මිහින්තලේ වන අලියා පිළිස්සූ සැකකරුවන් එහි දර්ශන මැකීමට බලපෑම් කර ඇති බවට අධිකරණයේදී හෙළි වෙයි

 පණ්ඩුලගම වනජීවී ඒකකයේ නිලධාරී කණ්ඩායම විසින් වන අලියා පරික්ෂා කිරීම
    • Author, බීබීසී සිංහල

මිහින්තලේ, සීප්පුකුලම ප්‍රදේශයේදී වන අලියෙකු පිළිස්සීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් ජනවාරි 08 දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුරය මහේස්ත්‍රාත් අධිකරණය අද [දෙසැම්බර් 24] නියෝග කර තිබේ.

ඒ, සැකකරුවන් තිදෙනා ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින්නැයි නීතිඥයින් දැඩිව කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ය.

ඒ අනුව සියලු සැකකරුවන් ජනවාරි මස 08 වන දින දක්වා යළි රිමාන්ඞ් භාරයට පත් කිරීමට නියෝග කළ අනුරාධපුරය අතිරේක මහේස්ත්‍රාත් සඳුනි හපුආරච්චි, එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඊළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මිහින්තලේ පොලිසියේ ස්ථානාධිපතිවරයාට තවදුරටත් නියෝග කරනු ලැබුවා ය.

'දර්ශන මකා දමන්නැයි සැකකරුවන් බලපෑම් කරලා'

මෙසේ යලි රිමාන්ඩ් භාරයට පත් කර ඇත්තේ මිහින්තලේ පොලිස් වසමේ සීප්පුකුලම, අඹගහවෙල හංදියේ පදිංචිකරුවන් වන ජේ.එම්. සිසිර සේනාධීර, ජේ.එම්. ප්‍රසන්ත චලින්ද කුමාර සහ ජේ.එම්. වසන්ත විජය කුමාර යන සැකකරුවන් ය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ කලණ කොතලාවල සඳහන් කළේ, අලියාව පුළුස්සන ආකාරය වීඩියෝ ගත කළ විශ්වවිද්‍යාල සිසුවාට සැකකරුවන්ගේ පාර්ශවයන් විසින් බලපෑම් කර ඇති බව අනාවරණය වී තිබෙන බව ය.

එම බලපෑම හේතුවෙන් අලියා පිළිස්සීමේ සිද්ධියේ මුල් වීඩියෝ දර්ශන මකා දමා ඇති බවට විමර්ශනවලදී හෙළිවි ඇතැයි අවධාරණය කළ රජයේ අධිනීතිඥවරයා, ඒ සඳහා නිශ්චිත කරුණු අනාවරණය කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල සිසුවාට අයත් අදාළ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට අවශ්‍ය බවද කීවේ ය.

මෙම අපරාධයට සම්බන්ධ බවට තවත් සැකකරුවන් සිටින බවට අනාවරණය වී ඇති බව ද කියා සිටි රජයේ අධිනීතිඥ කලණ කොතලාවල, සැකකරුවන් ඇප මත මුදා හැරියහොත් සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ ඉදිරි විමර්ශන කටයුතු වලට බලපෑම් සහ බාධා එල්ල විය හැකි බවද කියා සිටියේ ය.

අලියා පිළිස්සීමට යොදා ගත් හුළු අතු ද පොලිස් නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති ඔහු අධිකරණයට දැන්වීය. එම හුළු අතු ද නඩු භාණ්ඩ ලෙස නම් කරන බව දන්වා තිබේ.

වීඩියෝව නරඹන්න
වීඩියෝ ශීර්ෂ වැකිය, පිළිස්සුම් තුවාල ලැබු වන අලියා මිය යයි

ඇප ප්‍රතික්ෂේප වෙයි

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අලියා මිය ගොස් ඇත්තේ පිළිස්සීම හේතුවෙන් ඇතිවූ කම්පන තත්ත්වය නිසා අභ්‍යන්තර ඉන්ද්‍රියන්වල පටක වලට සිදු වූ හානි හේතුවෙන් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇතැයි ද රජයේ අධිනීතිඥවරයා පැවසුවේ ය.

සැකකරුවන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් ස්වකීය විරෝධය පළ කරන බවත් ඒ අනුව ඔවුන් සියලු සැකකරුවන් යළි රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් ඉල්ලා ඔහු සිටියේ ය.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජේෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා පැවසුවේ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය සැකකරුවන්ට ඇති බැවින් ඇප පනතේ14 (1) වගන්තිය ප්‍රකාරව සැකකරුවන්ට ඇප ලබා දීමේ හැකියාව මෙම අධිකරණයට පවතින බව යි.

ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරුවන්ගෙන් කිසිඳු බලපෑමක් එල්ල නොවන බවත් විමර්ශන සඳහා ඔවුන්ගේ උපරිම සහාය ලබා දෙන බවත් අධිකරණයට ප්‍රකාශ කළ නීතිඥවරයා, දීර්ඝව කරුණු දක්වමින් ඉල්ලා සිටියේ සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස යි.

දීර්ඝ වේලාවක් දෙපාර්ශවය කල කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය, සැකකරුවන් ඕනෑ ම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසට නීතිඥයින් කළ ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කරමින් ඔවුන් ජනවාරි මස 08 දින දක්වා තව දුරටත් රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කළා ය.

පැමිණිල්ල වෙනුවෙන් මිහින්තලේ පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි රංජිත් ඇතුළු නිලධාරින් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග රජයේ අධිනීතිඥ කලණ කොතලාවල පෙනී සිටි අතර, සැකකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා සමග නීතිඥ නලින් දිමුතු බණ්ඩාර සහ නීතිඥ ප්‍රියදර්ශනී අත්තනායක පෙනී සිටියහ.

මිහින්තලේ, සීප්පුකුලම ප්‍රදේශයේ තුවාලයක් සහිතව සැරිසරමින් සිටි වන අලියෙකු පන්දම් යොදාගනිමින් පිරිසක් විසින් පුළුස්සා තිබුණේ පසුගිය දෙසැම්බර් 14 රාත්‍රියේ ය.

පසුව මෙම වන අලියා අසාධ්‍යව සීප්පුකුලම, අඹගහවෙල ප්‍රදේශයේ ගෙවත්තක වැටී සිටියදී අනුරාධපුර අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් පැමිණ තත්ත්වය නිරීක්ෂණය කර තිබිණි.

පසුව දෙසැම්බර් 16 උදෑසන මෙම වන අලියාට ප්‍රතිකාර කිරීමේ කටයුතු අනුරාධපුර, පණ්ඩුලගම වනජීවී පශුවෛද්‍ය උදේශිකා මදුවන්ති ඇතුළු එම වෛද්‍ය ඒකකයේ නිලධාරීන් පැමිණ ආරම්භ කර තිබූ නමුත් වන අලියා එදින ම මිය ගොස් තිබිණි.

එම නිලධාරීන් පැවසුවේ මෙම වන අලියා වයස අවුරුදු 35ක් 40ක් පමණ වයසක පිරිමි සත්වයෙකු බවත්, මීට පෙර අවස්ථා කිහිපයකදී ම එම නිලධාරීන් විසින් ප්‍රතිකාර සිදුකළ වන අලියෙකු බවත් ය.

පසුව දෙසැම්බර් 17 වන දින අනුරාධපුර, පණ්ඩුලගම වනජීවී ඒකකයේ නිලධාරී කණ්ඩායම විසින් මෙම මියගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලදී.