ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2023 වසරේ ලොව වේගවත්ම මිනිසා බවට පත්වු නෝවා ලයිල්ස් කවුද?
2023 වසරේ ලොව වේගවත්ම මිනිසා ලෙස කිරුළු පැළදීමට ඇමෙරිකානු මලල ක්‍රීඩක නෝවා ලයිල්ස් (අගෝස්තු 20 වැනිදා) සමත් විය.
හංගේරියාවේ, බුඩාපෙස්ට් හිදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේදී නෝවා මෙම දක්ෂකම දැක්වුයේ මීටර් 100 ධාවන ඉසව්ව තත්ත්පර 9.83 කින් නිමා කරමිනි.
ඔහුගේ මෙම දස්කම පෞද්ගලිකව මීටර් 100 ඉසව්වේදී වාර්තා කළ හොඳම කාලය වන අතර මෙම වසරේදී ක්‍රීඩකයෙකු විසින් වාර්තා කළ හොඳම කාලය ලෙස ද සනිටුහන් වේ.
කවුද මේ නෝවා ලයිල්ස් කියන්නේ ?
1997 වසරේ ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ප්‍රාන්තයේ උපත ලබන නෝවා ලයිල්ස් මේ වන විට 26 හැවිරිදි වියේ පසුවෙයි
මීටර් 200 ඉසව්වේ මෙම වසරේ හොඳම කාලය වාර්තා කළ නෝවා, තත්පර 19.31කින් තරගය නිම කිරීමට සමත්විය.
ඒ ඇමෙරිකානු ජාතිකයෙකු විසින් මීටර් 200 තරග ඉසව්වෙන් වාර්තා කර තිබු වේගවත්ම කාලය තමන් සතුකර ගනිමිනි.
මීට පෙර ඇමෙරිකාවේ ධාවන ශුරයෙකු වන මයිකල් ජොන්සන් විසින් 1996 වසරේ දී ඇට්ලන්ටා ඔලිම්පික් තරගාවලියේ තත්ත්පර 19.32ක් ලෙස තබා තිබු වාර්තාව අභිබවා යෑමට නෝවා සමත් විය.
2017 වසරේදී දී නෝවා ලයිල්ස් ගෘහස්ත මීටර් 300 ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ද සමත් විය.
නෝවා ලයිල්ස් දිනු පදක්කම්
2019 වසරේදී සහ 2022 වසරේ දී පැවති ලෝක මලල ක්‍රීඩා ශුරතාවලදී මීටර් 200 රන් පදක්කම් ජයග්‍රහණය කිරීමට නෝවා සමත්විය.
එමෙන්ම ඔහු (අගෝස්තු 20 වැනිදා) ලෝක මලල ක්‍රීඩා ශුරතාවලියේදී මීටර් 100 තරග ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කළේය.
2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ දී ඔහුට මීටර් 200 ඉසව්වේ දී හිමිවුයේ තෙවන ස්ථානය යි.
පරාජය සවියක් කර ගත් ක්‍රීඩකයා
2020 වසරේ ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේදී නොසිතු ලෙස තෙවන ස්ථානයට පත්වීමෙන් පසු ඔහු වාර්තාකරුවන් ඉදිරියේ හඬා වැටුණේය.
ඒ තමන් වෙනුවට තම සහෝදරයා වූ " ජෝසේප්සු" ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළා නම් හොඳ බව කියමින් යැයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය.
ඔහුගේ සහෝදරයා ද ඇමෙරිකාවේ මලල ක්‍රීඩා ජාතික සංචිතය නියෝජනය කරනු ලබයි.
කොවිඩ් වසංගතය සහ ඇමෙරිකාවේ පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනයට ලක්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයාගේ මරණය වැනි සිද්ධි වලින් තමන් මානසික පීඩනයට ලක්වු බව ප්‍රසිද්ධියේ පැවසු නෝවා ලයිල්ස් ඊට මනෝ උපදේශන සේවා ලබා ගත් බව ද සඳහන් වේ.
“මම ආවේ රන් පදක්කම් තුනක් දිනන්න”
ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 රන් පදක්කම ජයග්‍රහණය කිරීමෙන් පසු අදහස් දක්වමින් නෝවා ලයිල්ස් පැවසුවේ තමන් තරගාවලියට පැමිණියේ රන් පදක්කම් තුනක් ජයග්‍රහණය කිරීමේ අපේක්ෂාවෙන් බවයි.
"මම ආවේ රන් පදක්කම් තුනක් දිනා ගන්න. ඉන් එකක් හරි. අනෙක් ඒවාත් ඉදිරියේ දී එනවා. මීටර් 100 ඉසව්ව තමයි අසීරූම. දැන් මට මම ආස කරන ඉසව්ව වෙනුවෙන් (මීටර් 200) සුදානම් වෙන්න පුළුවන්."ඔහු පැවසීය.
කෙසේවෙතත්, ලොව වේගවත්ම මිනිසා ලෙස 2009 වසරේ අගෝස්තු මස 16 වැනිදා පැවති ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ දී ජැමෙයිකානු ධාවන ශුර උසේන් බෝල්ට් විසින් මීටර් 100 ඉසව්ව තත්ත්පර 9.58 කින් නිම කරමින් තබා ඇති වාර්තාව බිඳ හෙළිමට මේ දක්වා කිසිදු ධාවකයෙකුට හැකිව නොමැත.
2009 වසරේ අගෝස්තු මස 20 වැනිදා ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 200 ධාවන ඉසව්ව තත්ත්පර 19.19 කින් නිම කරමින් උසේන් බෝල්ට් විසින් තබන ලද වාර්තාව ද තවමත් බිඳ හෙළිමට නොහැකි වූ වාර්තාවකි.