'ජනතාව ප්‍රවෘත්තිවලින් ඈත් වෙමින් සිටිනවා' වාර්තාවක් හෙළි කරයි

A woman and child walk among debris in Nuseirat refugee camp in the central Gaza Strip, June 9, 2024.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, රොයිටර්ස් ආයතනයේ වාර්තාව යෝජනා කරන්නේ ගාසා තීරයේ යුද්ධය නිසා සමහර පුද්ගලයින් ප්‍රවෘත්ති මඟහරින බවයි
    • Author, නූර් නන්ජි
    • Role, සංස්කෘතික වාර්තාකරු

ප්‍රවෘත්ති නිසා මානසික පීඩනය, ක්‍රෝධය සහ වෙහෙසකරභාවය ඇති වන බව පවසමින්, ජනතාව විශාල වශයෙන් ප්‍රවෘත්තිවලින් ඈත් වෙමින් සිටින බව ගෝලීය අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ රොයිටර්ස් ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, ලොව පුරා ජනතාව අතරින්, සෑම 10 දෙනෙකුගෙන් 4 දෙනෙකු ම (39%) ඇතැම්විට හෝ නිරන්තරයෙන් ප්‍රවෘත්ති මග හරින බව පවසා තිබේ. එම අගය 2017 වසරේදී පැවතියේ, 29%ක් ලෙස ය.

වාර්තාවේ කර්තෘවරුන් පවසන්නේ, ප්‍රවෘත්ති ප්‍රතික්ෂේප කිරීම සඳහා ජනතාව තුළ ඇති වී තිබෙන කැමැත්තට යුක්‍රේනයේ සහ මැද පෙරදිග පවත්නා යුද්ධ දායක වන්නට ඇති බව ය.

ප්‍රවෘත්ති මග හැරීම මේ වන විට වාර්තාගත ඉහළ මට්ටමක පවතින බව එහි සඳහන් වේ.

මේ වසරේ Digital News Report නමැති වාර්තාව සඳහා ජනවාරි සහ පෙබරවාරි මාසවලදී රටවල් 47ක් පුරා වැඩිහිටියන් 94,943 දෙනෙක් සමීක්ෂණයට ලක් කොට තිබේ.

මෙම වාර්තාව නිකුත් වූයේ, ලොව පුරා ජනතාව බිලියන ගණනක් ජාතික සහ ප්‍රාදේශීය මැතිවරණ සඳහා ඡන්දය පාවිච්චි කරමින් සිටින මොහොතක ය.

වාර්තාවෙන් අනාවරණය වී ඇත්තේ, ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක මැතිවරණ හේතුවෙන් ප්‍රවෘත්ති කෙරෙහි අවධානය වැඩි වී ඇති බව ය.

කෙසේ වෙතත්, අධ්‍යයනය අනුව, සමස්ත ප්‍රවණතාව ස්ථාවර ලෙස පහළ යමින් පවතී‍.

ප්‍රවෘත්ති සඳහා ඉතාමත් හෝ අතිශයින් උනන්දුවක් දක්වන බවට 2017 වසරේදී 63%ක්ව පැවති ප්‍රතිශතය මේ වනවිට 46%ක් දක්වා පහත බැස තිබේ.

එක්සත් රාජධානිය තුළ ප්‍රවෘත්ති සඳහා ඇති උනන්දුව 2015 වසරේ සිට අඩකින් පමණ අඩුවී තිබේ.

"මෑත වසරවලදී ප්‍රවෘත්ති න්‍යාය පත්‍රය පැහැදිලිව ම දුෂ්කර වී තිබෙනවා," අදාළ අධ්‍යයන වාර්තාවේ ප්‍රධාන කර්තෘ නික් නිව්මන් බීබීසී පුවත් සේවයට පැවසීය.

"වසංගත [සහ] යුද්ධ තිබුණා. ඒ නිසා ජනතාව ඔවුන්ගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගන්න එහෙම නැත්නම්, ඔවුන්ගේ ජීවිතයේ ඉතිරි කාලය ගත කරන්න ප්‍රවෘත්තිවලින් ඈත් වීම තරමක් ස්වාභාවික ප්‍රතිචාරයක්."

Former US President Donald Trump speaks during a campaign event at Sunset Park in Las Vegas, Nevada, US, on Sunday, June 9, 2024.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපාරය ප්‍රවෘත්ති ගැන ජනතාව තුළ ඇති උනන්දුව ඇති කිරීමට වැඩි පිරිසක් පොළඹවා ඇත

නිව්මන් පැවසුවේ, ප්‍රවෘත්ති තෝරා බේරා ගන්නා සහ මග හරින පුද්ගලයින් බොහෝ විට එසේ කරන්නේ ඔවුන්ට "බලයක් නැතැයි" වන හැඟීමක් පවතින බැවින් බවයි.

"මේ අය ලෝකයේ සිදුවන දැවැන්ත දේවල් සම්බන්ධයෙන් තමන්ට නියෝජනයක් නොමැති බව සිතන අය යි," ඔහු පැවසීය.

ඇතැමුන්ට හැඟෙන්නේ, තමන් වටා ඇති ප්‍රවෘත්ති කන්දරාවෙන් යටපත්ව සහ ව්‍යාකූලත්වයට පත්ව සිටින බව යි, ඔහු සඳහන් කළේ ය.

වාර්තාවට අනුව, තමන් වටා ඇති ප්‍රවෘත්ති ප්‍රමාණයෙන් කාන්තාවන් සහ තරුණ පුද්ගලයින් වෙහෙසට පත්වීමට වැඩි ඉඩක් තිබේ.

මේ අතර, ප්‍රවෘත්ති පිළිබඳ විශ්වාසය 40%ක් ලෙස ස්ථාවර අගයක පවතින නමුත්, එය කොරොනා වෛරස් වසංගතයේ උච්චතම අවස්ථාවට වඩා තවමත් 4%ක අඩු අගයක් බව අධ්‍යයනයෙන් යෝජනා කර තිබේ.

එක්සත් රාජධානිය තුළ, ප්‍රවෘත්ති පිළිබඳ විශ්වාසය මේ වසරේ 36%ක් ලෙස සුළු වශයෙන් ඉහළ ගොස් ඇති නමුත්, 2016 බ්‍රෙක්සිට් ජනමත විචාරණයට පෙර පැවති ප්‍රමාණයට වඩා 15%කින් පමණ අඩු මට්ටමක පවතී.

එක්සත් රාජධානිය තුළ වැඩි ම විශ්වාසයක් හිමි වී ඇත්තේ බීබීසී පුවත් සේවයට වන අතර, චැනල් 4 සහ ITV ඊට පසුපසින් සිටී.

TikTok, Twitter අභිබවා යයි

A boy looks at the TikTok app on a smartphone

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විශේෂයෙන් තරුණයින් අතර TikTok භාවිතයේ වැඩි වීමක් දක්නට ලැබේ
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

රූපවාහිනී සහ මුද්‍රිත මාධ්‍ය වැනි සාම්ප්‍රදායික ප්‍රවෘත්ති මූලාශ්‍ර සඳහා වන ප්‍රේක්ෂකත්වය පසුගිය දශකයක කාලය තුළ තියුණු ලෙස පහත වැටී ඇති බවත්, තරුණ ප්‍රජාව ඔන්ලයින් හෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති ලබා ගැනීමට වැඩි කැමැත්තක් දක්වන බවත් එම වාර්තාවෙන් ආනාවරණය කර තිබේ.

එක්සත් රාජධානිය තුළ, ජනතාවගෙන් හතරෙන් තුනක් ම පාහේ (73%) පැවසුවේ, ඔවුන් ඔන්ලයින් ඔස්සේ ප්‍රවෘත්ති ලබා ගන්නා බව ය. රූපවාහිනියෙන් ප්‍රවෘත්ති ලබා ගන්නා පිරිස 50%ක් වන අතර මුද්‍රිත මාධ්‍යයෙන් ප්‍රවෘත්ති ලබා ගන්නා පිරිස 14%කි.

දීර්ඝ කාලීන පහත වැටීමක් පැවතිය ද, ප්‍රවෘත්ති සඳහා තවමත් අතිශය වැදගත් සමාජ මාධ්‍ය වේදිකාව වන්නේ, ෆේස්බුක් ය.

යූටියුබ් සහ වට්ස්ඇප් බොහෝ දෙනෙකු අතර වැදගත් ප්‍රවෘත්ති මූලාශ්‍රයක් ලෙස පවතින අතර, ඉහළ යමින් පවතින ටික්ටොක් පළමු වරට X (Twitter ලෙස පැවති) අභිබවා ගොස් තිබේ.

X භාවිත කරන 10% හා සසඳන විට පුද්ගලයින්ගෙන් 13%ක් ප්‍රවෘත්ති සඳහා මෙම වීඩියෝ පළ කිරීමේ යෙදුම භාවිත කරයි.

TikTok භාවිත කරන්නන්ගේ අගය ගෝලීය වශයෙන් අවුරුදු 18-24 අතර ළමුන් සඳහා ඊටත් වඩා වැඩි අගයක් ගන්නා අතර එය 23%කි.

Labour Party leader Keir Starmer (L) and Prime Minister Rishi Sunak speak on stage during the first head-to-head debate of the General Election on June 4, 2024 in Salford

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වාර්තාවේ කතුවරුන් කියා සිටියේ ප්‍රවෘත්තිවල “ඕනෑවට වඩා දේශපාලනයක්” ඇති බව සමහරුන්ට හැඟෙන බවයි

මෙම වෙනස්වීම් පිළිබඳව සලකා බැලීමේදී, විශේෂයෙන් තරුණ කණ්ඩායම් අතර ඔන්ලයින් ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ඇති වැදගත් මූලාශ්‍රයක් බවට වීඩියෝ පත්වෙමින් තිබේ.

වාර්තාවට අනුව, කෙටි ප්‍රවෘත්ති වීඩියෝවලට වැඩි ම ආකර්ෂණයක් ඇත.

"පාරිභෝගිකයින් වීඩියෝ පාවිච්චි කරන්නේ ඒවා පාවිච්චි කරන එක පහසු නිසා සහ පුළුල් පරාසයක අදාළ සහ සිත් ඇදගන්නා අන්තර්ගතයන් සපයන නිස යි," නිව්මන් පැවසීය.

"ඒත් ගොඩක් සාම්ප්‍රදායික ප්‍රවෘත්ති කාමර තවමත් පෙළ-පාදක කර ගත් (text-based) සංස්කෘතියක් තුළ මුල් බැසගෙන සිටින අතර, ඒවා කතන්දර කීමේ ක්‍රමයෙන් මිදීමේ අරගලයක නිරත වෙනවා."

ප්‍රවෘත්ති සපයන්නන් සඳහා, පොඩ්කාස්ට් කිරීම වැදගත් කාර්යයකි.

එහෙත්, එය මූලික වශයෙන් මනාව උගත් ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරන "සමස්ත සුළුතර ක්‍රියාකාරකමකි."

මේ අතර, වාර්තාකරණයේදී, විශේෂයෙන් ම දේශපාලනය හෝ යුද්ධය වැනි රළු ප්‍රවෘත්ති සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව පුළුල් මහජන සැකයක් ඇතැයි වාර්තාව අනාවරණය කළේ ය.

"මාධ්‍යවේදීන් වෙනුවට කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම වෙනුවට ඉන් සහයක් ලබා ගනිමින් පිටපත් කිරීම සහ පරිවර්තනය වැනි තිරය පිටුපස කාර්යවලදී කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් වැඩි පහසුවක් ලැබෙනවා," එම වාර්තාව තවදුරටත් සඳහන් කර තිබේ.