2023 දැල්පන්දු ලෝක කුසලානය: අභියෝගයට ශ්‍රී ලංකාව සූදනම් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2023 දැල්පන්දු ලෝක කුසලානය තරගාවලිය අද (ජූලි මස 28 වැනිදා) දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හිදී ආරම්භ වීමට නියමිතව ඇත.
තරගාවලියේ සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30ට ය.
අද දින ආරම්භ වන ලෝක කුසලාන කාන්තා දැල් පන්දු තරගාවලිය අගෝස්තු මස 06 වන දින දක්වා පැවැත් වේ.
දැල්පන්දු ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකාව පැමිණි ගමන් මග
2022 වසරේ සැප්තැම්බර් මස 11 වෙනිදා පැවති ආසියානු දැල් පන්දු ශුරතාවලියේ දී සත්කාරක සිංගප්පුරු කණ්ඩායම ලකුණු 63-53ක් ලෙස පරාජය කරමින් සයවන වරටත් ශ්‍රී ලංකාව ශුරතාවලිය ජයග්‍රහණය කිරීමට සමත් විය.
මෙම ජයග්‍රහණය ශ්‍රී ලාංකික ජනතාවට විශේෂ වුයේ ඒ වන විට රට මුහුණ පා තිබූ ආර්ථික අර්බුදය හමුවේ එය සතුට ගෙන දෙන කරුණක් වූ නිසාවෙන් ය.
ඒ අනුව ආසියානු දැල් පන්දු ශූරියන් වූ ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වන ලෝක දැල් පන්දු ශුරතාවලියට සෘජුව සුදුසුකම් ලැබීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලෝක දැල්පන්දු ශ්‍රේණිගත කිරීම් වලට අනුව 15 වන ස්ථානයේ පසුවේ.
ශ්‍රී ලංකාව සහභාගි වන තරග මොනවාද?
ලෝක කුසලාන දැල් පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මුලික වටයේ පළමු තරගය ජැමෙයිකා කණ්ඩායම සමග ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 9.30ට පැවැත්වීමට නියමිත ව ඇත.
ඉන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව සහ වේල්ස් කණ්ඩායම් දෙක සමග මුලික වටයේ තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතයි.
දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග තරගය හෙට (ජුලි 29 වෙනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට පැවැත්වේ.
වේල්ස් කණ්ඩායම සමග තරගය ඉරිදා (ජුලි මස 30 වෙනිදා) මෙරට වේලාවෙන් දහවල් 12.30ට පැවැත්වේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
ශ්‍රී ලංකාවේ දැල්පන්දු ලෝක කුසලාන ඉතිහාසය
මේ දක්වා ශ්‍රී ලංකාව අවස්ථා දෙකක දී දැල් පන්දු ලෝක ශූරතාවලියට ක්‍රීඩා කර තිබේ.
ශ්‍රී ලංකාවේ හොඳම දැල්පන්දුලෝක කුසලානය වූයේ එංගලන්තයේ, ඊස්ට්බෝර්න් හිදී 1963 වර්ෂයේ පැවැත්වූ ලෝක තරගාවලියයි.
එහිදී ශ්‍රී ලංකාව ශූරතාවලියේ 09 වන ස්ථානයට පත්විය.
2019 වසරේ ලිවර්පූල්හිදී පැවති දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 15 වැනි ස්ථානයට පත්විය.
දැල් පන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කරන රටවල් මොනවාද ?
මෙවර දැල් පන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් 16ක් තරග වදිති.
සත්කාරකත්වය දරන දකුණු අප්‍රිකානු කණ්ඩායම ස්වයංක්‍රීයව තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තිබේ.
ඕස්ට්‍රේලියාව,බාර්බඩෝස්,එංගලන්තය, ෆිජී, ජැමෙයිකා, මලාවි,නවසීලන්තය, ස්කොට්ලන්තය, සිංගප්පුරුව, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව,ටොන්ගා, ට්‍රිනිඩෑඩ් හා ටොබෑගෝ, උගන්ඩා, වේල්ස් සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් මෙවර තරගාවලියට ක්‍රීඩා කෙරේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකා කණ්ඩායමට අනගි අවස්ථාවක්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ලෝක දැල්පන්දු ශූරතාවලියට ක්‍රීඩා කිරීමට ලැබීම ශ්‍රී ලංකා කණ්ඩායම අනගි අවස්ථාවක් බවත්, මෙම තරගාවලියේ දී සිය ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළට ඒමට උත්සාහ කළ යුතු බවත් ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ හිටපු නායිකාවක් මෙන්ම හිටපු පුහුණුකාරිනියක් වන දීප්ති අල්විස් බීබීසි සිංහල සේවයට පැවසුවේය.
ඇය සඳහන් කළේ ශ්‍රී ලංකාව පත්ව සිටින තත්ත්වය මත ලෝක කුසලාන ශුරතාවලියක් ක්‍රීඩා කිරීමට යෑමට අවස්ථාව උදාවීම ද ඉතා වටිනා බවයි.
" ශ්‍රී ලංකාව ආසියානු ශුරියන්. මෙවර ලෝක කුසලාන ශුරතාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන කාණ්ඩය ගැන ගැටලුවක් නැහැ. මොකද තරගාවලියේ කාණ්ඩ 04ක් තිබෙනවා. මේකෙදි අපි බලාපොරොත්තු වෙන්න ඕන ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළට එන එකයි."
"මොකද වර්ල්ඩ් කප් එකක් කියන්නේ ගොඩක් අමාරු තත්ත්වයක්. අපි බලාපොරොත්තු වෙන්නේ අපි ඉන්න මට්ටමට, ඒ කියන්නේ ආසියානු ශුරියන් කියන තැනින් උඩට ඇවිල්ලා එතැනින් එහාට එන එකයි අපි බලාපොරොත්තු වෙන්නේ."
"අපි දැන් 1995 වසරේදී අපි 15 වෙනි තැනට ආවා.. ඊට පස්සේ අපි එතනින් එහාට ආවා. දැන් අපි ඉන්න මට්ටමට වඩා ශ්‍රේණිගත කිරීම් වලින් ඉදිරියට එන්න ඕන. ආසියානු ශුරතාවලියට නැවත ක්‍රීඩා කරන කොට අපි ස්ථාවරය තියා ගන්න ඕන."
"මේකෙදි ක්‍රීඩිකාවන්ට අත්දැකීම් ලැබිලා, ඒ ගොල්ලෝ අප්ඩේට් වෙලා ඉදිරියට යනවා. "
"ඇත්තෙන්ම වර්ල්ඩ් කප් එකක් යන්න ලැබෙනවා කියන එකම ලංකාව වගේ රටකට ලොකු දෙයක්. මේ රටේ ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක ලෝක කුසලාන තරගාවලියට යන්න ලැබීම ලොකු භාග්‍යයක් වගේම දක්ෂතාවයක්."
"මම විශ්වාස කරනවා මේ තරගාවලියේ දී ලංකා කණ්ඩායම හොද දක්ෂතා අතරට එයි කියලා." ඇය පැවසුවා ය.












