මැතිවරණයක් අභිමුව සිටින 'බෙදුණු පකිස්ථානය'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, තර්හබ් අස්ඝර්
- Role, බීබීසී උර්දු
පකිස්ථානයේ දේශපාලනය සම්බන්ධයෙන් ගත් කල "කිසි කෙනෙකුට නිදහසේ කතා කිරීමට අවසර නැතැයි", ලාහෝර්හි ශිෂ්‍යාවක වන අම්නා බීබීසීයට පවසයි. සිය මීළඟ අගමැතිවරයා තෝරා පත් කර ගැනීමට පෙබරවාරි 8 වන දා පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා පකිස්ථානය සූදානම් වන මොහොතේ ඡන්ද දායකයින් මා හා පවසන්නේ, එරට මුළුමනින් ම පාහේ බෙදී වෙන් වී ඇති බැවින් මැතිවරණය ගැන කතා කිරීම පිළිබඳව තමන් පසුවන්නේ බියෙන් බව ය.
දේශපාලනය නිසා කෙතරම් බෙදීම් ඇති වී තිබේ ද යත්, එහි එක් දරුණු අවස්ථාවක් වන්නේ, දේශපාලන ධජයක් සම්බන්ධයෙන් ඇති වූ මතභේදයකින් පසු, පියෙකුට ඔහුගේ ම පුත් අටා උර් රෙහ්මාන් ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තිබීම ය.
"අපේ මුළු පවුල ම වැළපෙනවා," අටාගේ සහෝදරයා වන අරිෆ් බීබීසීයට පවසයි.
අරිෆ් පවසන්නේ, තම සහෝදරයා කටාර්හි රැකියාවක නිරතව සිට නිවාඩු ලබා පැමිණ පියා සමග පේෂාවර්හි නැවතී සිටි බව ය. "බහින්බස් වීම පටන් අරන් තියෙන්නේ, අටාට පීටීඅයි (PTI) පක්ෂෙ කොඩිය ගෙදර වහලේ එල්ලන්න ඕන උණාට පස්සේ. මගේ තාත්තා කිසි ම දේශපාලන පක්ෂයකට සහය නොදැක්වුවත්, එයා ඒකට කැමති වෙලා නැහැ."
පීටීඅයි (PTI) හෙවත් පකිස්ථාන ටෙරීක්-ඊ-ඉන්සාෆ් යනු, හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂය යි. 2022 වසරේදී ඉම්රාන් ඛාන් විරුද්ධ පක්ෂ සන්ධානයක් විසින් ගෙන එන ලද විශ්වාසභංගයකින් පසු ධූරයෙන් නෙරපා හැරිණි. ඔහු මේ වන විට දූෂණය සහ රහස්‍ය ලේඛන නිරාවරණය කිරීම සම්බන්ධයෙන් සිරගතව සිටින අතර මෙම මැතිවරණයට ඉදිරිපත් වීම තහනම්ව සිටි යි.
අරිෆ් පවසන්නේ, එම "උණුසුම් වාග් සංග්‍රාමය" අවසන් වූයේ, තම පියා අටාට වෙඩි තබා පළා යාමෙන් පසුව බව ය. අනතුරුව අටා මියගිය බව පොලිසිය තහවුරු කළේ ය.
මෙම සිදුවීම දුර්ලභ වුව ද, බොහෝ දෙනෙකු මා හා පවසන්නේ ඔවුන් බොහෝ විට මැතිවරණ කාලයට තම පවුල්වල සාමාජිකයින් සමග මතගැටුම් ඇති කර ගන්නා බව ය.

"මගේ නංගියි මමයි තාත්තා එක්ක මාස තුනක් කතා කළේ නෑ," උග්‍ර ඉම්රාන් ඛාන් ලෝලියක වන නිඩා සේෂන් පවසයි.
නිඩා සහ ඇගේ සොහොයුරිය 2018 වසරේ අවසන් මැතිවරණයේදී පීටීඅයි (PTI) පක්ෂයට ඡන්දය දී, ඉම්රාන් ඛාන්ගේ ජයග්‍රහණයට උදව් කළ නමුත් එය ඔවුන්ගේ නිවස තුළ ගැටුමකට තුඩු දුන්නේ ය. "මගේ තාත්තා ඛාන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට එකඟ වුණේ නැහැ. ඛාන් හොඳ දේශපාලනඥයෙක් නෙවෙයි කියල තමයි එයා කිව්වේ."
මා සමග සංවාදයේ යෙදුණු අනෙක් තරුණ පිරිස් මෙන් නොව, නිඩා තම මතය ප්‍රකාශ කිරීමට බිය නොවී ය. "මම මගේ තාත්තා එක්ක වාද කළත් එක්ක. [ඒ වෙලාවට] මම කියනවා: 'මම ඛාන්ට සහ එයාගේ පෞරුෂයට කැමතියි.' මම ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයටත් කැමැත්තෙන් හිටියේ."
නිඩා පවසන්නේ 2024 මැතිවරණය ද ඊට වෙනස් නොවන අතර යමෙකු ඇය සමග එකඟ නොවන්නේ නම් ඇය "ඔවුන් හමුවීම නවත්වන බව ත්, නැත්තම් අපි සාමාන්‍යයෙන් වාද විවාද කරගන්නා" බව ත් ය.
නමුත් ඇය පවසන්නේ, තම සමීප මිතුරන් තම මතයේ නොසිටිය ද එයට ඔවුන් ගරු කරන බව ය. "මගේ යාළුවගේ මහත්තයා මේ ඡන්දෙදි ඉදිරිපත් වෙන්නේ වෙනත් පක්ෂයකින්. එයා [මිතුරිය] හොඳට ම දන්නවා මම එයාට ඡන්දේ දෙන්නේ නෑ කියලා, ඒ නිසා එයාට ඡන්දේ දෙන්න කියලා ඇය මට කියන්නේ නෑ."
මෙම මැතිවරණය වැදගත් වන්නේ ඇයි?
ඉන්දියාව සමග ඇති තරගය, ඉරානය සහ තාලිබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්ථානය සමග ඇති අස්ථාවර දේශසීමා,එක්සත් ජනපදය සමග මිත්‍ර නමුත් වෛරී සබඳතාව සහ චීනය සමග ඇති සමීප සබඳතා පකිස්ථානය ගෝලීය වශයෙන් වැදගත් රටක් බවට පත් කරන අතර, න්‍යෂ්ටික වශයෙන් සන්නද්ධ එරට බලය සඳහා කවුරුන් පත් වුව ද ලෝකයේ සෙසු රටවලට එය වැදගත් වේ.
දේශපාලන කැලඹීම්, මූල්‍ය දුෂ්කරතා සහ ඉරානය වෙත එකට එක කිරීමක් ලෙස එල්ල කරන ලද මිසයිල ප්‍රහාරවලින් පසු ස්ථාවරත්වය අපේක්ෂා කරන ජනතාවක් සිටින පකිස්ථානය තුළ ද මෙම මැතිවරණයට වැදගත් තැනක් හිමි වේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පකිස්ථානයට හමුදා පාලනයේ සහ ඒකාධිපතිත්වයේ දිගු ඉතිහාසයක් ඇති අතර මෙම ඡන්දය පැවැත්වෙන්නේ හමුදා මැදිහත්වීම් පවතී යැයි කියනු ලබන කාලයක ය. බොහෝ දෙනෙකු තර්ක කරන්නේ, අපේක්ෂකයින් සිරගතව සිටීම, අත්අඩංගුවට පත් වීමෙන් වැළකී සිටීමට ප්‍රයත්න දැරීම හෝ ස්වාධීන අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීමට සිදුවීම නිසා ඉම්රාන් ඛාන්ගේ පීටීඅයි (PTI) පක්ෂයට සාධාරණ අවස්ථාවක් ලැබී නොමැති බව ය. මිලියන සංඛ්‍යාත විධිමත් අධ්‍යාපනයක් නොලත් ඡන්ද දායකයින්ට පවා තම ඡන්දය සලකුණු කළ යුතු ස්ථානය තෝරා ගැනීමට උපකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය වූ ක්‍රිකට් පිත්ත ලකුණ ද පක්ෂයෙන් ඉවත් කරනු ලැබ ඇත.
දේශපාලනිකව සිදු වූ වෙනස් වීම් කිහිපයකින් අනතුරුව තෙවරක් අගමැති ධූරය දැරූ නවාස් ෂරීෆ් පකිස්ථාන මුස්ලිම් ලීගය (නවාස්) (පීඑම්එල්-එන්) (PML-N)
පක්ෂයෙන් නැවත පැමිණ තිබේ. දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිරගතව සිටි නිසා ඔහුට පසුගිය වර මැතිවරණයට පෙනී සිටීම තහනම් වුණු නමුත් ස්වේච්ඡාවෙන් ම රටින් පිටව සිටීමෙන් අනතුරුව ඔහු නැවත පැමිණ ඇති අතර අපරාධ චෝදනාවන්ගෙන් ද නිදහස් වී ඇත.
තවත් අපේක්ෂකයෙකු වන්නේ, පකිස්ථාන මහජන පක්ෂයේ (PPP) සභාපති වන බිලාවල් භූතෝ-සර්දාරි ය. 35 හැවිරිදි ඔහු ලාබාලතම තරගකරු වේ. ඔහුගේ මව 2007 වසරේදී ඝාතනයට ලක් වූ හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝ වූ අතර ඔහුගේ පියා සහ සීයා හිටපු ජනාධිපතිවරුන් වන වේ. එබැවින් බොහෝ විට ඔහුට ඥාති සංග්‍රහයේ වාසියක් ඇති බවට විවේචකයෝ චෝදනා කරති.
පකිස්ථානය මෙතරම් බෙදී ඇත්තේ ඇයි?
පන්ජාබ්හි එක් මිනිසෙකු සතුව රට බෙදීමට හේතුව සඳහා න්‍යායක් තිබේ. "පකිස්ථානයේ ජනතාව ඔවුන්ගේ නායකයින්ගේ අඩි පාරේ යමින් ඉන්නේ," යැයි ඔහු පැවසුවේ වරෙක දේශපාලනඥයෙකු තම ප්‍රතිවාදියා "පාරට ඇද දැමීමට" අවශ්‍ය බව පැවසූ ආකාරය පිළිබඳ උදාහරණයක් දෙමිනි.
පන්ජාබ්හි එක් මිනිසෙකු සතුව රට බෙදීමට හේතුව සඳහා න්‍යායක් තිබේ. "පකිස්ථානයේ ජනතාව ඔවුන්ගේ නායකයින්ගේ අඩි පාරේ යමින් ඉන්නේ," යැයි ඔහු පැවසුවේ වරෙක දේශපාලනඥයෙකු තම ප්‍රතිවාදියා "පාරට ඇද දැමීමට" අවශ්‍ය බව පැවසූ ආකාරය පිළිබඳ උදාහරණයක් දෙමිනි.
තවත් අයෙකු ඉතා සරලව ඛාන්ට දොස් කීවේ ය. "මේ නොහික්මුණු ගතිය පැතිරෙන්න පටන් ගත්තේ ඛාන් දේශපාලනයට පැමිණීමත් එක්ක. ඔහු සෑම කෙනෙකුට ම චෝදනා කළා. හැම කෙනෙක් ම හොරෙක් විදිහට ඔහු හැඳින්වූවේ."
පීටීඅයි (PTI) ආධාරකරුවෙකු වන මුහම්මද් හෆීස්, ඛාන් බෙදීමකට දායක වූ බව එකඟ වන නමුත් එය එතරම් අයහපත් නරක දෙයක් නොවන බව පවසයි. "මීට කලින් මිනිස්සුට තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න තරම් දේශපාලනිකව දැනුවත්භාවයක් තිබුණේ නෑ," ඔහු පවසයි. "පක්‍ෂ දෙකක් එකතු වෙලා රටේ ධනය කොල්ලකන ආකාරය ඉම්රාන් ඛාන් පැහැදිලි කළා. වෙනසක් ගෙන එන්නේ කෙසේදැයි ඔහු අපට කියා දුන්නා."

ඛාන් සම්බන්ධයෙන් පකිස්ථානයේ ජනතාව අතර වෙනස් මත පවතියි.
ලාහෝරයේ සිසුන් පිරිසක් ඇමතීමේදී අයේෂා නම් තරුණියක් මට මෙසේ පැවසුවා ය: "ඉම්රාන් ඛාන් විශිෂ්ට කථිකයෙක්. ඔහුගේ වචනවල බලය ඔහු දන්නවා. ඒත් ඔහු තරුණයන් එකට එකතු කිරීම වෙනුවට භේද කළා."
තවත් ශිෂ්‍යයෙක් මෙම ප්‍රකාශයට දැඩි ලෙස විරෝධය පාමින් සඳහන් කළේ, "ඉම්රාන් ඛාන් මේ රට වෙනුවෙන් සෑම දෙයක් ම කළා, මොක ද වුණේ? ඔහුව හිරේ යැව්වා."
මෙය මිනිසුන් එකිනෙකා අතර ආරවුලක් ඇති කිරීමට හේතු විය. "අපි රණ්ඩු වෙන්න ඕනේ නැහැ, අපි කතා කරනවා විතරයි," කියා ඔවුන්ට මතක් කර දෙමින් මට මැදිහත් වීමට පවා සිදු විය.
බොහෝ විට පකිස්ථානයේ දේශපාලන වාද විවාද දැන් අවසන් වන්නේ මෙලෙසිනි. එහෙත් සිසුන්ට එකඟ විය හැකි එක් දෙයක් වූයේ මැතිවරණය දූෂණයෙන් තොර විය යුතු බව ය.
"අපිට මේ රටේ ඕනෑ ම කෙනෙකුට නිදහසේ විවෘතව සහය දෙන්න පුළුවන් ද?" අම්නා ප්‍රශ්න කරයි. "ඔයා මොනවා හරි කිව්වොත් පොලිසියෙන් ඔයාව උස්සන් යාවි. එයාලගේ මතයට වඩා වෙනස් මතයක් තියෙන අයගේ කටවල් එයාලා වහලා තියෙන්නේ."
දේශපාලන විද්‍යා ශිෂ්‍යාවක වන හුමයිරා ඊට එකඟ වෙමින් මෙසේ පැවසුවා ය: "ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය වැජඹෙන්නේ බාධා කිරීම් නැති වුණොත් විතරයි. පකිස්ථානයේ සෞඛ්‍යයට අහිතකර බෙදීම තුරන් කරන්න තියෙන එක ම මාර්ගය තමයි මේක."
අතිරේක වාර්තාකරණය ෆර්හාත් ජාවෙඩ් සහ අසිසුල්ලා ඛාන් විසිනි














