තරුණයින් පැහැර ගැනීම සම්බන්ධයෙන් වසන්ත කරන්නාගොඩට එරෙහි නඩු විභාගය අත්හිටුවන මෙන් නියෝගයක්

2008 සහ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගය අත් හිටුවන ලෙස දන්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒඑච්එම්ඩී නවාස් සහ සෝභිත රාජකරුණා විනිසුරු මඩුල්ල මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේ වසන්ත කරන්නාගොඩ විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.

මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු බලපැවැත්වෙන අතර පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ලබන මස 22 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද අධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කළේය.

'අධිකරණය මගහරිනවා'

බ්‍රහස්පතින්දා පෙත්සම යළි සලකා බැලුණු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න කරුණු දක්වමින්, පෙත්සම්කාර වසන්ත කරන්නාගොඩ වෙත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සිතාසි නිකුත් කර තිබුණත් ඔහු මේ දක්වා අධිකරණයට ඉදිරිපත් නොවී හිතාමතාම අධිකරණය මගහරිමින් සිටින පුද්ගලයෙකු බව සඳහන් කළේය.

පෙත්සම්කරු පිරිසුදු දෑතින් අධිකරණය හමුවට පැමිණ නොමැති හෙයින් ඔහු ඉල්ලා සිටින සහන ප්‍රදානය කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බවත් රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා පැවසීය.

පෙත්සම්කරු නීතියට ඉහළින් සිටින පුද්ගලයෙකු නොවන බවත් ඔහුට එරෙහි නඩු විභාගය අත් හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබූවොත් අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය පලුදු වීමට එය හේතුවක් වනු ඇතැයි ද රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න පැවසීය.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ගොනු කළ රිට් පෙත්සම පසුගිය අඟහරුවාදා (ජුනි 23) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ කෙරිණ.

'නීතිමය පදනමක් නෑ'

එදින පෙත්සම සලකා බැලීමට ප්‍රථම නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, කිසිදු නීතිමය පදනමක් නොමැතිව මෙම පෙත්සම ගොනු කර තිබෙන බවය.

අග විනිසුරුවරයා විසින් පත් කරනු ලැබු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ පැවැත්වෙන මෙම නඩු විභාගය සම්බන්ධයෙන් මැදිහත් වීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

වසර 135 ක ඉතිහාසය තුළ නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනා පත්‍රයක් අභියෝගයට ලක් කරමින් මේ ආකාරයේ නඩුවක් ගොනු කර නොමැති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවසීය.

පෙත්සම්කාර වසන්ත කරන්නාගොඩ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, 2009 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් පිරිසක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ඉකුත් වසර 10 ක කාලය තුළ විමර්ශන සිදු කළත් එහිදී තම සේවාදායකයාට එරෙහිව කිසිදු සාක්ෂියක් අනාවරණය නොවූ බවය.

'සාක්ෂි නෑ'

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා වැඩිදුරටත් කරුණු දක්වමින්, නාවික හමුදාවෙන් ඉවත්ව ගොස් ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කර පසුව නාවික හමුදාපති ධූරයට පත් ට්‍රැවිස් සින්නයියා විසින් 2017 වසරේ පොලීසියට ලබා දුන් ප්‍රකාශයකින් පසුව තම සේවාදායකයා මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කෙරුණ බව සඳහන් කළේය.

2015 දී ආණ්ඩු මාරුවෙන් පසුව මෙම විමර්ශනය සිදු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්ෂ ශානි අබේසේකර ගේ උපදෙස් මත එවක එහි සමූහ මිනීමැරුම් අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා විසින් බවත් ඔහු මේ වනවිට ස්විට්සර්ලන්තයට පලා ගොස් සිටින බවත් ඔහු පැවසීය.

සිද්ධියෙන් වසර 10 කට පසුව කිසිදු සාක්ෂියක් නොමැතිව සිය සේවාදායකයා මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කිරීමට නීතිපතිවරයා ගත් තීරණය නීතියට පටහැනි බව පැවසූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා එබැවින් එම නඩුවේ විභාගය අත් හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව බ්‍රහස්පතින්දා ඉහත කී අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

කියවන්න:

චෝදනාව කුමක්ද?

කොළඹ ජාත්‍යන්තර පාසලේ (CIS) ආදි ශිෂ්‍යයකු වූ රජීව් නාගනාදන් සහ ඔහුගේ මිතුරන් සිව් දෙනෙකු අතුරුදහන්ව ඇත්තේ 2008 වසරේ සැප්තැම්බර් මස 17 වෙනිදා සිටය.

ප්‍රදීප් විශ්වනාදන්, තිලකේශ්වරන් රාමලිංගම්, ජමාල්ඩීන් ඩිලාන් සහ මොහොමඞ් සාජිත් අතුරුදන්ව සිටින සෙසු තරුණ පිරිස අතර වෙති.

2008 අගෝස්තු 08 වෙනිදා සිට සැප්තැම්බර් මස 17 වෙනිදා අතර කාලය තුළ කොටහේන, වැල්ලවත්ත, ත්‍රිකුණාමලය, මඩකලපුව ඇතුළු ස්ථාන කිහිපයකදී තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද පරීක්ෂණවලින් අනතුරුව, නාවික හමුදා නිලධාරීන් ඇතුළු චුදිතයින් පිරිසකට එරෙහිව නඩු පවරා තිබේ.

2008 සහ 2009 අවධියේ තරුණයන් එකොළොස් දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගිය බව පැවසෙන සිදුවීමට අදාළව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ චෝදනා ලබන අතර, සිය පාලන සමයේ අවසාන දිනවලදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහු නාවික හමුදාවේ ඉහළම ධුරය වන 'අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්' සම්මානයෙන් පුදනු ලැබුණි.

දෙහිවල ප්‍රදේශයේ දී දෙමළ ජාතික තරුණයන් පස් දෙනෙකු පැහැරගෙන යාමට එවක නාවික හමුදාපතිවරයා වූ වසන්ත කරන්නාගොඩගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ද සම්බන්ධ වී ඇති බවට පොලිසිය 2015 වසරේදී අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.

එම අවධියේ රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා අධිකරණය හමුවේ පවසා තිබුණේ, අදාළ පැහැරගෙන යාම් පිළිබඳව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ දැනුවත්ව සිට ඇතැයි හෙළි වී තිබෙන බවය.

තවත් ලිපි: