අලුත් යුද හමුදාපති සහ නාවික හමුදාපති කවුද?

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ නාවික හමුදාවේ නව හමුදාපතිවරු අද (දෙසැම්බර් 31වැනිදා) වැඩ භාර ගත්හ.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් යුද්ධ හමුදාපති ධුරය සඳහා ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගො සහ නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් කාංචන බානගොඩ පත් කරන ලදී.
ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගො කවුද?
ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගො මෙරට 25 වන යුද්ධ හමුදාධිපති ලෙස, යුද්ධ හමුදා මූලස්ථානයේ දී අද (දෙසැම්බර් 31) දින සිය ධූරයේ රාජකාරි භාර ගත්තේය.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගො වර්ෂ 1989 ජනවාරි මස 20 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 31 යටතේ, යුද්ධ හමුදා නිත්‍ය බලකායට බැඳී එතුමන් දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය සහ ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික පුහුණුව සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙත අනුයුක්ත කෙරිණි.
කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ඔහු පාසැල් වියේ දී අධ්‍යාපනික හා විෂය බාහිර ක්‍රියාකාරකම් දෙකෙහිම දස්කම් දැක්වීය. ඔහු ජවසම්පන්න ක්‍රීඩකයෙකු වූ අතර අඛණ්ඩව වසර තුනක් විද්‍යාලයීය ශිෂ්‍ය නායකයෙකු ලෙස කටයුතු කර ඇත. ඔහු පාසැලේ ක්‍රිකට්, පැසිපන්දු සහ රග්බි නායකත්වය දැරූ අතර පාසල් මලල ක්‍රීඩා කණ්ඩායමේ සාමාජිකයෙකු ද විය.
වසර 36 ක කීර්තිමත් හමුදා දිවිය තුළ දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගො, අණ හා මාණ්ඩලික සහ උපදේශක පත්වීම් ගණනාවක් හොබවා ඇත. ඔහු දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරී අධ්‍යයන මධ්‍යස්ථානයේ පුහුණු කණ්ඩායම් ප්‍රධානී සහ ප්‍රධාන උපදේශක, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක සහ පුහුණු කණ්ඩායම් ප්‍රධානී, යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ, 66 පාබල බලසේනාවේ බලසේනාධිපති, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක, ආරක්‍ෂක සේනා ආඥාපති (මධ්‍යම), ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ආදී තනතුරු රැසක්ද හොබවා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Army
එසේම යුද්ධ හමුදාපතිධූරයට පත්විමට පෙර ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍යය මාණ්ඩලික ප්‍රධාන තනතුර හෙබ වූ අතර ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක ධූරයද හෙබවූයේය.
එමෙන්ම වොෂින්ටනයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ප්‍රතිත්‍රස්ථ සහයෝගීතා වැඩසටහනේ උපායමාර්ගිය ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරක්ෂක සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ විද්‍යාපති උපාධිය, එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ඒකාබද්ධ වෘත්තීය සංග්‍රාමික අධ්‍යයන ඩිප්ලෝමා පාඨමාලා අදියර II යටතේ උසස් අධ්‍යයනය, දීර්ඝ කාලීන කාලතුවක්කු මාණ්ඩලික පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ලික පාඨමාලාව ආදී දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගො, වොෂින්ටනයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ප්‍රතිත්‍රස්ථ සහයෝගීතා වැඩසටහනේ හොඳම විදේශ ශිෂ්‍යයා සම්මානය සඳහා තෝරා ගැනීම ඔහුගේ වෘත්තීය ජීවිතයේ විශේෂ ජයග්‍රහණයක් විය.
එමෙන්ම ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දැමීමේ සටනේ දී සතුරා හමුවේ දැක්වූ විශිෂ්ටත්වය නිසාම එතුමන් රණ ශූර පදක්කමෙන් පිදුම් ලබා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Navy
වයිස් අද්මිරාල් කාංචන බානගොඩ කවුද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වයිස් අද්මිරාල් නිලයට උසස් කෙරුණු කාංචන බානගොඩ අද (දෙසැම්බර් 31) ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාධිපතිවරයා ලෙස වැඩ භාර ගනු ලැබීය.
හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් අභිනව නාවික හමුදාධිපති වෙත නාවික හමුදා සාම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපති ගේ අසිපත පිරිනැමීම සහ රාජකාරී භාර දීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණු අතර, අභිනව නාවික හමුදාධිපති වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන ආචාර මුරයක් මඟින් ආචාරය පිරිනැමීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ සහ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, 1989 සැප්තැම්බර් මස 15 වැනි දින 19 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක්වි නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථක ලෙස අවසන් කර එක්සත් රාජධානියේ ඩාට්මත් නාවික විද්‍යාපීඨය (Britannia Royal Naval College – Dartmouth UK) වෙතින් අන්තර්ජාතික මධ්‍ය නිලධාරී පුහුණු පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර, 1991 වර්ෂයේ උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් විය.
ඔහු, සිය උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාළාව 1994 වර්ෂයේ නාවික හා සාගරික විද්‍යාපීඨය වෙතින්ද, 2000 වර්ෂයේදී දියයට මුහුදු සංග්‍රාමික දීර්ඝ පාඨමාලාව (Anti-Submarine Warfare - ASW) ඉන්දීය නාවික නෞකා වෙන්දුර්තිහී දියයට මුහුදු සංග්‍රාමික පුහුණු පාසල වෙතින්ද සාර්ථකව හදාරා ඇත.
එමෙන්ම, බංගලාදේශ අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් 2009 වර්ෂයේදී අණ හා මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර ඇති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, 2019 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේ වොලොන්ග්ගොන්ග් විශ්ව විද්‍යාලයෙන් සමුද්‍රීය ප්‍රතිපත්ති පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද, 2022 වර්ෂයේදී ජාතික ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යනය පාඨමාලාව කොළඹ ජාතික ආරක්‍ෂක විද්‍යායතනය වෙතින්ද සාර්ථකව හදාරා ඇති අතර, කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය හා ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති (මානව සම්පත් කලමනාකරණය) උපාධිය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ද හදාරා ඇත.
සිය වෘත්තීය ජීවිතයේ ක්‍රමාණුකූලව උසස් වීම් ලබමින්, 2022 වර්ෂයේ මැයි මස 04 වැනි දින රියර් අද්මිරාල් නිලයටත්, 2024 දෙසැම්බර් මස 31 වැනි දින වයිස් අද්මිරාල් නිලයටත් උසස් විම් ලද ඔහු, සිය 34 කට අධික සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිලතල රාශියක් දරා ඇත.
ඒ අනුව, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා හා ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන්ද, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු නිලධාරීන්ගේ උපදේශක වශයෙන් දෙවතාවක්ද, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපදේශක නිලධාරී වරයෙක් වශයෙන් ද සහ සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක කාර්යය මණ්ඩලයට අනුයුක්තව දෙවතාවක් ද, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික පුහුණු, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු කපිතාන්, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පුහුණු කණ්ඩායම් ප්‍රධානී, අධ්‍යක්‍ෂ නාවික පුහුණු, වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු, ගිණිකොණ නාවික විධානයේ ආඥාපති, උතුරු මැද නාවික විධානයේ ආඥාපති, උතුරු නාවික විධානයේ ආඥාපති සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කල වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, නාවික හමුදාධිපති වශයෙන් පත්වීමට පෙර, 2024 අගෝස්තු මස 16 වැනි දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් රාජකාරී කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
තිස් වසරකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය පිටුදැකීමේ මානුෂීය මෙහෙයුම් සඳහා සක්‍රීයව දායකවී සතුරාට එරෙහිව සිදුකළ නිර්භීත ක්‍රියා වෙනුවෙන් රණ සූර පදක්කම ද, අගනා සේවය, නොකැළැල් චරිතය සහ රාජකාරියට කැපවීම වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලබා ඇති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ , ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව මඟින් ගැඹුරු මුහුදේදී සිදුකල මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් යාත්‍රා තුනක් සමඟ එහි ගමන්ගත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම වෙනුවෙන්, නාවික හමුදාපති විසින් සේවය ඇගයීමට ලක්කර ප්‍රශංසාවක්ද පිරිනමා ඇත.
වයිස් අද්මිරාල් කාංචන බානගොඩ එක්සත් රාජධානියේ නාවික ආයතනයේ සාමාජිකයෙකු වශයෙන් සේවය ලබාදෙන අතර, මුළු දිවයින සඳහා සාමදාන විනිශ්චයකාරවරයෙක් ලෙසද පත් කර ඇත.













