ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම: නඩුවේ සාක්ෂිකරුවෙකුට අවස්ථා 19 කදී ෂම්මිගෙන් 'තර්ජන'
- Author, බීබීසී සිංහල
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුවේ සාක්ෂිකරුවෙකුට එම නඩුවේ පළමු විත්තිකාර (විශ්‍රාමික) බ්‍රිගේඩියර් ෂම්මි කුමාරරත්න විසින් අවස්ථා 19 කදී බලපෑම් හා තර්ජන කර ඇති බවට විමර්ශන වලින් කරුණු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා අද (ජුනි 13 වැනිදා) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ දැනූම් දුන්නේය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ ඉදිරියේ අද කැඳ වූ අවස්ථාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ උදාර කරුණාතිලක මෙම දැනුම්දීම කළේය.
අද මෙම නඩුව කැඳවනු ලැබුවේ, නාමල් බලල්ලේ, මහේෂ් වීරමන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ උදාර කරුණාතිලක අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පළමු විත්තිකාර ෂම්මි කුමාරරත්න විසින් නඩුවේ සාක්ෂිකරුකු වන සුමතිපාල සුරේෂ් කුමාර් හෙවත් මුරලි නමැති අයට තර්ජනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි සඳහන් කළේය.
මෙම විත්තිකරු සාක්ෂිකරුට අවස්ථා 19 කදී තර්ජන හා බලපෑම් එල්ල කර තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි සඳහන් කළ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ආසන්න වශයෙන් ජුනි මස 01 වනදා සහ ජුනි මස 06 වනදා යන දිනවලත් මෙම තර්ජනය කිරීම් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව පැවසීය.
ගිරිතලේ යුද්ධ හමුදා කඳවුරේ හිටපු අණ දෙන නිලධාරී ෂම්මි අර්ජුන රිමාන්ඩ්
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂිකරුවෙකු වූ මුරලි හෙවත් සුරේෂ් කුමාර් නමැති සාක්ෂිකරුට බොරු සාක්ෂි ලබා දෙන ලෙස තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම නඩුවේ ප්‍රධාන විත්තිකරු වන ගිරිතලේ යුද්ධ හමුදා කඳවුරේ හිටපු අණ දෙන නිලධාරී ෂම්මි අර්ජුන කුමාරරත්න ජූනි 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කළේ ය.
වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ පොලිස් කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මෙම නඩුවට අදාළව ඉදිරි දිනවල සිවිල් සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුගේ සාක්ෂි මෙහෙයවීමට නියමිත බැවින් මෙම නඩුව සඳහා අදාළ විත්තිකරුට නියම කර ඇති ඇපය අවලංගු කොට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා මෝසමක් ගොනුකර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට අවසර දෙන ලෙසත් රජයේ නීතිඥවරයා (ජුනි 13 වැනිදා) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේ ය.
මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නාමල් බළල්ලේ රජයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම තර්ජනය කිරීම් වලට අදාළව වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ඒකකය මගින් කරන පරීක්ෂණ කටයුතු අවසන් වී ඇති දැයි ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දෙමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේ එම විමර්ශන අවසන් අදියරේ පවතින බවයි.
ඒ අනුව අදාළ විමර්ශන අවසන් වීමෙන් පසුව මෙම ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස රජයේ නීතිඥවරයාට දැනුම් දුන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විමර්ශන අවසන් වීමට පෙර එවැනි නියෝගයක් නිකුත් කළොත් යම් යම් අඩුපාඩු සිදුවිය හැකි බව පෙන්වා දුන්නේ ය.
කෙසේ වෙතත් මේ වන විටත් එම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බැවින් මෙම අවස්ථාවේ ගැටළුවක් මතුවිය නොහැකි බව විනිසුරු මඩුල්ල සඳහන් කළේය.
රජයේ නීතිඥවරයා විසින් තවදුරටත් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල යම් හෙයකින් මෙම විත්තිකරුට ත්‍රිකුණාමලය මහේස්ත්‍රත් අධිකරණය මගින් ඇප නියම කරනු ලැබුවහොත් එම විත්තිකරු කොළඹ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කරන ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර සිටියේ ය.
ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය ලබන 16 වනදා දක්වා කල් තැබිණි.
සාවද්‍ය සාක්ෂි ලබා දීම
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුවක් ගොනු කරනු ලැබ තිබුණු අතර එහි විත්තිකරුවන් ලෙස ගිරිතලේ යුද්ධ හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ෂම්මි අර්ජුන කුමාරත්න ඇතුළු යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකු නම් කර තිබිණි.
එම නඩුව ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය හමුවේ සාක්ෂි දුන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු බව කියන මුරලි හෙවත් සුරේෂ් කුමාර් නමැති සාක්ෂිකරුවෙකු තමා විසින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත සහ මහේස්ත්‍රාත්වරයා වෙත සිදුකළ ප්‍රකාශය අසත්‍ය බව සඳහන් කරනු ලැබ තිබිණි.
ඔහු පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර තිබුණේ, තමා LTTE සංවිධානයේ බුද්ධි අංශ ක්‍රියාකාරිකයෙකු බව ත් තමා ගිරිතලේ යුද්ධ හමුදා කඳවුරේ අත්අඩංගුවේ සිටියදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ද එම කඳවුරේ සිටින අයුරු තමා දුටු බව ත් ය.
එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ බලපෑම් හේතුවෙන් තමා එවැනි ප්‍රකාශයක් පොලිසිය වෙත හා මහේස්ත්‍රාත්වරයා වෙත ලබා දුන් බව ත් එය අසත්‍යයක් බව ත් එම සාක්ෂිකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබිණි.
ඉන් අනතුරුව එම සාක්ෂිකරු පැමිණිල්ලට අගතිදායක සාක්ෂිකරුවෙකු ලෙස නම් කිරීමට අධිකරණය තීන්දු කළේ ය.
'මරණ බිය නිසා බොරු සාක්ෂි දුන්නේ...'
එහෙත් වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව මෙම නඩුව පසුගිය දා විභාගයට ගත් අවස්ථාවේදී මෙම මුරලි නැමැති සාක්ෂිකරු වෙනුවෙන් නීතිඥවරයෙකු අධිකරණය හමුවේ පෙනී සිටිමින් තම සේවා දායකයාට යළිත් සාක්ෂි ලබා දීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ ය.
එම නීතිඥවරයා සඳහන් කළේ, මෙම නඩුවේ විත්තිකරුවන්ගේ තර්ජන හේතුවෙන් ඇතිවූ මරණ බිය නිසා තම සේවාදායකයා අධිකරණය හමුවේ බොරු සාක්ෂි ලබා දුන් බවත් මේ සම්බන්ධයෙන් වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට පැමිණිල්ලක් සිදු කර ඇති බව ත් ය.
එම අවස්ථාවේදී රජයේ නීතිඥවරයා ද සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය මගින් විමර්ශනයක් සිදු කරන බව ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ, වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ විමර්ශන වාර්තා ලැබීමෙන් අනතුරුව මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ප්‍රකාශයට පත් කරන බව ය.
බ්‍රිගේඩියර් ෂම්මි අර්ජුන කුමාරරත්න අත්අඩංගුවට
එම වාතාවරණය මත වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ පොලිස් කොට්ඨාශය මගින් මෙම සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව අදාළ නඩුවේ පළමු වන විත්තිකරු ලෙස නම් කර තිබූ විශ්‍රාමික යුද්ධ හමුදා බ්‍රිගේඩියර් ෂම්මි අර්ජුන කුමාරරත්න ඉකුත් 10 වන දා අත්අඩංගුවට ගත්තේ ය.
එම සැකකරු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ එම කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුවේ සාක්ෂිකරුවෙකුට බොරු සාක්ෂි ලබා දෙන ලෙස බලපෑම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගත් බව ත් විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ත් ඉල්ලා සිටියේ ය.
සැකකරුගේ ජංගම දුරකතන අංකයෙන් නිකුත්වූ ඇමතුම් හරහා මෙම සාක්ෂිකරුට තර්ජනය කිරීම් සිදුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බව ත් එම තර්ජනය කිරීමේ කටයුතු සඳහා තවත් දුරකතන අංකය කිහිපයක් යොදාගෙන තිබුණු බව ත් විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි එම පොලිස් කොට්ඨාසය අධිකරණයට දැන්වීය.
අධිකරණය ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවා දායකයා ඇතැම් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන හෙයින් එය සුවිශේෂී කරුණක් සේ සලකා ඔහුට ඇප නියම කරන ලෙස ඉල්ලීමක් කළේ ය.
එම ඉල්ලීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළ පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බව ත් මෙම සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවොත් ඉදිරි විමර්ශනවලට බාධා සිදුවිය හැකි බව ත් සඳහන් කළේ ය.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ අධිකරණය අදාළ සැකකරු ලබන 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේ ය.