නිලන්ත ජයවර්ධන: පාස්කු ප්‍රහාරයේ සිට පොලිස් සේවයෙන් පහ කිරීම දක්වා සිදු වූයේ කුමක් ද?

- Author, බීබීසී සිංහල
2019 වසරේ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ රාජකාරී පැහැර හැරීමේ චෝදනා මත විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අනිවාර්ය නිවාඩු යවා සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, පොලිස් සේවයෙන් නෙරපා හැරීමට ජාතික පොලිස් කොමිසම තීන්දු කර තිබේ.
පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එම නිලධාරියා සිය රාජකාරිය පැහැර හැරීමට අදාළව කොමිසම පැවැත්වූ විනය පරීක්ෂණයට අනුව සියලු චෝදනාවලට ඔහු වරදකරු බව පවසමින් ජාතික පොලිස් කොමිසම මෙම තීන්දුව ගත් බව නිවේදනය කර ඇත.
නිවේදනයේ දැක්වෙන්නේ කුමක් ද?
"ඔහු විසින් කරන ලද වරදේ තීව්‍රතාවය සැලකිල්ලට ගෙන ආයතන සංග්‍රහයේ ii කාණ්ඩයේ XLVIII වන පරිච්ඡේදයේ 24:3:1 වගන්තිය පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට 2025.07.17 දින පැවති ජාතික පොලිස් කොමිෂන් සභා සැසිවාරයේදී තීරණය කරන ලදී," යැයි ජාතික පොලිස් කොමිසම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
"1. විධිමත් විනය පරීක්ෂණ වාර්තාව අනුව චෝදනා පත්‍රයේ සඳහන් සියලු චෝදනා සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අනිවාර්ය නිවාඩු ගන්වන ලද), නිලන්ත ජයවර්ධන මහතා වරදකරු බවත්,
2. ඉහත චෝදනා ආයතන සංග්‍රහයේ ii වන කාණ්ඩයේ සඳහන් රාජ්‍ය නිලධරයන් විසින් සිදු කළ හැකි වරදවල් සම්බන්ධව පළමු වන උපලේඛනය යටතට ගැනෙන වැරදි බවත්," යන කරුණු සැලකිල්ලට ගෙන නිලධාරියා චෝදනා පත්‍රයේ සදහන් සියලු චෝදනාවලට වැරදිකරු බව එහිදී තීරණය කර ඇත.
මේ දක්වා සිදු වූයේ කුමක් ද?
'අධිකරණයෙන් උපරිම දඬුවම දෙන්න': කතෝලික සභාවෙන් ඉල්ලීමක්
සේවයෙන් පහ කරන ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන තවදුරටත් නීතිය හමුවට පමුණුවා පරීක්ෂණ ඉදිරියට කරගෙන යන ලෙස කතෝලික සභාව ඉල්ලා සිටියි.
"අපි කියනවා අධිකරණයෙන් උපරිම දඬුවම ඔහුට දෙන්න. මොක ද ජනතාවගේ බදු මුදල්වලින් තමන්ගේ ජීවිකාව ගෙන යන තමන්ගේ පඩිය ලබන මෙවැනි නිලධාරීන්ට ලොකු වගකීමක් තියෙනවා ජනතාව ආරක්ෂා කරන්නට. ඒක සමාන්‍ය පුද්ගලයෙක් කරපු වැරැද්දක් නෙමෙයි. බුද්ධි අංශ ප්‍රධානියෙක් තමන්ට බුද්ධි තොරතුරු ලැබිලත් ඒක නිසි කළමණාකරණය කරන්නේ නැතිව සිටීම මාගේ හැඟීම අනුව නම් ජීවිතාන්තය දක්වා නෙමෙයි මරණ දඬුවම දිය යුතු ම දඬුවමක්," යැයි කොළඹ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පැවසීය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාවේ සඳහන් නිර්දේශ අනුව සහ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේ වාර්තාව අනුව වගකීම් පැහැර හැර ඇතැයි නිර්දේශ කර විනය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කර ඇති සියලු දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ඉල්ලා සිටියේ ය.

















