සා. පෙළ විෂය 6ක් වෙයි ද? පාසල් අධ්‍යාපනයෙන් සෞන්දර්ය බැහැර වෙයි ද? නව ප්‍රතිසංස්කරණ මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- "අධ්‍යාපනය යනු ලෝකය වෙනස් කිරීමට භාවිත කළ හැකි වඩාත් බලවත් ම අවිය යි" - නෙල්සන් මැන්ඩෙලා
- "හෙට මැරෙන බව සිතා ජීවත් වන්න. සදාකාලිකව ජීවත් වන බව සිතා ඉගෙන ගන්න" - මහත්මා ගාන්ධි
- "වැඩි ම පොළියක් ලැබෙනු ඇත්තේ, අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනයකිනි" - බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්
- "තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා - උගත මනා ශිල්පයමයි මතු රැකෙනා" - වදන් කවි පොත
ඉහත සෑම උපුටනයකින් ම අවධාරණය කරනුයේ, අධ්‍යාපනය ලැබීමේ ඇති වැදගතකම පිළිබඳව ය.
වර්තමානය වන විට අධ්‍යාපනය සම්බන්ධයෙන් ලෝකයේ පර්යේෂණ රැසක් සිදු කර ඇති අතර, බොහෝ දියුණු රටවල් දරුවන්ට සුදුසු අධ්‍යාපන ක්‍රම අනුගමනය කරමින් සිටී.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්‍රමය සම්බන්ධයෙන් දිගු කාලයක් තිස්සේ විවිධ විවේචන එල්ල වෙමින් තිබේ.
බොහෝවිට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්‍රමය සම්බන්ධයෙන් එල්ල වන සුලභ චෝදනාවක් වනුයේ, දරුවන්ගේ නිර්මාණශීලීත්වය අගැයීම වෙනුවට ඔවුන්ගේ මතක ශක්තිය මැන බැලෙන අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වන බව ය.
මේ වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ, මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2025 වසරේ මුල් වාරයේ සිට ක්‍රියාත්මක කරන බව ය.
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මොනවා ද?
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් සෑම දරුවකුට ම අවුරුදු 17දී පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.
මේ යටතේ, පාසල් අධ්‍යාපනය ප්‍රාථමික අංශය 1-5 දක්වාත්, කනිෂ්ඨ අංශය 6-8 ලෙසත්, ජ්‍යෙෂ්ඨ අංශය 9 වසරේ සිට 12 වසර දක්වාත් වර්ගීකරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පාසල් පාදක ඇගැයීම්වලින් යම් ප්‍රතිශතයක් ද, විභාග මගින් යම් ප්‍රතිශතයක් ද ලෙස ලකුණු ලබා දීමට යෝජනා කර ඇති අතර, ශිෂ්‍යත්ව විභාගය සරල කර තරගකාරිත්වය අඩු කිරීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කර තිබේ.
සාමාන්‍ය පෙළ විභාගයේ විෂයයන් සංඛ්‍යාව අඩු කිරීම
මෙම නව ප්‍රතිසංස්කරණ මගින් සිදු කිරීමට යන සුවිශේෂී ප්‍රතිසංස්කරණයක් වන්නේ, සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉගැන්වෙන විෂයයන් සංඛ්‍යාව 9 සිට 7 දක්වා අඩු කිරීම ය.
සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණීයේදීත්, උසස් පෙළ විභාගය 12 ශ්‍රේණියේදීත් පැවැත්වීමට, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කර ඇත.
එහිදී දැනට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පවතින විෂයයන් සංඛ්‍යාව 7 දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ.
එම විෂයයන් 7 තුළ තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණය (ICT), තාක්ෂණික හා වෘත්තීය කුසලතා සහ ආගමික හා සාරධර්ම යන විෂයයන් ත්‍රිත්වය හැදෑරීම අනිවාර්ය කිරීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු පැවසූහ.
2023 වසරේ දෙසැම්බර් 5 වන දා පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අය-වැය සඳහා 2023 වර්ෂයේ ප්‍රගතිය හා 2024 වර්ෂයේ සැලසුම් ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී ද මේ බව සඳහන් කෙරිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
STEAM අධ්‍යාපන ක්‍රමවේදය
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දියුණු රටවල ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමවේදයක් වන STEAM ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය එස්. අර්වින්ද් කුමාර් බීබීසී සිංහල සේවයට පැවසීය.
ලොව පුරා දියුණු රටවල ක්‍රියාත්මක වන STEAM ක්‍රමවේදය යන්නෙහි, S.T.E.A.M. යන අකුරුවලින් හැඟවෙන ක්ෂේත්‍රයන් මෙසේ ය.
විද්‍යාව (Science)
තාක්ෂණය (Technology)
ඉංජිනේරු (Engineering)
කලා (Arts)
ගණිතය (Mathematics)
මෙම ක්‍රමවේදය මීට පෙර ක්‍රියාත්මක වූ S.T.E.M. ක්‍රමවේදයෙහි පරිණාමයක් ලෙස සැලකේ. මෙම ක්‍රමය යටතේ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය යන විෂයයන් අතරට කලා විෂයයන් ද ඇතුළත් කර තිබේ.
මෙම ක්‍රමවේදය, දරුවන්ගේ ප්‍රායෝගික කුසලතා වර්ධනය කිරීම, රාමුවෙන් පිට සිතීමට පුහුණු කිරීම ආදී අරමුණු ඉලක්ක කර ගත් ක්‍රමවේදයකි.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය එස්. අර්වින්ද් කුමාර් ප්‍රකාශ කළේ, අනාගතයේ නිර්මාණය වන නව රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරමින් මෙම නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බව ය.
සෞන්දර්ය විෂයයන් පාසලෙන් ඉවත් වෙයි ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාසල් විෂය ධාරාවෙන් සෞන්දර්ය විෂයයන් ඉවත් කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බවට ඇතැම් පාර්ශව චෝදනා කරයි.
ඒ සම්බන්ධයෙන් පාසල් සුරැකීමේ සංවිධානය ඇතුළු සංගම් කිහිපයක් පසුගිය දා විරෝධතාවල ද නිරත වූ අයුරු දැක ගත හැකි විය.
එහෙත්, පසුගිය ජූලි මස 16 වන දා නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, එය සාවද්‍ය චෝදනාවක් බව ය.
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය පෙළ අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බව ද එහි සඳහන් විය.
කනිෂ්ඨ, ද්විතියික අධ්‍යාපනයේ හා ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපන මට්ටම්වලදී සෞන්දර්ය විෂයයන් වැඩිදුරටත් අධ්‍යයනය කළ හැකි අතර අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ සඳහා ද සෞන්දර්යය විෂයයන් සඳහා ළමුන්ට පෙනී සිටිය හැකි බව එම නිවේදනයේ දැක්විණි.
කෙසේ වෙතත්, ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් අමිල සඳරුවන් බීබීසී සිංහල සේවයට පැවසුවේ, සාමාන්‍ය පෙළ විභාගය සඳහා නිර්දේශිත විෂයයන් සංඛ්‍යාව 7 දක්වා අඩු කිරීමේදී සෞන්දර්ය විෂයයන් ඉවත් කෙරෙනු ඇති බව ය.
දරුවෙකුගේ වර්ධනයට සහ ඔහුගේ පැවැත්මට සෞන්දර්ය විෂයයන් ඉගෙන ගැනීම අනිවාර්යයෙන් කළ යුතු බව ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර, සමාජ මාධ්‍ය හරහා සිදු කෙරෙන විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ ද, පාසල් අධ්‍යාපනයෙන් සෞන්දර්ය විෂයයන් ඉවත් කිරීමේ උත්සහයක් පවතින බවට මතයක් ගොඩ නැගෙමින් තිබේ.
කෙසේ වෙතත්, සෞන්දර්ය විෂයයන් අනිවාර්ය විෂයයන්ගෙන් ඉවත් කිරීම අනුමත කරන පිරිසක් ද සිටිති.
කෙසේ වෙතත්, සාමාන්‍ය පෙළ විෂයයන් සංඛ්‍යාව 7 දක්වා අඩු කිරීම පිළිබඳව බොහෝ දෙමාපියන් දක්වන්නේ, යහපත් ප්‍රතිචාරයකි.
මේ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී දෙමාපියන් බොහෝ පිරිසක් පැවසුවේ, දරුවන්ට විෂයයන් වැඩි සංඛ්‍යාවක් ඉගෙන ගැනීමට සිදුවීම අනවශ්‍ය බරක් බව ය.
"ඇත්තට ම විෂයයන් ගණන අඩු වෙන එක ගොඩක් හොඳයි. ළමයින්ට ලොකු බරක් අඩු වෙනවා ඒකෙන්. අඩු තරමින් ළමයින්ගේ බෑග් එකේ බරවත් අඩු වෙයි. සමහර විෂයයන් තියෙනවා, ඒවා ඉගෙන ගන්නෙ සාමාන්‍ය පෙළට විතර යි," පානදුර ප්‍රදේශයේ පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙකුගේ මවක් බීබීසී සිංහල සේවයට පැවසීය.
ජාතික අධ්‍යාපන ආයතනයේ මත විමසුම
2018 වසරේදී ජාතික අධ්‍යාපන ආයතනය සිදු කළ මත විමසුමක් පිළිබඳව පළ කෙරුණු 'යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා සබැඳි මත විමසුම' මැයෙන් යුත් වාර්තාවෙන් නිර්දේශ කර ඇත්තේ, සාමාන්‍ය පෙළ විෂයයන් සංඛ්‍යාව 6ක් දක්වා අඩු කළ යුතු බවට ය.
එම වාර්තාවේ මෙසේ දැක්වේ.
'වර්තමානයේදී අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිටින ශිෂ්‍යයෙකුට විෂයයන් නවයකට පෙනී සිටීමට සිදුවේ. ඉගෙනුම අතින් බලන කල මේ විෂයකට තැබෙන බර එකිනෙකට වෙනස් වන්නේ වී නමුදු සමස්ත විභාග කාර්ය භාරය සිසුන්ගෙන් බහුතරයකට කායික වශයෙන් සේ ම චිත්තවේගීය වශයෙන් ද නොදැරිය හැකි බරක් බව පෙනී යන්නේ ය. ගෝලීය පහසුකම් දර්ශක සලකන කල්හි වෙනත් රටවල අ.පො.ස. (සා. පෙළ) ශිෂ්‍යයෙකු පෙනී සිටිය යුතු විෂය සංඛ්‍යාව පහක් හෝ හයක් වේ.'
දැනුම වෙනුවට ප්‍රඥාව වර්ධනය කරන අධ්‍යාපන ක්‍රමයක්
මේ අතර, ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන වේගා මෝටර් රථය නිෂ්පාදනය කළ කෝඩ්ජෙන් ආයතනයේ නිර්මාතෘ සහ හිමිකරු වන ආචාර්ය හර්ෂ සුබසිංහ පෙන්වා දෙන්නේ, දැනුම පදනම් කර ගත් අධ්‍යාපන යුගය අවසන් වී ඇති බව ය.
ඒ වෙනුවට, ප්‍රඥාව මූලික කර ගත් යුගයකට කාලය එළඹ ඇතැයි ඔහු පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Harsha subasinghe | Facebook
ඒ සම්බන්ධයෙන් ChatGPT ඔස්සේ ලබා ගත් ප්‍රතිචාරයක් ද ඔහු සිය ෆේස්බුක් පිටුවෙහි පළ කර තිබිණි.














