පුටින්ගේ වෙඩික්කරුවෙකු බේරා ගැනීමට සිරකරු හුවමාරුවක 'ඉත්තෙකු' වූ බාලවයස්කරුවා

ඡායාරූප මූලාශ්‍රය, Lik family
- Author, සර්ගෙයි ගොරියස්කෝ
- Role, බීබීසී රුසියානු සේවය
සිරකරුවන් හුවමාරු කර ගැනීමේ වැඩසටහනකට අනුව අගෝස්තු 01 වන දා රුසියාව නිදහස් කළ සිරකරුවන් අතර කෙවින් ලී ද විය. පාසලේ සිටියදී පසුගිය වසරේදී අත්අඩංගුවට ගනු ලැබූ ඔහු, නූතන රුසියානු ඉතිහාසයේ රාජද්‍රෝහී චෝදනාවට වරදකරු වූ ළාබාලතම පුද්ගලයා ය. නිදහස ලැබීමෙන් පසු අදහස් දක්වමින්, තමන් විසින් නොකරන ලද අපරාධයක් පාපොච්චාරණය කිරීමට තමාට බල කළ ආකාරය, සිරකරුවන් පහර දුන් ආකාරය සහ කේවල් කිරීමේ මෙවලමක් ලෙස භාවිත කළ ආකාරය ඔහු විස්තර කරයි.
ජූලි 28 වන දා, 19 හැවිරිදි කෙවින් ලික් රුසියාවේ වයඹ දෙසින් පිහිටි අඛන්ගෙල්ස්ක් ආසන්නයේ අංක 14 දරන දණ්ඩන කොලනියේ ප්‍රධාන කාර්යාලයේ වාඩි වී සිටියේ ය. ඔහු දත් බුරුසුවක් සහ දන්තාලේපයක් අතේ තබාගෙන පැය හයක් බලා සිටි අතර, කුමක් සිදුවේ දැයි දැන සිටියේ නැත.
"මාව අරගෙන යන්නෙ කොහෙට ද කියලා කියන්නෙ නැත්තෙ ඇයි?," කොලනියේ ප්‍රධානියාගෙන් ඔහු විමසීය. "මාව අරගෙන යන්නෙ වෙඩි තියන්න වෙන්න ඇති."
"බය වෙන්න එපා. ඔක්කොම හරි යයි," ප්‍රතිචාරය එය විය.
"අවුරුදු එක හමාරකට කලින් ෆෙඩ්රල් ආරක්ෂක නිලධාරියෙක් කිව්වෙ ඒක ම තමයි," වීඩියෝ දුරකතන ඇමතුමක් හරහා කෙවින් පවසයි. රහස් පොලිසිය මේ වචන එලෙසින් ම භාවිත කළේ ය: "බය වෙන්න එපා. ඔක්කොම හරි යයි," යනුවෙන් ඔහු සිරගත කිරීමට පෙර පවසා තිබිණි.
කෙවින්ගේ උස අඩි 6යි අඟල් 4ක් වුව ද, ඔහුගේ ශරීරයේ බර කිලෝග්‍රෑම් 70කි. "කොලනියේ හිටිය කාලේ මගේ බර ගොඩක් අඩු වුණා," ඔහු ලජ්ජාශීලී ලෙස පැහැදිලි කරයි.
ඔහුට ද්විත්ව පුරවැසිභාවය හිමි අතර, ඔහු වැඩියෙන් රුසියානුවෙකු ද? නැතහොත් ජර්මානුවෙකු ද? යනුවෙන් විමසූ විට ඔහු පවසන්නේ, "ඒක පිළිතුරු දෙන්න ගොඩක් අමාරු ප්‍රශ්නයක්," යනුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Lik family
2005 වසරේදී ඔහු උපත ලැබුවේ, ජර්මනියේ මොන්ටාබෝ නමැති කුඩා නගරයක ය. ඔහුගේ රුසියානු මව වන වික්ටෝරියා, ජර්මානු පුරවැසියෙකු සමග විවාහ වූ අතර විවාහය නොනැසී පැවතුණ ද, ඇය සහ ඇගේ පුත්‍රයා එහි ම රැඳී සිටියහ.
ඔහුගේ මව ස්ථිරව ම ආපසු යාමට අවශ්‍ය බව තීරණය කරන තෙක් ඔවුහු සෑම වසර දෙකකට ම වරක් රුසියාවට ගියහ - ඇයට ඇගේ ඥාතීන් සහ උතුරු කොකේසස්හි පිහිටි ඇගේ උපන් ගම වන මේකොප් මග හැරිණි.
ඔවුහු කඳුකර දර්ශන සහ හමුදා කඳවුරක් සහිත නගරයෙන් පිටත පිහිටි මහල් නිවාසයක පදිංචි වූහ. ග්‍රාමීය ප්‍රදේශවල ඇවිදීමෙන් සහ සිය ශාකාගාරයට පැළෑටි එකතු කිරීමෙන් කෙවින් සතුටක් ලැබුවේ ය. පොත් කියවීමට ද කැමැත්තක් දැක්වූ ඔහු මුදල් වැඩි වශයෙන් වියදම් කළේ, පොත් මිල දී ගැනීම සඳහා ය.
ඔහු ඉගෙනීමට දැඩි කැමැත්තක් දැක්වූ අතර, අධ්‍යාපනික තරගවලදී ඔහු දිනා ගත් ජාතික සහ ප්‍රාදේශීය සහතික පත් මට පෙන්වූයේ, දැඩි උද්යෝගයකිනි.

ඡායාරූප මූලාශ්‍රය, Lik family
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2018 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ඔහුට රුසියානු දේශපාලනය කෙරෙහි උනන්දුවක් ඇති විය. ඔහුගේ මව රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ කම්කරු කාන්තාවක් විය. "එයා ගෙදර ඇවිත් කියනවා, ඡන්ද මධ්‍යස්ථානවලට අරගෙන ගියා කියලා. එහෙදි එයාලට කියලා තියෙන්නේ 'පුටින්ට ඡන්දෙ දුන්නෙ නැත්නම් උඹලාගේ බෝනස් කපනවා' කියලා."
එවකට වයස අවුරුදු 12ක පසුවුව ද, "රුසියාව තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බව" තමන්ට වැටහුණු බව ඔහු කියයි.
තම පාසලේ සෑම පන්ති කාමරයක ම පාහේ පුටින්ගේ ඡායාරූපයක් තිබීම ගැන කෙවින් කෝපයට පත්ව සිට ඇත. "පාසල දේශපාලනය කරන තැනක් නොවන බව ඔවුන් අපට නිතර ම කිව්වා. එවැනි සංස්කෘතියක් ඇතුළේ ඡායාරූප එල්ලා තැබීම සහ කවුරු හරි කෙනෙක් ප්‍රවර්ධනය කිරීම නිවැරදි නැහැ," ඔහු පවසයි.
ඒ අනුව, වසරකට හෝ දෙකකට පසුව, පුටින්ගේ ඡායාරූපය ඉවත් කර විපක්ෂ නායක ඇලෙක්සෙයි නවාල්නිගේ ඡායාරූපයක් එල්ලීමට ඔහු තීරණය කළේ ය.
මෙම සිද්ධිය නිසා අර්බුදයක් ඇති විය. "එක ටීචර් කෙනෙක් කිව්වා, ස්ටාලින්ගේ කාලේ මෙහෙම දෙයක් කළා නම් මට වෙඩි තියයි කියලා," ඔහු ආවර්ජනය කරයි. කෙසේ වෙතත්, තවත් ගුරුවරයෙකු කෙවින්ගේ අදහස්වලට එකඟ වන බව කියා ඇතත්, ප්‍රවේශම් වන ලෙස ඔහුට අවවාද කර තිබිණි.
ඔහුගේ මවට පාසලෙන් කැඳවීමක් ලැබිණි: "ඒගොල්ලෝ අම්මාට බැන්නා, කෑගැහුවා," ඔහු පවසයි. එපමණක් නොව, එවැන්නක් යළිත් කළහොත් කෙවින් නතර වනු ඇත්තේ බන්ධනාගාරයේ බවට නියෝජ්‍ය විදුහල්පතිවරයා අවවාද කර තිබිණි.
මේ පිළිබඳව බීබීසී පුවත් සේවය පාසලේ පරිපාලන අංශයෙන් විමසීමක් කළ ද, ප්‍රතිචාරයක් නොලැබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Adyghe State University
පීට්සා වෙනුවට මාංචු
වෛද්‍ය විද්‍යාව හැදෑරීමට මොස්කව් වෙත යාම සඳහා කෙවින්ට තිබූ කැමැත්ත පිළිබඳව කනස්සල්ලෙන් පසුවූ ඔහුගේ මව වන වික්ටෝරියා, කෙවින් පාසලේ අවසන් වසරට පිවිසෙද්දී ආපසු ජර්මනියට යාමට තීරණය කළා ය.
එම කාලයේ, රුසියාව යුක්‍රේනය සමග යුද්ධයක නිරත වෙමින් සිටි අතර, සෙසු තරුණ ප්‍රජාව සේ ම, කෙවින් ද හමුදාවේ ලියාපදිංචි වී සිටියේ ය. නීතියට අනුව, ඔවුන්ට ස්ථිර වශයෙන් රට හැර යාමට අවශ්‍ය නම් එම හමුදා ලියාපදිංචියෙන් ඉවත් වීමට සිදුවිය.
ඒ අනුව, හමුදා ලියාපදිංචි කාර්යාලය කෙවින්ගේ ලියකියවිලි සකස් කිරීම සඳහා පැමිණෙන ලෙස වික්ටෝරියාට ඇරයුම් ලැබිණි. 2023 පෙබරවාරි 9 වන දින ඇය එම කාර්යාලයට ගිය විට, ඇය ප්‍රසිද්ධියේ දිවුරුම් දුන් බවට පොලිසිය හදිසියේ ම චෝදනා කළේ ය. ඊළඟ දිනයේ ඇය දින 10ක් රැඳවුම් භාරයේ තබා ගැනීමට නියෝග කෙරිණි. එහෙයින්, ඔවුන්ට රටින් පිටවීමට නොහැකි විය.
හුදෙකලා වූ කෙවින් පාසල් යාම නතර කළ අතර, නිවසින් පිටතට යාම ද සීමා කළේ ය. කෙසේ වෙතත්, එක් දිනක ඔහු පැය කිහිපයකට මහල් නිවාසයෙන් පිටතට ගිය අතර, ඔහු ආපසු එන විට "වෙනසක් සිදුවී ඇතැයි" ඔහුට දැනිණි.

ඡායාරූප මූලාශ්‍රය, FSB
වික්ටෝරියා මුදා හැරීමෙන් පසු, ඔවුහු ජාත්‍යන්තර ගුවන් තොටුපළක් තිබූ සෝචි හරහා ජර්මනියට යාමට උත්සහ කළහ. ඔවුන් හෝටලයක නවාතැන් ගෙන ආහාර ගැනීම සඳහා පිටතට ගිය අවස්ථාවක, මුහුණු ආවරණයක් පැළඳ සිටි පුද්ගලයෙකු දුරකතනයෙන් ඔවුන් රූගත කරන බව කෙවින් දුටුවේ ය.
තත්පර කිහිපයකදී වෑන් රථයක් පැමිණි බව ඔහු පවසයි. "ආරක්ෂක නිලධාරීන් 8ක් හරි 9ක් හරි එළියට පැන්නා. එක් කෙනෙක් මගේ අතිනුයි උරිහිසෙනුයි අල්ල ගත්තා. තව කෙනෙක් හැඳුනුම්පත පෙන්නලා කිව්වා: '275 වගන්තිය අනුව දේශද්‍රෝහී චෝදනා මත ඔබට එරෙහිව නඩුවක් ගොනු කරල තියෙනවා' කියලා."
"ඒකෙන් ඇති වුණ තිගැස්මට මගේ ඇස් උඩ ගියා. මගේ අම්මාට කිසි දෙයක් හිතා ගන්න බැරි වුණා."
ඔවුන් වෑන් රථයට නංවා ගැනීමෙන් පසු නිලධාරීන් ඔවුන්ට පවසා තිබුණේ: "ඒගොල්ලන්ට ඔයාලාව මේකොප්වලදී හමුවෙලා කතා කරන්න අවශ්‍ය ලු." හෝටලයේ තබා තිබූ බෑග් ආපසු ගැනීමෙන් පසු, තවත් ආරක්ෂක නිලධාරියෙකු නංවා ගැනුණු අතර, ලියාපදිංචි අංක තහඩු නොමැති වෙනත් මෝටර් රථයකට මාරු වී පීට්සා අවන්හලක් වෙත ගියහ.
"ඒගොල්ලෝ පීට්සා ඇණවුම් කරල අපටත් කිහිපයක් දුන්නා. කොහොම වුණත්, ඔවුන් මට මාංචු දැම්මෙවත්, බාධාවක් කළේවත් නෑ. ඇත්තට ම, මම ගොඩක් කල්පනා කරලා බැලුවා. ඒත් මම දේශද්‍රෝහීකමක් කළේ කොහොම ද කියල මට හිතා ගන්න බැරි වුණා," කෙවින් පවසයි.
තමන්ව සිරගත කරනවා ද? යන්න ඔහු විමසූ විට, ඔවුන් සහතික කරමින් පැවසුවේ, "බය වෙන්න එපා, ඔක්කොම හරි යයි," යනුවෙනි.
2019 වසරේදී ක්‍රෙම්ලීනයේ නියෝගයක් මත බර්ලින්හි උද්‍යානයකදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජර්මනියේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි හිටපු ෆෙඩ්රල් ආරක්ෂක නිලධාරියෙකු වන වඩීම් ක්‍රැසිකොෆ් පිළිබඳව කෙවින් අසා තිබිණි. ක්‍රැසිකොෆ් ආපසු රුසියාවට ගෙන්වා ගැනීම සඳහා රුසියාව ජර්මානු පුරවැසියෙකු වූ තමන් "ප්‍රාණ ඇපකරුවෙකු ලෙස" භාවිත කිරීමට සැලසුම් කර ඇත්දැයි ඔහු කල්පනා කළේ ය.
'ඒක අයුක්තිසහගත චෙස් ගේම් එකක්'
ඔවුහු මැදියම් රාත්‍රියේ මේකොප් වෙත ළඟා වූහ. ආරක්ෂක නිලධාරීන් සිය මහල් නිවාසය පරීක්ෂා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඔහු මට පෙන්වීය. ඔවුහු කෙවින්ගේ පාසල් පෙළපොත් පරීක්ෂා කළ අතර ඒ අතරතුර කැඩුණු දුරේක්ෂයක් සොයා ගත්හ. එය ඔහුගේ මවගෙන් ලැබුණු පැරණි උපන් දින තිලිණයකි.
ඔහු වරක් තරු බැලීම සඳහා එය භාවිතා කර තිබිණි. නමුත් නිලධාරීන් සැක කළේ, ඔහු එය ජර්මානු බුද්ධි අංශ වෙත යැවීම සඳහා ඔහුගේ ජනේලයෙන් පිටත හමුදා රථ ගාල ඡායාරූපගත කිරීමට භාවි කර ඇති බවට ය. හමුදා කඳවුරේ ඡායාරූප කිහිපයක් තිබුණු ඔහුගේ දුරකතනය සහ ලැප්ටොප් පරිගණකය නිලධාරීන්ගේ ග්‍රහණයට ගැනිණි.

ඡායාරූප මූලාශ්‍රය, FSB
කෙවින් තමා ඡායාරූප ගත් බව එකහෙළා පිළිගන්නා නමුත් කිසිවෙකුට ඒවා ලබා දීමට තමාට අදහසක් නොතිබූ බව පවසයි. ඔහු එම ඡායාරූප තම පන්තියේ මිතුරන් කිහිප දෙනෙකුට පෙන්වූ අතර ඔවුන්ගෙන් එක් අයෙකු ෆෙඩ්රල් ආරක්ෂක අංශයට ඔත්තුවක් ලබා දුන්නේ දැයි ඔහුට සැකයක් තිබේ. පාසල් යාම ආරම්භ කළ විට ඔහු ජර්මානු ජාතිකයෙකු වූ හෙයින් ටික කලක් සිසුන්ගේ හිරිහැරවලට ලක්වී තිබීම ද එම සැකයට හේතු වී තිබිණි.
අලුයම 3.00ට ප්‍රශ්න කිරීම සඳහා කෙවින් ෆෙඩ්රල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත රැගෙන යන ලදී. ඔහු බියට පත්ව සිටියේ ය. ඔහු ඒ වන විට 17 වන වියේ පසුවූ හෙයින් ඔහු සමග මව ද ගියා ය.
ඔහු එහි අසුන්ගෙන සිටියදී, අසල තිබූ මේසය මත පළමු සෝවියට් රහස් පොලිස් සේවාවේ ප්‍රධානියා වූ සර්ෂින්ස්කිගේ උඩුකය ඡායාරූපයක් දැක්කේ ය.
කෙවින් පවසන්නේ, වසර 10ක සිර දඬුවම 6ක් හෝ 7ක් දක්වා අඩු කර ගැනීම සඳහා වරද පිළිගන්නා ලෙස තමන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය වහා පැවසූ බව ය. ඇතැම් විට ජනතාව සිරකරුවන්ට ලිපි එවන හෙයින් ඔහුට පෙම්වතියක සොයා ගැනීමට හැකි වනු ඇතැයි යන්න පවා ඇය යෝජනා කර තිබිණි.
අප කතා කරන විට ඔහු රුසියානු අපරාධ නීති සංග්‍රහයේ වගන්ති නිරායාසයෙන් කියයි, ඔහුට සාවද්‍ය ලෙස චෝදනා කළේ මන්දැයි පැහැදිලි කිරීමට නීතිමය කොන්දේසි භාවි කරයි, නමුත් ඒ වන විට ඔහුට තත්ත්වය හසුරුවන්නේ කෙසේ ද? යන්න පිළිබඳව අදහසක් නොතිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, FSB
කෙවින්ගේ පාපොච්චාරණය කල්තබා ම සකස් කර තිබූ අතර, ඊට අත්සන් තැබීමට ඔහු එකඟ විය - එහෙත්, පසුව ඔහු ඒ පිළිබඳව පසුතැවිලි විය. ඔහු එසේ නොකළේ නම්, "ඒ මිනිස්සු මගේ අම්මාට බලපෑම් කිරීමේ අවදානමක් තිබුණ නිසා තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇතැයි," තමන් බියට පත්වූ බව පවසන ඔහු, සිය මහල් නිවාසය අල්ලා ගැනීමට තමන්ට බලය ඇති බව විමර්ශනය කළ නිලධාරියා අනතුරු ඇඟවූ බව පැහැදිලි කළේ ය.
"සාක්ෂි විමසීම මුළුමනින් ම විකාරයක්," ඔහු පවසයි. "ඒක චෙස් ගේම් එකක්. එතන පැහැදිලිව ම යුක්තියක් තිබුණෙ නෑ."
ඔහු ඒ වන විට බාල වයස්කරුවෙකු වූ හෙයින්, පැය දෙකක පමණ දුරක් ගෙවා ක්‍රැස්නොඩාර්හි පිහිටි විශේෂ ස්ථානයකට ගෙන යන ලද අතර එහිදී ඔහු හුදකලා සිර මැදිරියක රඳවා තබන ලදී. ඔහු රාත්‍රිය පුරා නිදි වර්ජිතව සිටිය ද, ඔහුට නින්ද ගියේ නැත. "ඒ අය මට කෑම ගෙනත් දුන්නා. ඒත් මට කන්න බැරි වුණා. මට කෑම රුචියක් තිබුණෙ නෑ. මම කිසි දෙයක් හිතා ගන්න බැරුව හිටියේ. ඊළඟට මොකක් වෙයි ද? කියලා මට හිතා ගන්න බැරි වුණා. මට මගේ අම්මාව බලන්න ඕන වුණා."
'ඒ වෙලාවේ තිබුණ තත්ත්වයට අනුගත නොවුණා නම් මට බේරෙන්න ලැබෙන්නෙ නෑ'
මාස දෙකකට පමණ පසු, ඔහුගේ වයස අවුරුදු 18 සම්පූර්ණ වීමෙන් අනතුරුව, ක්‍රැස්නොඩාර් ප්‍රදේශය ආසන්නයේ පිහිටි වෙනත් බන්ධනාගාරයක් වෙත ඔහු මාරු කෙරුණු අතර එහිදී ඔහු සෙසු සිරකරුවන් සමග එකට තබන ලදී.
එහිදී, තමන් ලැබූ අත්දැකීම දැඩි සහ හුදෙකලාසහගත බව ඔහු දැනිණි: "මේ තත්ත්වයට අනුගත වුණේ නැත්නම් මට බේරෙන්න බැහැ කියලා මම නිගමනය කළා," යනුවෙන් පැවසූ ඔහු, රුසියානු ලේඛක ෆ්‍යදෝර් දොස්තයෙව්ස්කි වසර 175කට පෙර අපරාධ කොලනියේ සිරතගව සිටියදී ලියන ලද්දක් උපුටා දැක්වීය. "මිනිසා යනු ඕනෑ ම දෙයකට හුරුපුරුදු වන ප්‍රාණියෙකි."
එක් අවස්ථාවකදී ඔහු භීතියට පත් කරමින් සිරකරුවන් පිරිසක් ඔහුට පහර දුන්හ. "ඒ මිනිස්සු මගේ අතින් අල්ලගෙන මට පහර දුන්නා. ඒ විතරක් නෙවෙයි, මාව සිගරට් එකකින් පිච්චුවා. ඒගොල්ලො මගේ පපුවට හයියෙන් ගැහුවා. මට හුස්ම ගන්නත් අමාරු වුණා."

ඡායාරූප මූලාශ්‍රය, Lik family
මේ කාලය පුරා ම ඔහු පිළිබඳ විමර්ශනය දිගට ම සිදුකෙරිණි. ඔහුගේ පාසලේ විදුහල්පතිවරයා කෙවින් බේරා ගැනීම වෙනුවෙන් පෙනී සිටිය ද, ඔහුගේ පන්ති භාර ගුරුවරිය/ගුරුවරයා ඔහුට එරෙහිව සාක්ෂි දුන්නේ ය. ඒ, අධ්‍යාපනික තරගයක් සඳහා මොස්කව් වෙත ගිය අවස්ථාවකදී ඔහුට ජර්මානු තානාපති කාර්යාලයේ බුද්ධි නිලධාරීන් හමුවීමට අවශ්‍ය වූ බව පවසමිනි. ඒ පිළිබඳව පැහැදිලි කරමින් කෙවින් පැවසුවේ, තමන්ගේ වයස 16 පසු වීම නිසා ජර්මානු හැඳුනුම්පතක් සකස් කර ගැනීමට පමණක් තමන්ට අවශ්‍ය වූ බව ය.
කෙවින් විසින් ගන්නා ලද ඡායාරූප විශ්ලේෂණය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂඥයෙකු කැඳවනු ලැබූ අතර, ඒවා රාජ්‍ය රහසක් නොවන නමුත්, ඒ හරහා විදේශ රටවලින් රුසියාවට හානියක් විය හැකි බව නිගමනය කළේ ය.
ඔහු පිළිබඳ ෆෙඩ්රල් ආරක්ෂක ලිපිගොනුවේ ඔහු වයස අවුරුදු දෙකේදී රුසියාවේ කළ සංචාරයක් ඇතුළු ළමා කාලයේදී රුසියාවේ කළ සංචාර පිළිබඳ විස්තර ද ඇතුළත් වූ අතර, ඔහුගේ දුරකතනය 2021 වසරේදී ටැප් කර තිබූ බව ඔහු සොයා ගත්තේය.
කෙවින් අත්අඩංගුවට ගෙන මාස 8කට පසු ඔහුට එරෙහි නඩුව විභාග කිරීම ආරම්භ වූ විට, විනිසුරුවරිය අවම වශයෙන් සැසි වාර දොළහක් පවත්වමින් චෝදනා ගැඹුරින් අධ්‍යයනය කිරීමට උත්සහ කළ ද, ෆෙඩ්රල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත ඇය නඩු විභාග කිරීමෙන් ඉවත් කරන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, FSB
අධිකරණය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, කෙවින් විසින් "දෘශ්‍ය නිරීක්ෂණ පවත්වා" මේකොප්හි රුසියානු හමුදා ඒකකයක් ඡායාරූප ගත කර ඇති අතර, පසුව "රුසියාවේ දේශපාලන ගමන් මග සමග එකඟ නොවීම" සහ "යුක්‍රේනයේ සිදු කෙරෙන විශේෂ හමුදා මෙහෙයුම" හේතුවෙන් එම පින්තූර "විදේශ රාජ්‍යයක නියෝජිතයෙකුට" විද්‍යුත් තැපෑලෙන් යවා ඇති බව ය.
කෙවින් එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, ඔහුගේ අභියාචනය නිෂ්ප්‍රභ වීමෙන් පසු අපරාධ කොලනියක් තුළ වසර 4ක් රඳවා තබන ලෙස නියෝග කෙරිණි. "නීතිඥයා අම්මා ළඟට ඇවිත් කිව්වා: 'ඔයාට ඉන්නේ ගොඩක් හොඳ පුතෙක්. ඒත් මේ චෝදනාවට අවුරුදු 4කට වඩා අඩු කාලයක සිර දඬුවමක් නම් බලාපොරොත්තු වෙන්න බෑ' කියලා," ඔහු ආවර්ජනය කරයි.
අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔහුගේ මව හැර මේකොප්හි වෙනත් කිසිවෙකු ඔහු දැන සිටියේ නැත. එහෙත්, ඔහුගේ නඩුව පිළිබඳව මාධ්‍ය වාර්තා පළවීමෙන් පසු, ආගන්තුකයින් ඔහුට ලිවීමට පටන් ගෙන තිබිණි. "ඒ ලියුම්වලින් මට ලොකු සහයක් ලැබුණා," ඔහු පවසයි. "මගේ උපන් දිනය දවසේ සුබ පැතුම් පත් 60ක් ලැබුණා. මගේ අරමුණ වුණේ හැම කෙනෙකුට ම ප්‍රතිචාර දක්වන්න," එහෙත්, එම ලිපි සහ සුබ පැතුම් පත් රාජසන්තක විය.
ඔහුට තිබූ නිතිමය විකල්ප අවසන් වූ පසු, කෙවින් ආකන්ගෙල්ස්ක්හි දණ්ඩන කොලනියට යවන ලදී. බන්ධනාගාර රැසක් හරහා ආකන්ගෙල්ස්කි වෙත ගිය ගමන අවසන් වූයේ, මසකට පමණ පසු එනම්, ජූනි මස අග භාගයේදී ය. එම කාලය පුරා ඔහු මුහුණ දුන් අසීරු ම කරුණ වූයේ, සිය මව සමග කතා කිරීමට අවස්ථාවක් නොලැබීම ය.
'වෙන්න බැරි දෙයක්'
දණ්ඩන කොලනියේ ඔහු තවත් මිනිසුන් රැසක් සමග නේවාසිකාගාරයක් බෙදාගෙන පොත් කියවමින් සහ අධ්‍යයන කටයුතුවල නිරත වෙමින් කාලය ගත කළේ ය.
හදිසියේ ම, ජූලි 23 අඟහරුවාදා, ඔහු නාන කාමරයෙන් පිටව යද්දී විශේෂ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඔහුව අල්ලාගෙන ජනාධිපති සමාව සඳහා "හදිසියෙන් පෙත්සමක් ලිවීමට" ඔහුට විනාඩි 20ක් ඇති බව පැවසීය. එය රැගෙන යාම සඳහා කොලනිය වෙත කවුරුන් හෝ පැමිණ ඇති බව ඔහුට වැටහිණි.
දින පහකට පසු, කෙවින් කෑම කාමරය පසු කරද්දී ඔහුව නතර කළ බන්ධනාගාර නිලධාරියෙකු ඔහුට පැවසුවේ, ඔහුගේ දත් බුරුසුව, දත් බෙහෙත් සහ පාවහන් රැගෙන එන ලෙස ය. "සාමාන්‍යයෙන්, එම භාණ්ඩ ලැබෙන්නේ දණ්ඩන කුටියට දාන්න කලින්," කෙවින් පැහැදිලි කළේ ය.
එහෙත් ඒ වෙනුවට, ඔහු කොලනියේ ප්‍රධාන කාර්යාලයේ සිර කෙරිණි. සඳුදා අලුයම 1.00ට ඔහු රැගෙන යාමට ආඛන්ගෙල්ස්ක් සිට නියෝජිතයෙකු පැමිණ සිටියේ ය.
සිදුවන්නේ කුමක්දැයි ඔවුන් ඔහුට පැවසුවේ නැත. තමන්ව හුවමාරු කිරීමට යන බව කෙවින් බලාපොරොත්තු වුව ද, එය සිදුවිය නොහැකි දෙයක් බව ඔහු සිතුවේ ය. "මට හිතුණේ මට වෙඩි තියන්න අරන් යනවා කියලා," ඔහු පැවසීය.
ඔහු මොස්කව් වෙත රැගෙන ගොස් ලෙෆෝර්ටෝවෝ බන්ධනාගාරයට ගෙන යන ලදී - එහිදී, හුවමාරු වීමට නියමිත සිරකරුවෝ එක්රැස් කරනු ලැබූහ. ඔවුන් එහි සිටින බව කෙවින්ට නොතේරුණු අතර, ඔහුගේ බලාපොරොත්තු ඉහළ යාමට පටන් ගත්ත ද, ඔහු ප්‍රවේශම් විය.
අගෝස්තු 01 වන බ්‍රහස්පතින්දා, ඔහු සහ තවත් පිරිසක් බස් රථයකට නංවනු ලැබූහ. - ඔහු ඔවුන් මීට පෙර දැක තිබුණේ නැත. ඉන්පසු, ඔවුහු තුර්කිය බලා පියාසර කරවීමට නියමිත ගුවන් යානයක් ගොඩබස්වා තිබූ නුකෝවෝ ගුවන් තොටුපළට රැගෙන යනු ලැබූහ.
තමන්ව හුවමාරු කර ගන්නා බව ඔහුට කිසි විටෙක කියා නොතිබූ නමුත් ඔහු ගුවනේ සිටින විට සිදුවන්නේ කුමක් ද? යන්න පැහැදිලි වූ අතර ඔහු වෙනත් සිරකරුවෙකු සමග ජර්මානු භාෂාව පුහුණු කළේ ය.
කෙවින් නිරන්තරයෙන් ම සැක කළ පරිදි, වඩීම් ක්‍රැසිකොෆ් මෙම සිරකරු හුවමාරුවේ අනෙක් අන්තයේ කොටසකි.
කෙවින් ඉක්මනින් ම ජර්මනියට පැමිණි අතර වෛද්‍ය පරීක්ෂාවකින් පසු, රුසියාවේ සිට පියාසර කළ ඔහුගේ මව ගුවන් තොටුපළේදී මල් කළඹක් දී පිළිගැනීමට ඔහුට හැකි විය.
"අම්මාට ඇඬුණා. මගේ අතේ මල් තියෙන බවක් දැක්කෙත් නෑ. මම කිව්වා දුක් වෙන්න එපා හැම දේ ම හරි කියලා. මම අම්මාට ගොඩක් ආදරෙයි," කෙවින් පවසයි.
ඔවුන් දැන් ජර්මනියේ වාසය කරන අතර, පාසල් අධ්‍යාපනය අවසන් කිරීම සඳහා දැඩි උනන්දුවකින් පසු වෙයි. "මට පළිගන්න අවශ්‍ය නෑ. ඒත් මට ලොකු ආශාවක් තියෙනවා, විරුද්ධවාදී ක්‍රියාවල නිරත වෙන්න," ඔහු පවසයි.
කෙවින් තවමත් ඔහුගේ බන්ධනාගාර නිල ඇඳුම, බෑගයක දමා නිවසේ තබා ඇති අතර, එය ඇඳ සිටින අතරතුර ඔහුට වැඩිපුර ම අවශ්‍ය වූයේ කුමක් දැයි මා විමසූ විට, ඔහු සරලව පිළිතුරු දුන්නේ: "අම්මව වැළඳගන්න," යනුවෙනි.














