දෙවසරක යුද්ධයකට පසු ඇරඹුණු ගාසා සටන් විරාම සාකච්ඡාවල 'පළමු අදියර' ගැන අප මෙතෙක් දන්නා කරුණු

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ගාසාහි සටන් විරාම සාකච්ඡාවල පළමු අදියර සඳහා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකඟ වී ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
2023 ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රමුඛ තුවක්කුකරුවන්, ඊශ්‍රායල් වැසියන් 1,200 දෙනෙකු පමණ ඝාතනය කර තවත් පුද්ගලයින් 251 දෙනෙකු ප්‍රාණ ඇපයට ගත් ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායලය ගාසා තීරයේ හමුදා මෙහෙයුමක් ආරම්භ කර වසර දෙකක් සහ දින දෙකක් ගත වීමෙන් පසුව මෙය සිදුව තිබේ.
එතැන් සිට ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් හේතුවෙන් අවම වශයෙන් 67,183 දෙනෙකු මිය ගොස් ඇති අතර, ඉන් 20,179 දෙනෙකු ළමුන් බව හමාස් සංවිධානය පවත්වාගෙන යන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ගිවිසුම ගැන අප දන්නා දේ සහ තවමත් අපැහැදිලි දේ මෙන්න:
නිවේදනය කර ඇත්තේ මොනවා ද?
ඊජිප්තුවේ පැවති උණුසුම් සාකච්ඡාවලින් පසුව, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාම සැලැස්මේ පළමු කොටසට එකඟ වී ඇති බව ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවසීය.
"සියලු ප්‍රාණ ඇපකරුවන් ඉක්මනින් නිදහස් කරනු ලබන අතර, ඊශ්‍රායලය පෙර එකඟ වූ කලාපයකට තම හමුදා ආපසු කැඳවා ගන්නවා," සමාජ මාධ්‍ය ඔස්සේ මෙම එකඟතාව පිළිබඳව නිවේදනය කරමින් ට්‍රම්ප් සඳහන් කර තිබිණි.
සියලු පාර්ශවයන්ට සාධාරණ ලෙස සලකනු ඇතැයි පැවසූ ට්‍රම්ප්, "මෙය කල් පවතින සාමය කරා යන පළමු පියවර" ලෙස ද හැඳින්වීය.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එය "ඊශ්‍රායලයට විශිෂ්ට දිනයක්" ලෙස හැඳින්වූ අතර රජය බ්‍රහස්පතින්දා රැස්වී ගිවිසුම අනුමත කර "සියලු ම ප්‍රාණ ඇපකරුවන් නැවත රැගෙන ඒම සඳහා" කටයුතු කරන බව පැවසීය.
"ගාසා තීරයේ යුද්ධය අවසන් කරන බවත්, ඊශ්‍රායල හමුදා සම්පූර්ණයෙන් ම අල්ලාගෙන සිටින ප්‍රදේශවලින් ඉවත් කර ගන්නා බවත්, මානුෂීය ආධාර ලබා දෙන අතර සිරකරුවන් හුවමාරුවක් සිදු කරන බව" පවසමින් හමාස් සංවිධානය ගිවිසුම තහවුරු කර ඇත.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය ඍජුව කතා නොකළ අතර සාකච්ඡා මෙහෙයවනු ලැබුවේ, ට්‍රම්ප්ගේ මැද පෙරදිග නියෝජිත ස්ටීව් විට්කොෆ්, ට්‍රම්ප්ගේ බෑණා වන ජෙරාඩ් කුෂ්නර් සහ ඊජිප්තුව, කටාර් සහ තුර්කි මැදිහත්කරුවන් විසිනි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඊළඟට කුමක් සිදුවෙයි ද?
ඊශ්‍රායල රජය බ්‍රහස්පතින්දා සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ය.
ඔවුන් එය විධිමත් ලෙස අනුමත කළහොත්, ඊශ්‍රායලය ගාසා තීරයේ පෙර එකඟ වූ කලාපයකට තම හමුදා ඉවත් කර ගත යුතු බව ධවල මන්දිර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බීබීසීයේ ඇමරිකානු හවුල්කරු වන CBS ප්‍රවෘත්ති සේවය වෙත පැවසීය. පැය 24ක් ඇතුළත ඉවත්වීම සිදුවනු ඇතැයි එම නිලධාරියා පැවසුවේ ය.
එය සිදුවූ පසු, හමාස් සංවිධානයට ජීවතුන් අතර සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා පැය 72ක කාලයක් ලැබෙනු ඇත.
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳුදා ආරම්භ වීමට ඉඩ ඇති බව ධවල මන්දිර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
අපි නොදන්නා දේ මොනවා ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නිවේදනය කර තිබෙන්නේ, ට්‍රම්ප්ගේ කරුණු 20කින් යුත් සාම සැලැස්මේ පළමු කොටස පමණි. ඊශ්‍රායලය එය පිළිගෙන ඇති අතර හමාස් සංවිධානය අර්ධ වශයෙන් එහි අන්තර්ගතයන් සඳහා එකඟ වී ඇත.
නමුත්, නිවේදන මගින් දෙපාර්ශ්වය ම තවමත් එකඟ වී නොමැති ඇතැම් දුෂ්කර ගැටලු පිළිබඳව ආමන්ත්‍රණය කර නොමැත.
වැදගත් වන්නේ, ට්‍රම්ප්ගේ සැලැස්මේ ප්‍රධාන කොටසක් වන හමාස් සංවිධානය තම අවි අත්හැරීම පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති වීම ය. පලස්තීන රාජ්‍යයක් නිර්මාණය වූ පසු පමණක් තමන් නිරායුධ වන බව හමාස් පවසා තිබේ.
ගාසා තීරයේ අනාගත පාලනය ද තීරණාත්මක කරුණකි. ට්‍රම්ප්ගේ කරුණු 20කින් යුත් සැලැස්මේ සඳහන් වන්නේ, හමාස් සංවිධානයට තීරුවේ අනාගත භූමිකාවක් නොමැති බවත්, පලස්තීන අධිකාරියට භාර දීමට පෙර එය තාවකාලිකව "තාක්ෂණික, දේශපාලනික නොවන පලස්තීන කමිටුවක්" විසින් පාලනය කරනු ලැබිය යුතු බවත් ය.
පසුගිය සතියේ, ට්‍රම්ප්ගේ සැලැස්ම පිළිගත්ත ද, නෙතන්යාහු පලස්තීන අධිකාරියේ මැදිහත්වීමට විරුද්ධ වූ බවක් පෙනෙන්නට තිබිණි.
ගාසා තීරයේ යුදෙව් ජනාවාස නැවත ගොඩනැගීමට කැමති නෙතන්යාහුගේ පාලක සන්ධානය තුළ සිටින අන්ත ජාතිකවාදී දැඩි මතධාරීන් ද මෙම කරුණට විරුද්ධ වීමට ඉඩ තිබේ.
ගාසා තීරය පාලනය කිරීමේදී තමන් තවමත් එහි භූමිකාවක් ඉටු කිරීමට අපේක්ෂා කරන බව හමාස් සංවිධානය පවසයි.
බදාදා රාත්‍රිය වන විටත්, ප්‍රාණ ඇපකරුවන් වෙනුවට ඊශ්‍රායලය නිදහස් කිරීමට සැලසුම් කර ඇති පලස්තීන සිරකරුවන්ගේ අවසන් ලැයිස්තුව හමාස් සංවිධානයට ලැබී නොමැති බව පලස්තීන මූලාශ්‍රයක් බීබීසී වෙත පැවසීය.
කරුණු 20කින් යුත් සැලැස්මේ සඳහන් වන්නේ, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ සිරකරුවන් 250ක් සහ 2023 ඔක්තෝබර් 7න් පසු රඳවාගෙන සිටින ගාසා වැසියන් 1,700ක් නිදහස් කරන බවයි.
ප්‍රතිචාරය කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන් මෙම සටන් විරාමය පිළිගෙන තිබේ.
ප්‍රහාරයෙන් තම බිරිඳ සහ දරුවන් අහිමි වූ එලී ෂරාබි "විශාල ප්‍රීතියක්, සියලු දෙනා ම නැවත පැමිණෙන තෙක් ඉවසිල්ලක් නැහැ," යනුවෙන් සටහනක් තබා තිබිණි. හමාස් සංවිධානය එලී ෂරාබිගේ සහෝදරයා වන යොසිගේ දේහය ද රඳවාගෙන සිටියි.
"මගේ දරුවා, ඔයා ගෙදර එනවා," ප්‍රාණ ඇපකරු නිම්රොඩ් කොහෙන්ගේ මව එලෙස සටහනක් තබා තිබිණි.
මේ අතර, ගාසා තීරයේ ජනතාව එකඟතාව පිළිබඳ පුවත සතුටින් සැමරූහ. "සටන් විරාමය ගැන දෙවියන්ට ස්තූතියි, ලේ වැගිරීම් සහ ඝාතන අවසන්," ඛාන් යුනිස්හි අබ්දුල් මජීඩ් අබ්ද් රබ්බෝ උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පැවසීය.
"මම විතරක් නෙවෙයි සතුටු වෙන්නේ, ගාසා තීරයේ හැමෝට ම සතුටු යි, අරාබි ජනතාව හැමෝම, මුළු ලෝකය ම සටන් විරාමය සහ ලේ වැගිරීම් අවසන් වීම ගැන සතුටු යි."

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ලෝක නායකයින් අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ ගිවිසුමට අනුකූල වන ලෙස ය.
"දුක් වේදනා අවසන් විය යුතු යි," එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් පැවසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහය දෙන බවත්, ගාසා තීරයට අවශ්‍ය මානුෂීය සහ ප්‍රතිසංස්කරණ ආධාර වැඩි කරන බව ඔහු පැවසුවේ ය.
එක්සත් රාජධානියේ අගමැති ශ්‍රීමත් කියර් ස්ටාර්මර් මෙම පුවත පිළිගනිමින්, විශේෂයෙන් පසුගිය වසර දෙක තුළ බොහෝ සෙයින් දුක් විඳි ප්‍රාණ ඇපකරුවන්ට, ඔවුන්ගේ පවුල්වලට සහ ගාසා තීරයේ ජනතාවට එය විශාල සහනයක් බව පැවසීය.
ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් මෙම ගිවිසුම, "සාමය සඳහා බෙහෙවින් අවශ්‍ය පියවරක්" ලෙස හැඳින්වූ අතර "සැලැස්මේ නියමයන්ට ගරු කරන" ලෙස පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේ ය.
එක්සත් ජනපදයේ නීති සම්පාදකයින් ප්‍රවේශම්සහගතව ශුභවාදී ප්‍රතිචාරයක් දක්වා ඇත.
"මෙය පළමු පියවර වන අතර, යුද්ධයට කල් පවතින අවසානයක් ළඟා කරනු ඇති බව සහතික කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු ය," යනුවෙන් ඩිමොක්‍රටික් සෙනෙට් සභික ක්‍රිස් කූන්ස් Xහි සටහනක් තබමින් පැවසුවේ ය.
සෙනෙට් සභික විදේශ සබඳතා කමිටුවේ සභාපති රිපබ්ලිකන් ජේම්ස් රිෂ් පැවසුවේ, එය සාදරයෙන් පිළිගත හැකි ගිවිසුමක් ලෙස හැඳින්වූ අතර, "[එහි] වැඩිදුර තොරතුරු දැන ගැනීමට බලාපොරොත්තු වන" බව ය.
වාර්තාකරණය: රුෂ්ඩි අබුලෝෆ් සහ ලුසී මැනිං














