ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අතුරුදහන් වූවෝ: "රුපියල් කෝටියකට වඩා කප්පම් ගත්තා"
අතුරුදහන් වූ සිය ඥාතීන් රඳවාගෙන සිටින ස්ථානයක් නොදන්නා නමුත් ඔවුන් පැහැරගෙන ගිය පුද්ගලයින්ගේ නම් ගම් ඇතුළු අනෙකුත් විස්තර තමන් සතුව තිබෙන බව අතුරුදහන් වූවන්ගේ ඥාතීහු පවසති.
ත්‍රිකුණාමල මවුවරුන්ගේ සංවිධානයේ සභාපතිනි සෙබස්තියන් දේවී ඒ බව සඳහන් කළේ අතුරුදන් වූ සිය ඥාතීන් පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සෙනසුරාදා (මැයි 20) කළ ප්‍රකාශයක් පිළිබඳව ප්‍රතිචාරය පළ කරමිනි.
යුද සමයේ අතුරුදහන් වූවන් රඳවාගෙන සිටින ස්ථානයක් සම්බන්ධව තොරතුරුක් හෙළි කරන්නේ නම් ඒ පිළිබඳව සොයා බලන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සෙනසුරාදා සාම්පූර් හිදී ජනහමුවක් අමතමින් සඳහන් කළේය.
'අන්තවාදීන්ගේ කුමන්ත්‍රණයක්'
සාම්පූර් නව දිසා රෝහල විවෘත කිරීමෙන් අනතුරුව ජනතාව ඇමතූ ජනපතිවරයා, අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් මෙතෙක් රැස්කර ඇති වාර්තා සැළකිල්ලට ගෙන කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ද සඳහන් කළේය.
"2015 දී මම යාපනේ හින්දු විද්‍යාලයේ සිසු දරුවන් පිරිසක් සමග ඡායාරූපයකට පෙනී සිටියා. එම ඡායාරූපය අන්තර් ජාලයට මුදාහැර තිබුනේ සිසුන් අතුරුදන්ව ඇති බව සඳහන් කරමින්," ජනාධිපතිවරයා පැවසීය.
"මේක දේශපාළන අන්තවාදීන්ගේ කුමන්ත්‍රණයක්. අතුරුදහන් වූවන් සොයා ගැනීමට මම හැම විටම සහයෝගය දෙනවා."
එසේ සිය ඥාතීන් අතුරුදහන් කළ පුද්ගලයන් පිළිබඳ සියලු තොරතුරු තමන් සතුව තිබෙන බව ඔවුන් සොයමින් වසර නමයක් මුළුල්ලේ අරගලයක නිරතව සිටින සෙබස්තියන් දේවී ඇතුළු ඥාතීහු පවසති.
"මගේ පුතාගේ නම සෙබස්තියන් රේගන්. 2008 මාර්තු 19 වෙනිදා පිල්ලෙයාන්ගේ කල්ලියේ නාදන් හා නගුලේස් කියන දෙන්නා එයා පැහැරගෙන ගියා," සෙබස්තියන් දේවී බීබීසී සිංහල සේවයට පැවසීය.
"ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ ඉඳන් නාදන් මට කෝල් එකක් දුන්නා රුපියල් ලක්ෂයක් දුන්නොත් පුතා නිදහස් කරනවා කියලා. පස්සේ මම රුපියල් ලක්ෂයක් නාදන්ගේ අතටම දුන්නා. නමුත් පුතා නිදහස් කළේ නෑ," ඇය කියා සිටියාය.
"නාදන් දැනටත් මට මුණ ගැහෙනවා. මම මේ තොරතුරු සංහිඳියා යාන්ත්‍රණයේ නිළධාරීන්ටත් ලබා දුන්නා," මවුවරුන්ගේ සංගමයේ සභාපතිනි සෙබස්තියන් දේවී පවසන්නීය.
බැගෑපත් ඉල්ලීමක්
අතුරුදහන් වූවන් සම්බන්ධ කාර්යාලය (OMP) ඉතා ඉක්මනින් පිහිටුවීම ඇතුළු නිර්දේශ ගණනාවක් සංහිඳියා යාන්ත්‍රණ සඳහා වූ ප්‍රවිචාරන කාර්ය සාධක බලකාය ආණ්ඩුවට ඉදිරිපත් කළ නමුත් එම නිර්දේශ පිළිපැදීමට තමන් බැඳී නොසිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.
පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පනත ප්‍රකාර OMP කාර්යාලය පිහිටුවන මෙන් යුරෝපා සංගමය, ගැටුම් නිරාකරණය පිළිබඳ ජාත්‍යන්තර කණ්ඩායම (ICG) ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව ද ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපතිවරයා නිවේදනය කළේ ඒ අතරවාරයේය.
OMP කාර්යාලය සම්බන්ධ පනත සම්මත වී තිබියදී, එම කාර්යාලය නොපිහිටුවා අලුත් කමිටුවක් පත්කිරීමේ අවශ්‍යතාවය කවරක් දැයි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇතැමුන් ප්‍රශ්න කර තිබුණි.
බීබීසී සිංහල සේවය සමග වැඩිදුරටත් අදහස් දැක්වූ සෙබස්තියන් දේවී: "අපේ සමිතියේ අම්මලා හැත්තෑ අට දෙනෙක් සිටියා. පහළොස් දෙනෙක් මේ වන විට මිය ගිහින්," යනුවෙන් සිය අරගලයේ ඉතිහාසය සිහිපත් කළාය.
"අතුරුදන් වූවන් වෙනුවෙන් ලංකාවේ තිබුණු සෑම උද්ඝෝෂණයකටම මම සහභාගි වුනා. අපේ ඥාතීන් පැහැරගෙන ගිය බොහෝ දෙනෙකුගේ නම් අපි ඒ තැන්වලදී හෙලි කළා. රුපියල් කෝටියකට වඩා උන් අපෙන් කප්පම් ගත්තා. අපි ජනාධිපතිතුමාට කියන්නේ තවමත් යහතින් ජීවත්වෙන මේ මිනීමරු කප්පම් කාරයෝ අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කරන්න කියලයි," ඇය බැගෑපත් ඉල්ලීමක් කරන්නීය.