ප්‍රබෝවෝ සුබියන්තෝ: ලේ වැකි අතීතයක් ඇති ‘හුරුබුහුටි සීයා’

වීඩියෝ ශීර්ෂ වැකිය, ප්‍රබෝවෝ ඔහුට අනන්‍ය අංග චලන භාවිත කරන, වේදිකාව මතදී භාවිත කරන වෙනස් ඉරියව් දැක්වෙන වීඩියෝ
    • Author, යුවැටි ටැන් සහ ත්‍රිෂා හුසාඩා
    • Role, සිංගප්පූරුව සහ ජකර්තා නුවර සිට

ප්‍රබෝවෝ සුබියන්තෝගේ නම බොහෝ ඉන්දුනීසියානුවන් බිය ගන්වන කාලයක් තිබිණි.

එහෙත් දැන් තරුණ ඡන්ද දායකයන් එරට ආරක්ෂක ඇමතිවරයා ලෙස කටයුතු කරන ඔහුගේ වෙස් පෙරළියට වශී වී සිටින බව පෙනේ. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අතුරුදන් කිරීම් පිළිබඳ චෝදනා එල්ල වී සිටින මෙම හිටපු විශේෂ බළකා අණදෙන නිලධාරියා මේ වන විට සමාජ මාධ්‍යවල හුවමාරු වන මීම් සඳහා 'හුරුබුහුටි සීයා' කෙනෙකු බවට පත්ව තිබේ.

25 හැවිරිදි ඔහුගේ ආධාරකරුවෙකු වන ඇල්බට් ජෝෂුවා පවසන්නේ, "ඔහු ගොඩක් වයසයි තමයි. ඒත් මගේ පරම්පරාව වැළඳගන්න ඔහුට පුළුවන්," යනුවෙනි.

ලොව තුන්වන විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන ඉන්දුනීසියාවේ පෙබරවාරි 14 වන දා පැවැත්වෙන ජනාධිපතිවරණයේ 72 වන වියේ පසුවන ප්‍රබෝවෝ, ජෝකෝ විඩෝඩෝගේ අනුප්‍රාප්තිකයා වීමට තරග කරයි.

විඩෝඩෝ හෝ ජෝකෝවි (බොහෝ දෙනා දන්නා පරිදි) තමන් බලයේ සිටි දශකය තුළ ගෙන ගිය ස්ථාවරත්වය සහ ආර්ථික සංවර්ධනය සම්බන්ධ ප්‍රතිපත්ති අඛණ්ඩව ගෙන යන බවට ඔහු ප්‍රතිඥා දෙයි.

Prabowo Subianto an Indonesian presidential candidate representing the Gerindra party smiles during a luncheon with foreign reporters at a hotel in Jakarta

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දුනීසියානු ජනාධිපති අපේක්ෂක ප්‍රබෝවෝ සුබියන්තෝ ජකර්තා හි හෝටලයක විදේශීය වාර්තාකරුවන් සමඟ දිවා භෝජන සංග්‍රහයක් අතරතුර

මෙතෙක් සිදුකළ සමීක්ෂණ අනුව, ප්‍රබෝවෝ ඔහුගේ ලාබාල ප්‍රතිවාදීන් වන ගන්ජාර් ප්‍රනෝවෝ සහ ඇනීස් බස්විඩෑන්ට සාපේක්ෂව ඉදිරියෙන් සිටියි. ඔවුන් දෙදෙනා ම වයස 50 ගණන්වල පසුවන අතර ඉන්දුනීසියාවේ ප්‍රධාන පළාත් කිහිපයක ආණ්ඩුකාරවරුන් ලෙස කටයුතු කර පළපුරුද්දක් ඇති අය වෙති. රැකියා සුරක්ෂිතභාවය, යටිතල පහසුකම් සහ ඉන්දුනීසියාවේ රාජ්‍ය තාන්ත්‍රික භූමිකාව ඉහළට ඔසවා තැබීම ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරවල ප්‍රමුඛ තැනක් ගනී.

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රබෝවෝගේ සහකරුවා ලෙස උපජනාධිපති ධූරය සඳහා තරගකරන්නේ විඩෝඩෝගේ වැඩිමහල් පුත්‍රයා වන ගිබ්‍රාන් රකබුමිං රකා ය. එය තමන්ගේ ම පක්ෂයේ අපේක්ෂකයා වන ප්‍රනෝවෝ ඇතුළු කිසිවෙකුට හෝ සහය දක්වන බවට නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති ජනාධිපතිවරයාගේ නිහඬ ආශිර්වාදයක් ලෙස බොහෝ දෙනා දකින තේරීමකි.

එහෙත් දශක ගණනාවකට පෙර ප්‍රජාතන්ත්‍රවාදයට ගැති ශිෂ්‍ය ක්‍රියාකාරීන් පැහැරගෙන ගොස් මරා දැමූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන් කිසිවිටෙකත් වගකිව යුතු නැති බව පවසන ප්‍රබෝවෝ ජනාධිපති ධූරය සඳහා පත් වීම බොහෝ දෙනෙකුට තැතිගන්වනසුලු කාරණයකි.

නම සඳහන් කිරීමට අකමැති වූ තරුණ ඡන්ද දායිකාවක පවසන්නේ, ඔහු ජයග්‍රහණය කරනු ඇතැයි තමන් "බියෙන් පසුවන" බව ය: "එයාට එදා කටවල් වහන අපරාධයක හවුල්කරුවෙක් වෙන්න පුළුවන් වුණා නම්, අද තේරුණත් එයා කටවල් වහලා දානවා."

"හුරුබුහුටිකම" කිසිසේත් ම නායකයෙකු වීම සඳහා සුදුසුකමක් නොවන බව ඇය පවසයි. "නායකයෙක් එහෙම වෙන්න ඕනේ කියලා ඔයා හිතනවා නම්, ඔයා කරන්න ඕනේ පූස් පැටව් ටිකක් පත්කර ගන්න එක."

ඉන්දුනීසියාවේ බළලුන්ට ආදරය කරන 'ගෙමොයි බළකාය (gemoy squad)'

බළලුන් ද ප්‍රබෝවෝගේ සමාජ මාධ්‍ය තුළ පවත්වා ගෙන යන මැතිවරණ ව්‍යාපාරයේ කොටසකි. දුඹුරු සහ සුදු පැහැති, නිවසක් අහිමි, බොබී නමැති ඔහුගේ බළලා වෙනුවෙන්, "දේශප්‍රේමියෙකු" ලෙස විස්තර කරන ඔහු විසින් නිර්මාණය කරන ලද ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් ද තිබේ.

එපමණක් නොව, ප්‍රබෝවෝ ඔහුට අනන්‍ය අංග චලන භාවිත කරන, වේදිකාව මතදී භාවිත කරන වෙනස් ඉරියව් දැක්වෙන ටික්ටොක් වීඩියෝ ද ඇත. ඒවා සඳහා ලැබෙන ධානාත්මක ප්‍රතිචාරය ඔහුට 'ගෙමොයි' යන නම පටබැඳීමට හේතු වී තිබේ. 'ගෙමොයි' යනු, හුරුබුහුටි දෑ හැඳින්වීමට භාවිත කරන නාමයකි.

Indonesia's Defence Minister and presidential candidate Prabowo Subianto (C) greets his supporters upon in Bali on February 6, 2024

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 72 හැවිරිදි ප්‍රබෝවෝ මැතිවරණයට පෙර බාලි හි ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින්
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මිනිසුන් අතරට යාමට අවශ්‍ය අඩිතාලම ඔහුට සැපයූයේ සමාජ මාධ්‍යය යි. ඉන්දුනීසියාවේ සුදුසුකම් ලත් ඡන්ද දායකයින් මිලියන 205ක් සිටින අතර ඉන් අඩකට වඩා වැඩි ගණනක් සහස්‍රකයන් සහ Z පරම්පරාවට අයත් පිරිස ය. එමෙන් ම, සමාජ මාධ්‍ය භාවිත කරන මිලියන 167ක් වූ ඉන්දුනීසියානුවන්ගෙන් වැඩි කොටසකට හිමිකම් කියන්නේ ද ඔවුන් ය.

ප්‍රබෝවෝගේ නිල ෆේස්බුක් ගිණුම් සහ ඒවාට අනුබද්ධ ගිණුම් පසුගිය මාස තුන තුළ ප්‍රචාරණ කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් 144,000ක් වියදම් කර ඇති බව මෙටා දත්ත පෙන්වා දෙයි. එය ප්‍රනෝවෝගේ වියදම් මෙන් දෙගුණයක් වන අතර බස්විඩෑන්ගේ වියදම මෙන් තුන් ගුණයකි.

ආත්මා ජය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු වන යූස් සී කෙනවාස් පැවසුවේ, "ප්‍රබෝවෝගේ සැබෑ ස්වරූපය මං දකින්නේ කලාතුරකින්," යනුවෙනි.

ඉන්ටර්නෙට් හැරුණුකොට, චිත්‍ර කාමර සහ වීදි පිරී ඇත්තේ ප්‍රබෝවෝ කුඩා කාටූන් චරිතයක් ලෙස දැක්වෙන පෝස්ටර්වලිනි. "ඉන්දුනීසියාවේ අලුත් කාටූන් චරිතය (avatar) වෙලා තියෙන්නේ මේක තමයි," කෙනවාස් පවසයි. "ඔහුගේ ප්‍රතිරූපය මෘදුයි කියලා එයාලා පෙන්නන්නේ එහෙම තමයි. මේ වෙද්දි ඒක ඇත්තට ම සාර්ථක වෙලා තියෙනවා."

ප්‍රබෝවෝගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, එය "විනෝදකාමී" වැඩපිළිවෙළක් හරහා තරුණයින් ආකර්ෂණය කර ගැනීමට ඔවුන් ගන්නා උත්සහයක් පමණක් බව ය: "විවිධ ක්‍රම මගින් දේශපාලනය ප්‍රකාශ කරන්න පුළුවන්... ඒක නරක දෙයක් නෙවෙයි," ඩේඩෙක් ප්‍රයුදි බීබීසීයට පැවසීය.

Z පරම්පරාවේ ඡන්ද දායකයන්

Z පරම්පරාවේ ඡන්ද දායකයෙකු වන රහායු සර්තිකා දේවි පවසන්නේ, පුනර්ජනනීය බලශක්ති සහ ගොවිතැන් ක්ෂේත්‍ර දියුණු කිරීමට ප්‍රබෝවෝට ඇති සැලසුම් ගැන තමන් කැමැත්තක් දක්වන බව ය. ඇය මෙම මැතිවරණ ව්‍යාපාරය හඳුන්වන්නේ "ඉතා හුරුබුහුටි, විනෝදජනක සහ බොහෝ දෙනෙකු වෙත ළඟා විය හැකි... පෙර වසරවල වගේ මහා බරසාර ව්‍යාපාරයක් නෙවෙයි" යනුවෙනි.

ප්‍රබෝවෝ 2014 සහ 2019 වසරවලදී ජනාධිපති ධූරය සඳහා තරග කළ ද ඉන් පරාජයට පත් විය. නමුත් මෙවර ඔහු ගෙන යන ව්‍යාපාරය අතිශයින් ම වෙනස් එකකි.

"ප්‍රබෝවෝගේ පරාජය වීම් ගැන තර්කයක් ඉදිරිපත් කරනවා නම්, ඒකට හේතුව තමයි ඔහුට තිබුණු දැඩි ප්‍රතිරූපය සහ රැඩිකල් විලාසය ඡන්ද දායකයින්ගෙන් කොටසක් වෙනත් අපේක්ෂයන් වෙත යොමු කරපු එක," ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ඉන්දුනීසියානු ආයතනයේ අධ්‍යක්ෂිකා ආචාර්ය ඊව් වෝබර්ටන් පවසයි.

Presidential candidate Prabowo Subianto, waves to photographers as he leaves after attending a dialog held by country's anti-graft agency Corruption Eradication Commission (KPK) at its headquarters in Jakarta, Indonesia, January 17, 2024. REUTERS/Willy Kurniawan/File Photo

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉදිරි වසර පහ තුළ නව රැකියා මිලියන 19ක් නිර්මාණය කිරීමට ප්‍රබෝවෝ සුබියන්තෝ පොරොන්දු වී තිබේ

ජෙනරල් සුහර්තෝගේ පාලනය

ප්‍රබෝවෝ තමන් බලයේ උච්චතම අවස්ථාවට පැමිණි කාලය ගැන මතකයක් නැති පරම්පරාවක් ද ඉලක්ක කරයි. එය සිදු වූයේ 1998 වසරේදී බලයෙන් නෙරපා හරින ලද ජෙනරල් සුහර්තෝගේ ඒකාධිපති පාලන සමයේදී ය. රට නවීකරණය කිරීම සම්බන්ධයෙන් බොහෝ ඉන්දුනීසියානුවන්ගේ ගෞරවයට පාත්‍ර වූ ඔහුගේ 32 වසරක පාලන සමය ද ම්ලේච්ඡ මර්දනයේ හා ලේ වැගිරීම් සිදු වූ කාලයක් විය.

ඉන් වසර විසිපහකට පසු, එනම් අද තරුණ ඡන්ද දායකයින් පවසන්නේ ප්‍රබෝවෝ විරැකියාව සහ ජීවන වියදම සමග කටයුතු කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ඔවුන් ඔහු විනිශ්චය කරනු ඇති බව ය. ඉදිරි වසර පහ තුළ නව රැකියා මිලියන 19ක් නිර්මාණය කිරීමට ඔහු ප්‍රතිඥා දී තිබේ.

"ක්‍රියාකාරීන් තාම ඒ ගැන කතා කරනවා කියලා මම දන්නවා... ඒත් අපි ඉස්සරහට යන්න ඕනේ," ජෝෂුවා පවසයි.

People walk past mascots depicting presidential candidate and Indonesia's Defence Minister Prabowo Subianto (L) and vice presidential candidate Gibran Rakabuming Raka (R)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රබෝවෝගේ (වමේ) සහ ගිබ්‍රාන්ගේ (දකුණේ) ගේ කාටුන් චරිත ඉන්දුනීසියාව පුරා දැකගන හැකිය

ප්‍රබෝවෝගේ ප්‍රචාරක ව්‍යාපාරය එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇතත්, ක්‍රියාකාරීන් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඔහුට එල්ල වූ චෝදනාව හේතුවෙන් ඔහු හමුදාවෙන් නෙරපා හැරිණි. 2014 වසරේදී ඔහු අල් ජසීරා වෙත පැවසුවේ, තමන් ඔවුන් පැහැර ගැනීමට අණ කළ නමුත් එය කළේ ඉහළ නිලධාරීන්ගේ නියෝග මත බව ය.

"ඔහු විරුද්ධවාදීන්ගේ ගොදුරක් වූ" බව පවසමින්, කඳුළු සලන මිනිසුන් සිටින, ඔහු කෙරෙහි ඔවුන්ගේ අනුකම්පාව ප්‍රකාශ කෙරන දර්ශන ඇතුළත් වීඩියෝ මෑත මාස කිහිපය තුළ පළ විය. බොහෝ අවස්ථාවලදී ඒවායේ සිටියේ තරුණ පිරිස් වන අතර ඇතැම් මැතිවරණ නිරීක්ෂකයෝ මොවුන් සැබෑ ආධාරකරුවන් ද යන සැකය පවා පළ කළහ.

දේවි පවසන්නේ, ඔහුට ජනාධිපති අපේක්ෂකත්වය හිමි වීම යනු, ඔහු චෝදනාවලින් නිදහස් වූ බවට "සාක්ෂියක්" බව ය.

අසාමාන්‍ය පුනරාගමනයක්

ප්‍රබෝවෝ උපත ලැබුවේ, ධනවත් දේශපාලන පවුලක වන අතර, ඔහු ඉන්දුනීසියානු කැබිනට් මණ්ඩලයේ සේවය කළ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකුගේ පුතෙකි.

මතභේදාත්මක තත්ත්වයක් මත 1957 වසරේදී රට හැර යාමට සිදු වූ සිය පියා සමග යුරෝපය වෙත ගිය ඔහු තම ළමා කාලයෙන් දශකයක කාලයක් එහි ගත කළේ ය.

ආපසු සිය රට බලා පැමිණීමෙන් පසු, ඔහු හමුදාවට බැඳුණු අතර ඉන්දුනීසියාවේ විශේෂ බළකායේ එනම්, කොපාසස්හි කපිතාන් නිලය දක්වා කෙටි කලකින් පැමිණියේ ය.

ඒ වන විටත් ඔහුට, එම බළකායේ සාමාජිකයෙකු ලෙස අර්බුදකාරී නැගෙනහිර ටිමෝරයේ සේවය කරන කාලය තුළ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබිණි. ජීවිත සිය ගණනක් බිලිගත් නැගෙනහිර ටිමෝරයේ හමුදා මෙහෙයුම්වල ඔහුගේ සැබෑ භූමිකාව කුමක් වී ද යන්න කිසි විටෙකත් සනාථ වී නොමැති අතර ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ඔහු ඒකාධිපති පාලකයෙකු වූ සුහර්තෝගේ දියණියක සමග විවාහ වී ඔහුගේ අභ්‍යන්තර කවය තුළට රිංගා ගැනීමට සමත් විය. 1990 ගණන්වල අගභාගයේදී සුහර්තෝගේ පාලන සමය බිඳ වැටෙන අවස්ථාවේ, එම පාලන තන්ත්‍රයට විරුද්ධ වූ ශිෂ්‍ය ක්‍රියාකාරීන් 20කට වැඩි පිරිසක් පැහැරගෙන ගිය බවට කොපාසස් සංවිධානයට චෝදනා එල්ල විය. ඔවුන්ගෙන් අවම වශයෙන් 12 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින අතර ඔවුන් මිය ගොස් ඇති බවට ද සැක පළ කෙරේ. දිවි ගලවා ගත් අය තමන් වධහිංසාවලට ලක් වූ බව පවසති.

ප්‍රබෝවෝ හමුදාවෙන් ඉවත් කෙරුණු අතර ඔහු රටින් පිටුවහල් වී ජෝර්දානය වෙත ගියේ ය. ඔස්ට්‍රේලියාවේ අසාදු ලේඛනයට ඇතුළත් වුණු ඔහුට එක්සත් ජනපදයට ඇතුළු වීම ද තහනම් කෙරිණි.

නමුත් 2019 වසරේදී ඔහු නැවත පැමිණි අතර, විඩෝඩෝ ඔහුව ඔහුගේ ආරක්ෂක ඇමති ලෙස පත් කිරීමත් සමග ප්‍රතිවාදීන් මිත්‍ර පාක්ෂිකයින් බවට පත් විය. මෙම පුදුමසහගත පියවර ගැනීම සිදුවන්නේ අමිහිරි මැතිවරණ ජයග්‍රහණයකින් පසුව ය. වංචා කිරීම සහ අට දෙනෙකුට මරු කැඳවූ ප්‍රචණ්ඩ විරෝධතා මත ප්‍රබෝවෝ තම පරාජයේ වරද පැටවීය.

Indonesia's defence minister and presidential candidate, Prabowo Subianto, along with his running mate, Gibran Rakabuming Raka,

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගිබ්‍රාන් (වමේ) යනු වත්මන් ජනාධිපති විඩෝඩෝ මහතාගේ වැඩිමහල් පුත්‍රයාය

"මේ අපරාධකාරයා ජනාධිපති වුණොත් අපි කොහොම ද යුක්තිය බලාපොරොත්තු වෙන්නේ?" ප්‍රකට මානව හිමිකම් නීතිඥයෙකුගේ වැන්දඹුවක වන සුචීවතී ප්‍රශ්න කරයි. මුනීර් සයිඩ් තලීබ් ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් 1998 අතුරුදන් වීම් පිළිබඳ විමර්ශනය කළේ ය. ඔහු 2004 වසරේදී ගුවන් යානයක ගමන් කරමින් සිටියදී ඝාතනයට ලක් විය. නියමුවා වැරදිකරු බවට සනාථ වූ, නමුත් සුචීවතී සම්පූර්ණ කතාව එය බව විශ්වාස නොකරයි.

ප්‍රබෝවෝ ජනාධිපති වෙන එක "අපට, වින්දිතයන්ගේ පවුල්වලට සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට දරාගත නොහැකි පරාජයක් වේවි", ඇය පැවසීය.

විඩෝඩෝගේ සහයෝගය ප්‍රබෝවෝගේ ප්‍රතිරූපය යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වී ඇතැයි ඇතමෙක් පවසති.

සමාජ මාධ්‍ය පමණක් "ප්‍රමාණවත් නොවේ", සහ "රාජ්‍ය යාන්ත්‍රණය ඔහුගේ ව්‍යාපාරයට සහය දුන් ආකාරය... අවතක්සේරු නොකළ යුතු යි," කෙනවාස් තම අදහසට වැඩි යමක් එක් කරමින් පවසයි.

බොහෝ දෙනෙක් ඔහු සමග උපජනාධිපති ධූරයට තරග කරන විඩෝඩෝගේ පුත් ගිබ්‍රාන්ගේ වැදගත්කම ද හුවා දක්වති. විඩෝඩෝගේ මස්සිනා අගවිනිසුරුවරයා ලෙස කටයුතු කරන ව්‍යවස්ථාපිත අධිකරණයක්, 36 හැවිරිදි ඔහුට උපජනාධිපති ධුරයට තරග කිරීමට අවශ්‍ය මග සලසා දී තිබේ. එය මතභේදයට තුඩු දී ඇති සිදුවීමක් වී ඇත්තේ, ඉන්දුනීසියානු නීතියට අනුව ඔහුගේ වයස ඊට වඩා වැඩි විය යුතු නිසා ය.

බොහෝ දෙනා කනස්සල්ලට පත්වන්නේ, ඉක්මනින් කෝපයට පත් වන, අස්ථාවර පෞරුෂයක් ඇති බවට ප්‍රසිද්ධියක් උසුලන "පැරණි ප්‍රබෝවෝ" නැවත පැමිණීම ය.

ආචාර්ය වෝබර්ටන් පවසන්නේ, ඔහු මෑත කාලයේ ප්‍රසිද්ධියේ පෙනී සිටි අවස්ථාවලදී ඒ පිළිබඳ ඉඟි පළ වූ බව ය.

"ප්‍රබෝවෝ රට කොහොම පාලනය කරාවි ද කියලා කවුරුවත් දන්නේ නෑ," ඇය පවසයි. "සමහර විට ඔහු තමන්ගේ තනතුරේ කීර්තිය ගැන හිතන රට පාලනය කරන එක ගැන එතරම් නොහිතන පාලකයෙක් වෙන්න පුළුවන්; නමුත් ඔහුව හොඳින් හඳුනන බොහෝ දෙනෙක් ඔහුගේ අනපේක්ෂිත පෞරුෂය ගැන අවධාරණය කරනවා. ඒක කවදාවත් පාලනයට හොඳ දෙයක් නෙවෙයි."

අතිරේක වාර්තාකරණය නිකී විඩාඩියෝ සහ අමාල් අස්වර් විසිනි