හා ස්ටෝනි බෲක් විශ්වවිද්‍යාලයේ මෙහෙයවීමෙන් සිදු කෙරේ. ඒ සඳහා දේශීය විශ්වවිද්‍යාලවල උපාධිදාරීන් හා විද්‍යාර්ථීන් මෙන් ම ස්වේච්ඡා සහභාගීත්වය සපයන විදේශීය විශ්වවිද්‍යාලවල සිසුන්ද සම්බන්ධ වී සිටියි. එම ව්‍යාපෘතියේ සම අධ්‍යක්ෂකවරයෙකු වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන ආචාර්ය රාජ්නිෂ් වැන්ඩකෝන් මෙම රක්ෂිතයේ ජීවවිද්‍යාත්මක වැදගත්කම පැහැදිලි කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Erick Lenden-Hasse

ඡායාරූප මූලාශ්‍රය, KPCRC web
වර්ග කිලෝමීටර 13ක් පුරා පැතිරී ඇති මෙම රක්ෂිතයේ තවමත් ස්වභාවික හැසිරීම් සහිත සතුන් ජීවත්වීම විශේෂත්වයක් බව ආචාර්ය රාජ්නිෂ් පැවසුවේ ය. "අපි ජාතික වනෝද්‍යානයක හෝ වෙනත් කැලෑවක ගිහින් බැලුවොත් ඒ සත්තු මිනිස් ක්‍රියාකාරකම්වල මොකක් හරි බලපෑමකට ලක්වෙලා තියෙනවා. සමහර වනෝද්‍යානවලට ගියාම රිලවුන් වගේ සත්තු කෑම ඉල්ලගෙන එනවා. ඒ වගේ තැනක අපට මේ සතුන් ගැන පර්යේෂණ කරන්න බෑ. නමුත් මේ වනාන්තරයේ සතුන්ට මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවෙලා තියෙන බලපෑම අවමයි. එ නිසා පර්යේෂණයකට වුණත් හොඳ දත්ත මේ රක්ෂිතයෙන් ලබා ගන්න හැකියි," ඔහු පැහැදිලි කළේ ය.
එමෙන් ම අළුවඳුරන් සහ කළුවඳුරන් එකම පරිසර පද්ධතියක ජීවත්වීම ද මෙම රක්ෂිතයේ විශේෂත්වයක් බව ආචාර්යවරයා පෙන්වා දෙයි. "ලංකාවෙ බොහෝ වනෝද්‍යානවල එක්කෝ කළු වඳුරන් ඉන්නවා. එහෙම නැතිනම් අළුවඳුරන් ඉන්නවා. නමුත් මේ වර්ග දෙකක් එක සමාන පරිසර පද්ධතියක ජීවත් වෙන්නේ හරිම කලාතුරකින්. ඒ වගේ විශේෂ දෙකක් පහසුවෙන් නිරීක්ෂණය කිරීමට හැකි වීමත් මේ රක්ෂිතයේ ඇති විශේෂත්වයක්."
මීට අමතරව මෙම රක්ෂිතයේ සුළු වශයෙන් රිළවුන්ද වාසය කරයි. ආචාර්ය රාජ්නිෂ් පෙන්වා දුන්නේ මිනිස් ක්‍රියාකාරකම් වැඩි වී සංචාරකයන් සතුන්ට කෑම ලබා දීමට පුරුදුවුවහොත් වඳුරු ගහණය ඉක්මවා රිලවුන්ගේ ගහනය ඉහළ යනු ඇති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Erick Lenden-Hasse
"ඕනෑම පරිසර පද්ධතියක සමබරතාවයක් තිබිය යුතුයි. ඒ සඳහා විවිධ සතුන්ට විවිධ කාර්යභාරයන් තිබෙනවා. වඳුරනුත් ඒ විදිහට පරිසර සමබරතාවය පවත්වාගෙන යන ජීවීන් කොට්ඨාසයක්. ඒ ගැන වැඩිදුර සොයාබැලීම සඳහා කළුවඳුරන්ගේ හා අළුවඳුරන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම වගේ ම ඔවුන්ගේ ජීව කොටස් පරීක්ෂාවට ලක් කිරීමක් අපේ පර්යේෂණයෙන් සිදුවෙනවා," ආචාර්යවරයා සිය පර්යේෂණය සම්බන්ධයෙන් පැහැදිලි කළේ ය. "ඒ වගේම දරුවන්ගේ මොළය වර්ධනය වගේ දේවල් ගැන අවබෝධයක් ගන්න යොදාගන්නෙත් වඳුරන් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ. අපට කිසිවෙලාවක ඒ වගේ පරීක්ෂණවලට ළමයින්ව යොදාගන්න හැකියාවක් නෑ. ඒ නිසා වඳුරන් ආශ්‍රිතව කරන පර්යේෂණවල දත්තත් ඒ වගේ ක්ෂේත්‍රවලට වැදගත්වෙනවා," යැයි පර්යේෂණය සාමාන්‍ය ජනතාවට වැදගත්වන ආකාරය සම්බන්ධයෙන් ඔහු පැහැදිලි කළේ ය. රටක ජාතික වශයෙන් බලපාන වනජීවී ප්‍රතිපත්ති වැනි දේ සකස් කිරීමේ දී මෙවැනි දීර්ඝකාලීන පර්යේෂණ වැදගත් බවත්, මෙම පරීක්ෂණ වලින් ගන්නා දත්ත ඇසුරින් එම ප්‍රතිපත්ති සඳහා අවශ්‍ය අදහස් ලබා ගන්නා බවත් ඔහු පැවසුවේ ය.
මෙම පර්යේෂණ කණ්ඩායම වඳුරන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරන අතර, කැමරා යොදාගෙන වඳුරන්ගේ හැසිරීම් වීඩියෝගත කිරීමත්, පටිගත කිරීමේ යන්ත්‍ර යොදාගෙන වඳුරන්ගේ ශබ්ද පටිගත කිරීමත් සිදු කරයි.
මෙම රක්ෂිතය ආශ්‍රිතව ජීවත්වන වඳුරු රංචු කිහිපයක් ඇති අතර ඇතැම් කණ්ඩායම්වල එක් එක් කණ්ඩායමට ආවේණික කතාන්දර පවා තිබෙන බව දැනගන්නට ලැබුණි. මෙහි ජීවත්වන කළුවඳුරු රංචුවක් තනි පිරිමි සතෙකු සහ ගැහැනු සතුන් කිහිපදෙනෙකුගෙන් සමන්විත අතර අළුවඳුරු රංචු බොහෝවිට පිරිමි සතුන් කිහිපදෙනෙකු සහ ගැහැනු සතුන් කිහිපදෙනෙකුගෙන් සමන්විත බව ආචාර්යවරයා පැහැදිලි කළේ ය. එමෙන් ම ශ්‍රී ලංකාවට ආවේණික කළුවඳුරන් මේවන විට වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින වඳුරු විශේෂයක් ද වේ.
තවමත් නොයිඳුල් වනාන්තරය
දහවල්වනවිට සූර්ය රශ්මිය වැඩීවූවත් අහස වසා ඉහළට එසැවී සිටි වෘක්ෂයන් හේතුවෙන් වනාන්තරයේ බොහෝතැන් ආවරණය වී තිබුණි. ඒ නිසාම ඒ තුළ සිසිලසක් වූ අතර, දැඩි සූර්ය රෂ්මිය මධ්‍යයේ වුවත් සුළු අඳුරු ස්වභාවයක් ද තිබුණි. රැහැයියන්ගේ හඬ නොනවත්වාම ඇසෙන අතරේ කුරුළු නාදයද එයට මුසු වී ඇසුණි. ගල් තලාවක් ආසන්නයෙන් දුමක් දර්ශනය වූ අතර අප එම ස්ථානයට යන විට කිසිවෙකු හෝ එම ගක්තලාව මත ගිනිදල්වා නිවාගොස් තිබූ බව නිරීක්ෂණය කළ හැකි විය.
ආචාර්ය රාජ්නිෂ් වැන්ඩකෝන් 2008 වර්ෂයේ පමණ සිට මෙම රක්ෂිතය ආශ්‍රිතව පර්යේෂණ සිදු කරන අතර ඔහු පෙන්වා දෙන්නේ වනාන්තරය තවමත් යම් දුරකට ආරක්ෂිතව පවතින බවයි. "අනෙකුත් වනාන්තරවලට සාපේක්ෂව මේ වනාන්තරයේ අපට දැව වටිනාකම වැඩි ගස් විශාල වශයෙන් තවමත් දැකගන්න පුලුවන්. මේ රක්ෂිතයට යන්න තියෙන්නේ එක පාරක් නිසාත්, ඒ පාර අබලන් නිසාත් හොරෙන් දැව කපන අයට මේ කැලෙන් දැව කපලා පිට කරගන්න බෑ. ඒ නිසා තවමත් මේ කැලේ ඒ ගස් ආරක්ෂිතව තිබෙනවා," ඔහු පවසයි.
එමෙන් ම ඔවුන් වඳුරන් නිරීක්ෂණය කිරීමට සවිකළ කැමරාවකට දිවියෙකුද (Leopard) දර්ශනය වී තිබේ. ඒ හැර තවත් සත්ත්ව විශේෂ ගණනාවක් මේ රක්ෂිතයේ ජීවත්වන අතර, එහි අලි ද ජීවත් වෙති.
සංචාරක වැදගත්කම
මෙම පුරාවිද්‍යා රක්ෂිතය බොහෝවිට සීගිරිය සංචාරක කලාපයේ සංචාරකයන් හට මඟහැරෙන සංචාරක ස්ථානයකි. නමුත් එය සුන්දර හා වටිනා පරිසර පද්ධතියකින් සමන්විත අතර පර්වත කඳුමුදුන් කිහිපයකින් ද සමන්විත ය. එහි කඳුමුදුන්වලට සීගිරිය හා පිදුරංගල නිරීක්ෂණය කළ හැකි අතර කොළපැහැ රුක්ගොමු වලින් පිරීගිය දර්ශනයක් මෙම කඳුමුදුන්වලට ගියහොත් දැකගනීමට හැකිවෙයි. වන සතුන්ගේ හඬ මිස වෙනත් හඬක් නොඇසෙන මෙම රක්ෂිත කලාපය එහි ස්වභාව සෞන්දර්යයෙන් ඕනෑම අයෙකුගේ මනස සුවපත් කරයි.
මෙම වනාන්තරය ත්‍රාසජනක සංචාර සඳහා කැමැත්තක් දක්වන්නන් හට ප්‍රවර්ධනය කළ හැකි ස්ථානයක් බව ආචාර්ය රාජ්නිෂ් පෙන්වා දෙයි.
"මේ තැන මධ්‍යම මට්ටමේ ත්‍රාසජනක සංචාර සඳහා යොදාගන්න පුළුවන් තැනක්. නමුත් එහෙම යොදාගන්නවා නම් ස්වභාවික පරිසර පද්ධතියට අවම බලපෑමක් වන විදිහට යොදාගැනීමයි කළ යුත්තේ."
මේ වන විට මෙම පුරාවිද්‍යා රක්ෂිතයට යන මාර්ගය නැවත සකස් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාරයක් ලැබී ඇති බව කළුදියපොකුණ ස්ථාන භාර පුරා විද්‍යා සහායක නිලධාරියා පැවසුවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Erick Lenden-Hasse
තුවක්කු බැඳීමට, ගස් කැපීමට වැට බැඳීමට නම්
තමා 2008 වර්ෂයේ මුලින් ම රක්ෂිතයේ පර්යේෂණ කළ කාලයට සාපේක්ෂව වර්තමානයවන විට වනාන්තරයේ සිදුවන මිනිස් ක්‍රියාකාරකම් වැඩි වී ඇති බව ආචාර්ය රාජ්නිෂ් නිරීක්ෂණය කර තිබේ. "වඳුරන් නිරීක්ෂණය කරන්න අපට රක්ෂිතයේ සමහර පැතිවලට යන්න බෑ. සමහරවෙලාවට තුවක්කු බැඳලා තියෙනවා දඩයම් කරන්න. දැන් අලුතෙන් පාර නැවත සකස් කළොත් අනිවාර්යයෙන්ම දැව වටිනාකම තියෙන ගස්වලටත් තර්ජනයක් එල්ල වෙනවා," ඔහු පෙන්වා දෙයි. නමුත් ඒවා පාලනය කිරීමට නම් වෙනත් විකල්ප ක්‍රියාමාර්ග ගත යුතු බව ආචාර්යවරයාගේ මතයයි. "මේ දිනවල අපි මින්නේරිය සහ කවුඩුල්ල වනෝද්‍යානවල අලින් නිරීක්ෂණය කරනවා. අපි නිරීක්ෂණය කරන බොහෝ අලින් එක් වරක් හෝ වෙඩි පහරකට ලක් වෙලා. සාමාන්‍යයෙන් අපට අධ්‍යනයක් කරන්න වුණත් අවසර ගන්න ඉතා අමාරුයි එවැනි නීති පද්ධතියක් යටතේ තමයි ජාතික වනෝද්‍යානවල ඉන්න අලිඇතුන් වෙඩි කන්නේ."
"මෑතක දී කළුදියපොකුණ පුරා විද්‍යා රක්ෂිතයේ චිත්‍රපටයක් රූගත කරලා තිබුණා. මේ රක්ෂිතයට වන සංරක්ෂණ නීතියත් පුරා විද්‍යා නීතියත් දෙකම බලපැවැත්වෙනවා. රූගත කිරීම් අතරතුර ඓතිහාසික විදිහට තිබෙන ගල් පවා ඒ අය වෙනස් කරලා ඔවුන්ට අවශ්‍ය විදිහට පසුබිම් හදාගන්නවා. එහෙම වුණාම ඒ තියෙන ඓතිහාසික වටිනාකමට මොකක්ද වෙන්නේ?" ආචාර්යවරයා විමසයි.

ඡායාරූප මූලාශ්‍රය, Erick Lenden-Hasse
මෙම වනෝද්‍යානවලට මායිම්ව ජීවත්වන ජනතාවට ඒවා ආශ්‍රිත සංචාරක ව්‍යාපාර වලින් හා අනෙකුත් පහසුකම් සැපයීමේ ක්‍රමයන් වලින් විකල්ප ආදායාම් මාර්ගයක් සකස් කර දීමකින් වනාන්තරවලට සිදුවන හානි අවම කර ගැනීමට හැකියාවක් ඇති බව ඔහු පෙන්වා දෙයි. එමෙන් ම වන සතුන් සංරක්ෂණය කිරීමේ දී ද ඔවුන් ජීවත්වන ප්‍රදේශ ආරක්ෂා කිරීම ද වැදගත් බව ආචාර්යවරයා පැවසුවේය.
"වනාන්තර එළි කරනවා වගේ ම, ලංකාවේ බහුතරයක් ජාතික වනෝද්‍යාන එක් එක් සතුන්ට ගැලපෙන පරිසර පද්ධති තෝරලා නම් කරපුව නොවීමත් ගැටලුවක්. මේවා බොහෝවිට ඉංග්‍රීසි පාලන කාලයේ දඩයම් භූමි ලෙස යොදාගත්ත ප්‍රදේශ. අලි වගේ සතුන් බොහෝවිට සංචරණය කරනවා. ඔවුන්ව විදුලි වැටගහලා නවත්වන්න අමාරුයි. ඔවුන්ව ඔවුන්ගේ භූමියෙන් ඉවත් කරලා වෙන දිහාවකට ගිහින් දැමුවත් ඔවුන් ආපහු හොයාගෙන එනවා. ඒ නිසා සත්තුන්ට ගැලපෙන වනාන්තර පද්ධති තුළ සත්තු සංරක්ෂණය කිරීමත් කළ යුතුයි," ඔහු පෙන්වා දෙයි. "කළුදියපොකුණ කියන්නේ වඳවීගෙන යන කළු වඳුරට ජීවත්වෙන්න සුදුසු පරිසරයක් තිබෙන තැනක්. ඒ නිසා කළු වඳුරන් සංරක්ෂණය සඳහා මේ රක්ෂිතය ආරක්ෂා කරගත යුතුයි."
සංචාරක සටහන : අමන්දිකා කුරේ
සේයා රූ : එරික් ලෙන්ඩන් හස්












