ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 ක් සහ නිලධාරින් 11ක් පැරිස් ඔලිම්පික් තරගාවලියට

ප්‍රංශයේ පැරිස් නුවරදී ලබන 26 වැනිදා ආරම්භවීමට නියමිත 2024 ඔලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06 දෙනෙකු සහභාගි වීමට නියමිතව තිබේ.

මලල ක්‍රීඩා අංශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු , පිහිනුම් අංශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහ බැඩ්මින්ටන් අංශයෙන් එක් ක්‍රීඩකයෙකු මෙවර ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීම සඳහා එක්වන බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු බීබීසී සිංහල වෙත අද (ජුලි 16) පැවසුවේය.

ඒ අනුව මෙවර ඔලිම්පික් සමාරම්භක උළලේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යනු ලබන්නේ බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සහ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් තරග වදින නදීෂා ලේකම්ගේ බව ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසුවේය.

ඔලිම්පික් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කවුද ?

මෙවර ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිවෙලින් මෙසේයි.

තරුෂි දිල්සරා කරුණාරත්න (මීටර් 800 - කාන්තා), නදීෂා දිල්හානි ලේකම්ගේ (හෙල්ල විසි කිරීම - කාන්තා), අරුණ දර්ශන ( මීටර් 400),කයිල් අබේසිංහ හා ගංගා සෙනවිරත්න (පිහිණුම්) සහ විරේන් නෙත්තසිංහ (බැඩ්මින්ටන්).

ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා පසුගිය ජුලි මස 08 වැනිදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ 2028 වසරේදී ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකු හෝ ඔලිම්පික් උළෙල සහභාගි කරවීම සැලසුම බවය.

"මෙවර ඔලිම්පික් උළෙල සඳහා අඩු සහභාගීත්වයක් තියෙන්නේ කියලත්, ලබා දුන් ශිෂ්‍යත්වලට නිසි ඇගයීමක් ලැබුණාද යන්නත් ඇතැම් අය අපෙන් විමසනවා."

"මේ ප්‍රශ්නය අහන්න ඕන අපෙන් නොවෙයි, අදාළ සංගම්වලිනුයි. ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා වැඩි දියුණු කිරීමට ඔවුන් තමයි සැලසුම් සකස් කරන්න ඕන."

"යම් ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක් දක්‍ෂනම් ඒ සම්බන්ධයෙන් අපිව දැනුවත් කරලා අපි ලබාදෙන ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කළ යුතුයි. ඒක තමයි ඔවුන්ගේ ප්‍රධානතම වගකීම."

"කොහොම වුණත් මෙවර සෘජු සුදුසුකම් සපුරාගත් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් සිවු දෙනකු සිටීම ගැන අපි සතුටු විය යුතුයි."

"මෙවර සුදුසුකම් ලැබූ 6 දෙනාට මෙයට වඩා යමක් කිරීමට හැකියාව ලැබේවි කියලා මම විශ්වාස කරනවා වගේම 2028 වසරේදී ශ්‍රී ලංකාවෙන් 20 විතර ඔලිම්පික් උළෙලට සහභාගි කරවීම තමයි අපේ සැලසුම." ජාතික ඔලිම්පික් කමිටු ලේකම්වරයා පැවසීය.

ඔලිම්පික් යන නිලධාරීන් ගණන කොපමණ ද?

ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06 දෙනා සමග නිලධාරින් කොපමණ පිරිසක් ප්‍රංශය බලා යාමට නියමිතදැයි ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු ගෙන් බීබීසී සිංහල කළ විමසීමකට ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

"මලල ක්‍රීඩකයින් තුන් දෙනාගේ පුහුණුකරුවන් තුන්දෙනා සහ ඔවුන්ගේ කණ්ඩායම් භාර කළමනාකාරවරයා, ඊට අමතරව පිහිනුම් සහ බැඩ්මින්ටන් ක්‍රීඩකයින්ගේ පුහුණුකරුවන් දෙදෙනා යන්න නියමිතයි."

"ඒ වගේම ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සහ ලේකම්වරයා මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානී ලෙස එක් නිලධාරියෙක් ප්‍රංශය බලා යනවා."

"තාක්ෂණික නිලධාරින් ලෙස ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරින් දෙදෙනෙක්, ඊට අමතරව නිලුක කරුණාරත්න යනවා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිලවරණයට තරග කරන්න." ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම් ප්‍රධානී ලෙස කටයුතු කරන චන්දන ලියනගේ බීබීසී සිංහල වෙත පැවසුවේ පිහිනුම් ඉසව්ව නියෝජනය කරනු ලබන කයිල් අබේසිංහ සහ ගංගා අබේසිංහ (ජුලි 15 වැනිදා) සිය පුහුණුකරු සමග ප්‍රංශය බලා පිටත්ව ගිය බවය.

"පිහිනුම් ඉසව්ව නියෝජනය කරන ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ජුලි 15 වැනිදා ඔවුන්ගේ පුහුණුකරු සමග ප්‍රංශය බලා පිටත්ව ගියා.එහිදී සිය පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතයි."

"ඊට අමතරව බැඩ්මින්ටන් සහ මලල ක්‍රීඩා ඉසව් සඳහා තරග කරන සිව්දෙනා ඔවුන්ගේ පුහුණුකරුවන් සමග ජුලි 25 වැනිදා වන විට ප්‍රංශය බලා යෑමට නියමිතයි." ඔහු පැවසුවේය.

2024 පැරිස් ඔලිම්පික් උළෙල ගැන ඔබ මේ කරුණු දැන සිටියා ද?

ඔලිම්පික් ගිනිසිළුව ඉකුත්දා ග්‍රීසියේදී දැල්වූයේ, එය ජූලි 26 වන දා ක්‍රීඩා උළෙල ආරම්භ කිරීම සඳහා පැරිසියට යන ගමනට පෙරාතුව ය.

ආරක්ෂාව ප්‍රංශ රජයට ප්‍රධාන ගැටලුවක් වී ඇති අතර සමාරම්භක උළෙල සම්බන්ධ සැලසුම් පිළිබඳව නැවතත් සලකා බලමින් පවතී.

පැරිස් ඔලිම්පික් සහ පැරාලිම්පික් තරග පැවැත්වෙන්නේ කවදා ද?

මෙවර ගිම්හාන ඔලිම්පික් උළෙල ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වෙන අතර එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500 දෙනෙකු තරග ඉසව් 329ක් සඳහා තරග කරනු ඇත.

පැරාලිම්පික් උළෙල අගෝස්තු 28 සිට සැප්තැම්බර් 8 දක්වා පැවැත්වෙන අතර, එය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,400 දෙනෙකු සහභාගී වන තරග ඉසව් 549කින් සමන්විත වේ.

මෙවර ඔලිම්පික් උළෙල සඳහා රටවල් 206ක් ද පැරාලිම්පික් උළෙල සඳහා රටවල් 184ක් ද සහභාගී වී වේ.

ක්‍රීඩා උළෙල අතරතුර පැරිසිය වෙත සංචාරකයින් මිලියන 15කට වැඩි පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඔලිම්පික් සහ පැරාලිම්පික් ඉසව් පැවැත්වෙන්නේ කොහේ ද?

ප්‍රධාන මලල ක්‍රීඩා ඉසව් පැරිස් නගරයට නුදුරින් පිහිටි 'Stade de France' හිදී පැවැත්වේ.

කෙසේ වෙතත්, පැරිසිය මධ්‍යයට වන්නට ඔලිම්පික් තරග ඉසව් පැවැත්වෙන ස්ථාන 15ක් සහ පැරාලිම්පික් තරග ඉසව් පැවැත්වෙන ස්ථාන 11ක් පිහිටා ඇත. උදාහරණයක් ලෙස, Pont d'Iena හිදී පාපැදි ඉසව් පවත්වනු ඇති අතර මැරතන් තරගයේ ආරම්භය සහ අවසානය ලකුණු වන්නේ Hotel de Ville සහ Les Invalides හිදී ය.

ඔලිම්පික් උළෙලට ප්‍රංශ ආරක්ෂක අංශ සූදානම් වන්නේ කෙසේ ද?

ඩ්‍රෝන් ප්‍රහාරයක් වැනි තර්ජන ගැන කනස්සල්ලට පත්ව සිටින ප්‍රංශ රජය ඔලිම්පික් සමාරම්භක උළෙල සඳහා සහභාගී විය හැකි ප්‍රේක්ෂක සංඛ්‍යාව අඩු කර තිබේ.

එහිදී මධ්‍යම පැරිසිය හරහා වැටී ඇති සේන් නදිය දිගේ කිලෝමීටර් 6ක (සැතපුම් 3.8) දුරක් එක් එක් රටවලට අයත් කණ්ඩායම් බෝට්ටුවල නැග ගමන් කරමින් සමාරම්භක උළෙල විචිත්‍රවත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මුල් සැලැස්ම වූයේ, 600,000ක පමණ ජනතාවක් ගං ඉවුර දෙපසට වී එය නැරඹීම ය.

කෙසේ වෙතත්, රජය දැන් පවසන්නේ ආරාධිතයින් ලක්ෂ 3කට පමණක් ඒ සඳහා අවසර ලබා දෙන බව ය.

ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසා ඇත්තේ, ආරක්ෂාව සම්බන්ධ අවදානම ඉහළ යන්නේ නම්, සමාරම්භක උළෙල මුළුමනින් ම සේන් නදිය ප්‍රදේශයෙන් වෙනත් තැනකට ගෙන යා හැකි බව ය.

ඒ වෙනුවට, සමස්ත ක්‍රීඩා උළෙල ම 'Trocadero' හෝ 'Stade de France' හිදී පැවැත්විය හැකි ය.

"විකල්ප සැලසුම් තියෙනවා," යැයි ජනාධිපති මැක්‍රොන් පැවසුවේ, "අපි ඒවත් මූලික සැලසුමට සමගාමීව තමයි සැලසුම් කරන්නේ. ඒ වෙලාව අනුව තමයි අපි ඒවා විශ්ලේෂණය කරන්නේ," යැයි ද සඳහන් කරමිනි.

ආරක්‍ෂාව සඳහා ප්‍රංශ රජය සෙබළුන් 20,000ක් සහ පොලිස් නිලධාරීන් 40,000කට වැඩි පිරිසක් යොදවා ඇත. ඔවුන්ට වෙනත් රටවල හමුදා සහ පොලිස් නිලධාරීන් 2,000කගේ පමණ සහය ද තිබේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ඔලිම්පික් තරග ඉසව් පැවැත්වෙන ස්ථාන අසල ජීවත්වන පුද්ගලයින්, වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ ස්වේච්ඡා සේවකයන් ඇතුළු ක්‍රීඩා උළෙලට සම්බන්ධ වන මිලියනයක පමණ ජනතාවක් ගැන ආරක්ෂක අංශ අවධානයෙන් සිටියි.

ප්‍රංශ අගමැති ගේබ්‍රියෙල් අතාල් ප්‍රකාශ කළේ, 2024 වසරේ මුල් භාගයේදී ඉස්ලාමීය සටන්කාමීන් බවට සැක කෙරෙන පුද්ගලයන් එරටට එරෙහිව සැලසුම් කළ කුමන්ත්‍රණ දෙකක් පිළිබඳව ඔත්තු සේවා විසින් අනාවරණය කර ගන්නා ලද බව ය. "ත්‍රස්තවාදී තර්ජනය ඇත්තක්, එය ප්‍රබලයි," ඔහු පැවසීය.

රුසියාවට තහනමක් තිබේද?

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සහ ඊට බෙලරූස් රාජ්‍යය සහයෝගය ලබා දීම නිසා රුසියාවට හෝ බෙලරූස් රාජ්‍යයට ඔලිම්පික් උළෙල සඳහා තම කණ්ඩායම් සහභාගී කරවීමට අවසර හිමි නොවේ.

එම රටවල තරගකරුවන්ට ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමට අවසර ලැබෙන්නේ, තම රටේ අනන්‍යතාව ප්‍රදර්ශනය කළ නොහැකි යි යන පදනමිනි.

ඔවුන්ට සමාරම්භක උළෙලේ සංදර්ශනය සඳහා සම්බන්ධ වීමට ඉඩ නොලැබෙන අතර ඔවුන් පදක්කම් දිනුවහොත් ඔවුන්ගේ ජාතික ගීය වාදනය කිරීමක් හෝ ඔවුන්ගේ ජාතික ධජ එසවීමක් සිදු නොවනු ඇත.

තම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ ආකාරයෙන් සැලකීම ගැන තමන් "කෝපයට" පත්වන බව රුසියාව පවසා ඇති අතර සැප්තැම්බර් මාසයේදී මොස්කව් සහ යෙකටරින්බර්ග්හි "ලෝක මිත්‍රත්ව ක්‍රීඩා උළෙලක්" ඔවුන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

1984 වසරේදී ලොස් ඇන්ජලීස්හි ගිම්හාන ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමෙන් පසු සෝවියට් සංගමය ද එවැනි ම ක්‍රීඩා උළෙලක් පැවැත්වීය.

රුසියාව පැරිස් ක්‍රීඩා උළෙල කඩාකප්පල් කිරීමේ ප්‍රචාරක ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක කරමින් සිටින බවට ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කළේ ය.

ඒවා අතරට, උළෙල අසාර්ථක ලෙස සංවිධානය වී ඇති බව පවසමින් කටකතා පැතිරවීම ඇතුළත් වේ.

ඊශ්‍රායලයත් තහනම් කර තිබේද?

රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොෆ් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විවේචනය කළේ, ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ක්‍රියාත්මක කරනු ලබන හමුදා ක්‍රියාන්විතය හේතුවෙන් ඊශ්‍රායලයට ද ක්‍රීඩා උළෙලට සහභාගී වීම තහනම් නොකිරීම සම්බන්ධයෙනි.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාක් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ අතර, ඊශ්‍රායලයේ සහභාගීත්වය තහවුරු කළේ ය.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල ප්‍රංශයේ ජනප්‍රිය ද?

එක් මත විමසුමකට අනුව පෙනී ගියේ, පැරිසියේ වැසියන්ගෙන් 44%ක් ඔලිම්පික් උළෙල පැවැත්වීම "නරක දෙයක්" යැයි සිතන අතර බොහෝ දෙනෙකු නගරය හැර යාමට සැලසුම් කරන බව ය.

ක්‍රීඩා උළෙල පැවැත්වෙන කාල සීමාවේ පැරිසියේ බස් සහ මෙට්‍රෝ ගාස්තු දෙගුණයක් වනු ඇත.

ඔලිම්පික් හා පැරාලිම්පික් ගම්මානය සහ නව ජල ක්‍රීඩා මධ්‍යස්ථානයක් පැරීසියට උතුරින් පිහිටි එරට දුප්පත් ම ප්‍රදේශවලින් එකක් වන 'Seine-Saint-Denis' නම් ප්‍රදේශයේ පිහිටා තිබේ.

එම ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලිවලින් සිය ගණනක් වූ අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම ගැන පුණ්‍ය සංවිධාන චෝදනා කළේ ය.

පැරිස් නගර මධ්‍යයේ ඇති තරග ඉසව් පැවත්වෙන ස්ථාන පිටත සිට නැරඹීමට නොහැකි වන අයුරින්

ආවරණය කෙරෙනු ඇති අතර දැඩි රථවාහන සීමා කිරීම් පැනවෙනු ඇත.

ක්‍රීඩා උළෙල පැවැත්වෙන කාලය අතරතුර මෙට්‍රෝ ස්ථාන සහ දුම්රිය ස්ථාන ගණනාවක් යම් කාල සීමාවකට හෝ මුළුමනින් ම වසා දැමෙනු ඇත.

"පැරිසියට මේක දරා ගන්න බැරි වේවි," එක් ප්‍රදේශවැසියෙකු බීබීසීය වෙත පැවසීය. "වාහනයක් නවත්තන්න තැනක් නැහැ. එහෙ මෙහෙ යන්න විධියක් නැහැ. කිසි ම දෙයක් කරගන්න බැහැ."