හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න හඳුනා ගැනීමේ පෙරට්ටුවකට

    • Author, බීබීසී සිංහල

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ජූලි 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (ජූලි 28) වැනිදා නියෝග කරන ලදී.

නාවික හමුදාවේ බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ සමයේදී 2010 වසරේදී අලව්ව ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් බීබීසී සිංහල වෙත පැවසුවේය.

"2010 අවුරුද්දේ සිදුවෙලා තියෙන පුද්ගල පැහැර ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට ගත්තා. ඔහුව අද පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරාට පස්සේ ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා. එතැනදී ඔහුව හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තියෙනවා." පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න කියන්නේ කවුද?

2020 ජූලි මස 15 වැනිදා 24 වන නාවික හමුදාපතිවරයා ලෙස වැඩ භාර ගත් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, සිය ධුර කාලය අවසන් වීමෙන් පසු 2022 දෙසැම්බර් 18 වැනිදා නාවික හමුදාපති ධූරයෙන් විශ්‍රාම ගියේය.

අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදාපති ධූරයට පත්වීමට පෙර එහි මාණ්ඩලික ප්‍රධානියා ලෙසට කටයුතු කර තිබේ.

වසර 37 කට අධික කාලයක් පුරා නාවික හමුදාවේ සේවය කර තිබු අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න නාවික හමුදාවේ විවිධ තනතුරු හොබවා ඇත.