ආරුගම්බේ ආරක්ෂක තර්ජනය ගැන ඇමති හෙළි කළ කරුණු

- Author, දිනුක් හේවාවිතාරණ
- Role, බීබීසී සිංහල
ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාවට තර්ජනයක් වනු ඇති බවට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී අද (ඔක්තෝබර් 24 වන දා) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දේශීය පුද්ගලයින් බව ද ඔහු මෙහිදී සඳහන් කළේ ය.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ, ජනාධිපතිවරණයට පෙර සිට විදේශීය බුද්ධි අංශවලින් මෙම අනතුරු ඇඟවීම ලැබී තිබූ බව ය.
අනතුරුව මේ මස මුලදී ද විදේශීය බුද්ධි අංශවලින් මෙම තොරතුරු ලැබී තිබුණු බව ඔහු සඳහන් කළේ ය.
මෙය පාස්කු ප්‍රහාරය මෙන් තර්ජනයක් නොව, ඊශ්‍රායාල් ජාතකයින් ඉල්ල කර ගත් තර්ජනයක් බව ද විජිත හේරත් අමාත්‍යවරයා පැවසීය.
දැනට මෙරට සිටින ඊශ්‍රායල් ජාතිකයින් සංඛ්‍යාව 575කි.
අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරගෙන යන බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.
ඊශ්‍රායල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දුරකතන අංකයක්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මේ අතර, ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල් ජාතිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ක්‍රියාමාර්ගයක් ගෙන ඇතැයි පොලිසිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල් ජාතිකයින්ට හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් දැනුම් දීම සඳහා විශේෂ දුරකතන අංකයක් ලබා දී ඇති බව ය.
ඒ අනුව, හදිසි අවශ්‍යතාවකදී 0718592651 යන දුරකතන අංකයෙන් සංචාරක හා නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී වෙත දැනුම් දිය හැකි බව ය.
මේ අතර, අදාළ ආරක්ෂක තර්ජනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ඔක්තෝබර් 24 පෙරවරුවේ පොලිසිය පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, කොළඹ සහ යාපනය ප්‍රදේශවලදී එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
විදේශීය සංචාරකයින් අතර ජනප්‍රිය ගමනාන්තයක් වන අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සිය පුරවැසියන්ට දැනුම් දෙමින් ශ්‍රී ලංකාවේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් ඔක්තෝබර් 23 වන දා නිවේදනයක් නිකුත් කරනු ලැබී ය.
ආරුගම්බේ ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු ඇඟවීමේ විශ්වසනීය තොරතුරු තානාපති කාර්යාලයට ලැබී ඇති බව එම කාර්යාලය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
එම නිවේදනයේ දැක්වෙන්නේ, සිය කාර්ය මණ්ඩලයට මෙන් ම ශ්‍රී ලංකාවේ වෙසෙන ඇමෙරිකානු පුරවැසියන්ට ද ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසට උපදෙස් නිකුත් කර ඇති බව ය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
'ආරුගම්බේ ප්‍රදේශයෙන් ඉවත් වන්න' - ඊශ්‍රායල් ජාතික ආරක්ෂක මූලස්ථානය
ආරුගම්බේ ප්‍රදේශයෙන් සහ ශ්‍රී ලංකාවේ දකුණු හා බටහිර වෙරළබඩ ප්‍රදේශවලින් වහා ම ඉවත් වන ලෙස ඊශ්‍රායල් ජාතික ආරක්ෂක මූලස්ථානය මෙරට රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
සංචාරක ප්‍රදේශ සහ වෙරළ තීරයන් කේන්ද්‍ර කරගනිමින් මෑත කාලීනව ලැබී ඇති තොරතුරු සැලකිල්ලට ගනිමින් ඊශ්‍රායල් ජාතික ආරක්ෂක මූලස්ථානය මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය හීබෲ භාෂාවෙන් සිය X ගිණුමේ මෙසේ සටහනක් තබා තිබේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
ඔක්තෝබර් 7 ලැබුණු බුද්ධි තොරතුර කුමක් ද?
විදේශකයින් ඉලක්ක කර කිසියම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඔක්තෝබර් 7 වැනිදා බුද්ධි තොරතුරක් ලද බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ප්‍රකාශ කළේය.
මේ අතර, ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ද සිය පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙස දැනුම් දෙමින් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 3
තවත් තානාපති කාර්යාල කිහිපයකින් අනතුරු ඇඟවීම්
ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනය සහ පොලිසිය විසින් කළ කරුණු දැක්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පිහිටි විදේශ තානාපති කාර්යාල කිහිපයක් විසින් සිය පුරවැසියන්ට නිවේදනයන් නිකුත් කර තිබිණි.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ පිහිටි රුසියානු තානාපති කාර්යාලය සහ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය ද ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වන සිය පුරවැසියන්ට අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'ආරුගම්බේ ඊශ්‍රායල් ගොඩනැගිල්ලක්?'
ඇමෙරිකාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙවැනි නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව ඔක්තෝබර් 23 වන දා පැවති මාධ්‍ය හමුවකදී කරුණු පැහැදිලි කළේ ය.
එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ඊශ්‍රායල් ජාතිකයින් රැඳී සිටින ගොඩනැගිල්ලක් ඇති බවත් එහි වෙසෙන පිරිසට යම් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පිළිබඳව ලැබුණු තොරතුරු අනුව ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව ය.
''ආරුගම්බේ ප්‍රදේශයේ තියෙනවා ඊශ්‍රායල් ජාතිකයින් විසින් ස්ථාපිත කර තියෙන ගොඩනැගිල්ලක්. යම්කිසි ශාලාවක් වැනි ස්ථානයක්. සාමාන්‍යයෙන් ආරුගම්බේ සහ පොතුවිල් කියන ප්‍රදේශ ඊශ්‍රායල් ජාතිකයින්ගේ ආකර්ෂණය දිනාගෙන තිබෙනවා, සර්ෆින් ක්‍රීඩාවට දැඩි කැමැත්තක් තියෙන නිසා.''
''පසුගිය දින කිහිපයේදී තොරතුරු ලැබිලා තියෙනවා මේ ඉන්න ඊශ්‍රායල් ජාතිකයින්ට යම් අනතුරක් වෙන්න පුළුවන් කියන කාරණය. මේ හේතුවෙන් නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව එම ප්‍රදේශයේ මාර්ග බාධක යොදලා පුද්ගලයින් සහ වාහන පරීක්ෂා කිරීමේ කටයුතු පසුගිය කාලයේදී සිදුකර ගෙන ගියා.''
''අද වෙද්දී එම ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව සහ නාවික හමුදාව සහ විශේෂයෙන් බුද්ධි අංශ අවශ්‍ය ස්ථානවලට යොදවලා ආරක්ෂාව තර කරලා තියෙන්නේ. මේ ප්‍රදේශයට අමතරව අනෙකුත් ප්‍රදේශවල ආරක්ෂාව වැඩි කරලා තියෙනවා. අපි පොලිසියට දැනුම් දීලා තියෙනවා සියලු සංචාරකයින්ගේ ආරක්ෂාව ඉහළ මට්ටමක තබා ගන්න කියලා," නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
එම බුද්ධි තොරතුරු ලැබුණේ විදේශ රටකින් ද එසේත් නැත්නම් මෙරට බුද්ධි අංශවලින්දැයි විමසූ විට නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රතිචාර දැක්වූයේ, මෙලෙසිනි.
"ඒ සම්බන්ධව තොරතුරු මා සතුව නැහැ. මේ තොරතුර විදේශ රටකින් ආව ද, නැත්නම් මේ අපේ රටේ බුද්ධි අංශ වෙත ලැබුණු එකක් ද කියලා කියන්න බැහැ. නමුත් වැඩබලන පොලිස්පතිතුමාට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දීලා තියෙන්නේ ආරක්ෂාව වැඩි කරන්න කියලා," ඔහු පැවසුවේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ආරුගම්බේ ප්‍රදේශයේ ඊශ්‍රායල් ජාතිකයින්ගේ ක්‍රියාකාරීත්වය ගැන සමාජ මාධ්‍යවල කතාබහක්
ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසට ශ්‍රී ලංකාවේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයෙන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ අදහස් හුවමාරු වෙමින් තිබේ.
X සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරමින් ඇතැම් පරිශීලකයින් සඳහන් කර ඇත්තේ, ආරුගම්බේ ප්‍රදේශය කිසිවෙකුගේ අවධානයට හසු නොවී ඊශ්‍රායල් ජාතිකයින් සිය ආධිපත්‍යයට නතු කරගෙන සිටින බව ය.
"#ArugamBay හි වර්ධනය වන ඊශ්‍රායල ආධිපත්‍යය ගැන බොහෝ දෙනෙක් දැන නොසිටි අතර එය බොහෝ දුරට අවධානයට ලක්ව නැත. ඇමෙරිකානු බුද්ධි අංශවල මෙම අනතුරු ඇඟවීමෙන් පසු මෙම සංචාරක ස්ථානය කෙරෙහි පුළුල් අවධානයක් යොමු වනු ඇත," එක් සමාජ පරිශීලකයෙක් සිය X ගිණුමේ සඳහන් කර තිබේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 4
මේ අතර, ඊශ්‍රායල් ජාතිකයින් විසින් ආරුගම්බේ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන බව කියන ව්‍යාපාර ගැන ද සමාජ මාධ්‍ය තුළ පළවී තිබේ.
ඒ, සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රුකී ප්‍රනාන්දු සටහනක් තබා තිබූ අතර, ඔහු පළ කර ඇති ඡායාරූප ඔක්තෝබර් 16,17 දිනවලදී ගනු ලැබූ ඒවා බවට අප කළ විමසුමකදී තහවුරු කළේ ය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 5
'ඊශ්‍රායල් ජාතිකයින් ගොඩනැගිලි මිල දී ගෙන තිබෙනවා' - පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
බීබීසී සිංහල සේවය කළ විමසුමකදී පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී එම්.එම්.එම්. සුහයිර් ප්‍රකාශ කළේ, ප්‍රදේශයේ හෝටල් කිහිපයක ඊශ්‍රායල් ජාතිකයින් සේවය කරන බව ය.
ඔවුන්ට, අදාළ හෝටල්වලින් නොමිලේ ආහාර ලැබෙන අතර, ඔවුන් හරහා සංචාරකයින් අදාළ හෝටල් වෙත ගෙන්වා ගැනීම ද සිදුවන බව වාර්තා වී ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.
ඊට අමතරව, තවත් ඊශ්‍රායල් ජාතිකයින් පිරිසක් ප්‍රදේශයේ ගොඩනැගිලි කිහිපයක් මිල දී ගෙන ඇති බවත්, දේවස්ථානයක් ඉදි කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, මෙම තොරතුරු ස්වාධීනව තහවුරු කර ගැනීමට බීබීසී සිංහල සේවයට මෙතෙක් හැකියාවක් නොලැබිණි.
සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ දුරකතන අංකයක්
ඕනෑ ම සංචාරකයෙකුට ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වන ගැටලුවක් පිළිබඳව 1997 දරන ශ්‍රී ලංකා පොලිසියේ කෙටි දුරකතන අංකයට දැනුම් දීමේ අවස්ථාව ඔක්තෝබර් 23 වන දා සිට අවස්ථාව හිමි වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.
පොලිස් සංචාරක කොට්ඨාසය තවදුරටත් ශක්තිමත් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර සියලු ම පොලිස් ස්ථානවලට මේ පිළිබඳව විශේෂ උපදෙස් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය නිකුත් කරනු ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.
මැද පෙරදිග මෙන් ම නැගෙනහිර යුරෝපයේ පවතින යුධමය වාතාවරණය ද සැලකිල්ලට ගෙන විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ මෙන් ම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් හා සම්බන්ධීකරණය මත ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද එම නිවේදනයේ වැඩිදුරත් සඳහන් කර ඇත.
ඉදිරි සංචාරක වාරය තුළ විදේශීය සංචාරකයන් විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවට මේ වන විට ලැබී තිබෙන තොරතුරු මගින් නිරීක්ෂණය වී ඇති බැවින් සංචාරක කර්මාන්තයේ නියැලෙන හෝටල් හිමියන්ට සිය පරිශ්‍රයන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කොට සංචාරකයින්ට ගැටලුවක් ඇති නොවන ආකාරයට CCTV ආරක්ෂක කැමරා පද්ධති සවිකිරීම ද සිදුකළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පැවසුවේය.
'ආරුගම්බේ' ජනප්‍රිය ඇයි?
කොළඹ ප්‍රදේශයේ සිට කිලෝමීටර් 412ක් දුරින් පිහිටා ඇති ආරුගම්බේ ප්‍රදේශය අයත් වන්නේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටි අම්පාර දිස්ත්‍රික්කයට ය.
අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් නගරය ආසනන්යේ පිහිටි ආරුගම්බේ ප්‍රදේශයේ මුහුදු වෙරළ සංචාරකයින් අතර වඩාත් ප්‍රකට වී ඇත්තේ, සර්ෆිං ක්‍රීඩාවටය.
එමෙන් ම, මුහුදේ කිමිදුම් සහ ස්කූබා වැනි ජල ක්‍රීඩාවන්හි යෙදීමට ද විදේශිකයෝ ආරුගම්බේ මුහුදු කලාපයට පැමිණීමට වැඩි රුචිකත්වයක් දක්වති.
2019 වසරේදී මෙරට සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු සහ රටේ ඇති වූ ආර්ථික අර්බුදයෙන් පසු ආරුගම්බේ ප්‍රදේශයට සංචාරකයින් පැමිණීම අවම වූ අතර මේ වන විට එම ප්‍රදේශයට සංචාරකයින් පැමිණීම නැවතත් සක්‍රීය වෙමින් පවතී.
සංචාරකයින් වැඩියෙන් ම පැමිණි රටවල්
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කර ඇති දත්ත අනුව, මේ වසරේ පළමු මාස 09 තුළදී මෙරට සංචාරය කිරීමට පැමිණි වැඩි ම විදේශිකයින් අයත් රටවල් අතර ඉන්දියාව, චීනය,රුසියාව, ජර්මනිය, බ්‍රිතාන්‍ය, ඇමෙරිකාව, ප්‍රංශය, කැනඩාව ප්‍රමුඛ ස්ථානයක පසුවේ.
මෙම වසරේ ගතවූ මාස 09 තුළදී ශ්‍රී ලංකාවට ඊශ්‍රායලයේ සිට සංචාරකයින් 20,515 දෙනෙකු පැමිණ ඇති අතර, ඇමෙරිකානු වැසියන් 43,678ක් සහ බ්‍රිතාන්‍ය වැසියන් 136,464ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් නිකුත් කර ඇති දත්තවල සඳහන් වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images















