බංග්ලාදේශ මැතිවරණය: මතභේදාත්මක ඡන්දයකින් පසු ෂෙයික් හසීනා අඛණ්ඩව සිව් වන වරටත් ජයගනී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මතභේදාත්මක මැතිවරණයකින් පසු බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අඛණ්ඩ සිව් වන වරටත් ජයග්‍රහණය කිරීමට සමත් වී තිබේ.
සිය පක්ෂය වන අවාමි ලීගය සහ එහි සන්ධාන පක්ෂ එකතුව පාර්ලිමේන්තු ආසන 300න් 223ක් ජය ගැනීමෙන් පසු හසීනා තවත් අවුරුදු 5ක කාලයක් සඳහා අග්‍රාමාත්‍ය ධූරය දරනු ඇත.
බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය (Bangladesh Nationalist Party) ඡන්ද විමසීම වර්ජනය කළ හෙයින් හසීනාගේ පක්ෂය සහ සන්ධාන පක්ෂ ඉතිරි ආසන ද ජය ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
බංග්ලාදේශ ජාතික පක්ෂය චෝදනා කළේ, ඡන්ද විමසීම දූෂිත බව ය.
ඉරිදා දිනයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වූයේ, බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායකයින් සහ ආධාරකරුවන් විශාල වශයෙන් අත්අඩංගුවට ගත් පසුබිමක් තුළ ය.
නිල සංඛ්‍යා ලේඛන අනුව ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 40%ක් පමණ අඩු අගයක් ගන්නා බව ය. එහෙත්, විචාරකයින් පවසන්නේ, එම ප්‍රතිශතය පවා අතිශයෝක්තියක් විය හැකි බව ය. සන්සන්දනාත්මක ලෙස බැලූ කල, 2018 වසරේදී පැවති මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 80%ක් විය.
දේශපාලන විශ්ලේෂක බයිදුල් අලාම් මජුම්දර් බීබීසී පුවත් සේවයට පැවසුවේ, මැතිවරණ කොමිසම ඡන්දය භාවිත කළ ප්‍රතිශතය අතිශයෝක්තිමය අගයකින් පවසන බව ය. "විවිධ මූලාශ්‍ර සහ මාධ්‍ය වාර්තාවලින් අපට පෙනී ගියා, (මැතිවරණ කොමිසම ඉදිරිපත් කළ) ප්‍රතිශතයන් ඇත්ත ප්‍රතිශතයන් සමග නොගැලපෙන බව," ඔහු පැවසීය.
ස්වාධීන අපේක්ෂකයින් ලෙස තරග කළ අවාමි ලීගයේ හිතවාදීන් සියලු දෙනා ම පාහේ මැතිවරණයෙන් ජය ගනිමින් ආසන 45ක් ජය ගත් අතර, ජතියා පක්ෂය ආසන 8ක් ජය ගත්තේ ය. ඡන්ද ප්‍රතිඵල නිල වශයෙන් සඳුදා පස්වරුවේ නිවේදනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
1996 වසරේදී පළමු වරට අග්‍රාමාත්‍ය ධූරයට පත්ව පසුව 2009 වසරේදී යළිත් බලයට පත්වූ ෂෙයික් හසීනාගේ පස් වන ධූර කාලය මෙය යි. ඇය 2009 වසරේ සිට තවමත් බලයේ සිටී.
"මේ රටේ තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න මම උපරිම උත්සහය දරනවා," ඇය ඡන්දය භාවිත කිරීමෙන් පසු ඇය මාධ්‍යවේදන් හමුවේ පැවසීය.
අවාමි ලීගයේ ප්‍රධාන ලේකම් ඔබයිදුල් ඛාදර් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ, ජයග්‍රහණ සැමරුම් පෙළපාළි හෝ සැමරුම් උත්සව නොපවත්වන ලෙස හසීනා පක්ෂ නායකයින්ට සහ ආධාරකරුවන්ට උපදෙස් දී ඇති බව ය.
ප්‍රචණ්ඩත්වයට හැරුණු, ඔක්තෝබර් 28 වන දා පැවති විපක්ෂ රැලියකදී ක්‍රියාකාරීන් 10,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගත් බව හියුමන් රයිට්ස් වොච් ආයතනය ඇස්තමේන්තු කරයි. එහිදී ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මරණයට පත්ව, 5,500කට අධික පිරිසක් තුවාල ලැබූහ. හියුමන් රයිට්ස් වොච් ආයතනය චෝදනා කළේ, රජය "පාලක අවාමි ලීගයේ ප්‍රතිවාදීන්ගෙන් බන්ධනාගාර පුරවන," බවට ය.
අවාමි ලීගය එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
අවාමි ලීගය ලැබූ මෙම නව ජයග්‍රහණය ඔස්සේ තනි පක්ෂ පාලනයක් ඇති වනු ඇතැයි බිය පළ වී තිබේ.
විරුද්ධ පක්ෂ සහ සිවිල් සමාජ කණ්ඩායම් ආණ්ඩුවේ නීත්‍යනුකූලභාවය පිළිබඳව දිගින් දිගට ම ප්‍රශ්න මතු කරන පරිසරයක් තුළ රජය සිය මර්දන ලිහිල් කරනු ඇතැයි අපේක්ෂා කරන්නේ ඉතා සුළු පිරිසකි.
මැතිවරණය ක්‍රියාත්මක කිරීම සඳහා ස්වාධීන භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ සිය ඉල්ලීම් අවාමි ලීගය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු බංග්ලාදේශ ජාතික පක්ෂය මැතිවරණය වර්ජනය කළේ ය.
එතෙක්, "අපගේ සාමකාමී සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර ව්‍යාපාරය ප්‍රබල ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත," බංග්ලාදේශ ජාතික පක්ෂයේ වැඩබලන සභාපති තිරීක් රහමන් 2008 වසරේ සිට ඔහු ජීවත් වන ලන්ඩනයේ සිට ඊමේල් පණිවුඩයක් මගින් බීබීසී පුවත් සේවය වෙත පැවසීය.
මැතිවරණයට පෙර බංග්ලාදේශ ජාතික පක්ෂයේ ආධාරකරුවන් ගිනි තැබීම්වලට සම්බන්ධ බවට එල්ල වන චෝදනා, හසීනාගේ කටුක ප්‍රතිවාදියා වන හිටපු අග්‍රාමාත්‍ය ඛලීඩා සියාගේ පුත් රහමන් ප්‍රතික්ෂේප කළේ ය.
ඛලීඩා ෂියා මේ වන විට දූෂණ චෝදනා මත නිවාස අඩස්සියේ රඳවා තිබේ.
2004 වසරේදී හසීනාගේ මැතිවරණ ප්‍රචාරක රැලියකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාවට 2018 වසරේදී රහමන් වරදකරු වූ අතර ජීවිතාන්තය දක්වා ඔහුට සිර දඬුවම් නියම විය. එම ප්‍රහාරයේදී හසීනා තුවාල ලැබූ අතර අවම වශයෙන් 20 දෙනෙක් මරණයට පත් වූහ.
"මට එරෙහි සියලු චෝදනා පදනම් විරහිත යි. ඒවා දේශපාලනික පළිගැනීම්," ඔහු පැවසීය
බංග්ලාදේශ ජාතික පක්ෂය ඡන්දය භාවිත නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබිණි.
එහෙත්, හසීනාගේ ආධාරකරුවන් පවසන්නේ, ඇය බංග්ලාදේශයට අවශ්‍ය වී තිබූ දේශපාලන ස්ථාවරත්වයක් ලබා දී ඇති බව ය.
"මේ දේශපාලනික ස්ථාවරත්වය ඇති කළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය අපි අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. මං හිතන්නේ, ලෝකය ඒ සම්බන්ධයෙන් ෂෙයික් හසීනාට ගෞරවය දැක්විය යුතු යි," නීති අමාත්‍ය අනිසුල් හක් පවසයි.
පසුගිය වසර 15 තුළ හසීනාගේ එක ම විශාලතම ජයග්‍රහණය වන්නේ, "ඇය බංග්ලාදේශයේ ජනතාවගේ සිත් තුළ ඇති කර ඇති විශ්වාසය යි. ඔවුන් ඇවිත් තියෙන්නේ තමන් ගැන ම විශ්වාසයකින්," ඔහු වැඩිදුරටත් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ෂෙයික් හසීනා යටතේ බංග්ලාදේශය සම්බන්ධයෙන් ඇත්තේ, ප්‍රතිවිරෝධී චිත්‍රයකි. කලක් ලෝකයේ දුප්පත් ම රටක් ලෙස පැවති මුස්ලිම් බහුතරයක් වෙසෙන බංග්ලාදේශය, 2009 වසරේ සිට හසීනාගේ නායකත්වය යටතේ විශ්වාසනීය ආර්ථිකමය සාර්ථකත්වයක් අත් කරගෙන තිබේ.
එය මේ වන විට එහි යෝධ අසල්වැසියා වන ඉන්දියාව පවා අභිබවා යමින් කලාපයේ වේගයෙන් ම වර්ධනය වන ආර්ථිකයන්ගෙන් එකක් බවට පත්ව තිබේ. පසුගිය දශකය තුළ එහි ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි වී ඇති අතර පසුගිය වසර 20 තුළ මිලියන 25කට අධික ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදාගෙන ඇති බව ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත. එය, චීනයෙන් පසු ලොව විශාලතම දෙවන ඇඟලුම් නිෂ්පාදකයා ද වේ.
කෙසේ වෙතත්, වසංගත තත්ත්වය සහ ගෝලීය ආර්ථික මන්දගාමීත්වයෙන් පසුව 2022 වසරේ මැද භාගයේදී එහි ආර්ථිකය කැලඹීමකට ලක් විය.
ඉහළ යන උද්ධමනය සහ මීට පෙර ගෙන තිබූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසි හේතුවෙන්, මහ ජනතාවගේ විරෝධයට විසඳුම් දීම රජයට දුෂ්කර වී තිබේ.
ජාත්‍යන්තර පීඩනය ද එල්ල වෙමින් පවතී.
සැප්තැම්බරයේදී, ඇමෙරිකාව, බංග්ලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාවලියට බලපෑම් එල්ල කිරීමේ වරදට හසුවූ බංග්ලාදේශ නිලධාරීන්ට වීසා සීමා පැනවීම ඇරඹීය.
මේ අතර, මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සහ විසම්මුතිය යටපත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ තවත් ජාත්‍යන්තර සංවිධාන අනතුරු ඇඟවීම් කර තිබේ.
එහෙත්, ඉන්දියාව තමන්ට සහය දක්වන තාක් බටහිර රටවල සම්බාධක සම්බන්ධ ඕනෑ ම තර්ජනයකට මුහුණ දිය හැකි බව හසීනා දනී.
බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තයට දෙන ඕනෑ ම සහනයක් ඉවත් කර ගැනීමෙන් කාන්තාවන් බහුතරයක් සහිත කම්කරුවන් මිලියන ගණනකට බලපෑම් එල්ල වන බව සංවර්ධිත රටවල් ද දනී.
ෂෙයික් හසීනා පළමු වරට බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වූයේ, 1996 වසරේදී ය. ඇය 2009 වසරේදී යළි තේරී පත්වූ අතර බංග්ලාදේශ ඉතිහාසයේ වැඩි ම කලක් පාලනය කළ නායිකාව බවට පත්වන ඇය තවමත් බලයේ රැඳී සිටී.
අග්‍රාමාත්‍ය ධූරයේ මෙවර කාලසීමාව අවසන් කරන විට, ඇය 81 හැවිරිදි වියේ පසු වනු ඇත. ඇයගෙන් පසු එම ධූරයට පත් වන්නේ කවුරුන් ද, යන්න අවාමි ලීගයේ ආධාරකරුවන් ඇතුළු බංග්ලාදේශයේ බොහෝ දෙනෙකුට ඇති දැවැන්ත ගැටලුවකි.
ඇතැම් විශ්ලේෂකයින්ට අනුව, "මැතිවරණ ප්‍රතිඵලය පැහැදිලි ය, එහෙත්, අනාගතය අවිනිශ්චිත ය."












