ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඔලිම්පික් 2024: ශ්‍රී ලංකාවේ පූර්ව සුදානම කොහොමද?
2024 ඔලිම්පික් තරගාවලිය ලබන ජුලි මාසයේදී ප්‍රංශයේ පැරිස් අගනුවරදී ආරම්භ කිරීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාව අවසන්වරට ඔලිම්පික් පදක්කම දිනා වසර 24ක් ගෙවීයන මොහොතේ නැවත වරක් ඔලිම්පික් පදක්කමක බලාපොරොත්තුවක් ගෙන දීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙවර හැකි වෙයි ද ?
ඔලිම්පික් සඳහා තෝරා ගැනීම් අවසන් කරන්නේ කවදා ද ?
ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලැබීම සඳහා තමන්ගේ දක්ෂතා අනුව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ඒම සඳහා මේ වසරේ ජුනි මාසය තෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව හිමිවන බව ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු පැවසුවේය.
"එක් එක් තරග ඉසව් වෙනුවෙන් තරගකරුවන් හෝ තරගකාරියන් තෝරා ගන්නා කාල සීමාව වෙනස්."
"කොහොම වුනත් ජුනි මාසය අවසන් වෙද්දී එක් එක් ක්‍රීඩාවන්ට අදාළව තියෙන ශ්‍රේණිගත කිරීම් වැදගත්."
"මොකද තරගාවලිය පටන් ගන්නේ ජුලි මාසය අවසානයේ දී." ඔහු පැවසුවේය.
මෙවර ඔලිම්පික් නියෝජනය කරන්න හැකිවෙතැයි අනුමාන කරන ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් කවුද ?
මෙවර ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොපමණ පිරිසකට අවස්ථාව උදාවේදැයි කිව නොහැකි වුවත් අවම වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකුට වැඩි සංඛ්‍යාවකට එම අවස්ථාව උදාවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු පැවසුවේය.
"අද වෙද්දී බැඩ්මින්ටන් ඉසව්වේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලදී ලංකාවෙන් ඉස්සරහින්ම ඉන්න ක්‍රීඩකයා හමයි විරේන් නෙත්තසිංහ කියන්නේ."
"ගිය අවුරුද්දේ අපි ඔහුව තෝරා ගද්දි ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල හිටියේ 90 ගණන්වල. දැන් ඔහු 78 වන ස්ථානයේ ඉන්නේ. ඔහු 64 වගේ ස්ථානයට ආවොත් ඔලිම්පික් නියෝජනය කරන්න හැකියාව ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා."
"ඒ වගේම යුපුන් අබේකෝන්ට මම ගිය සතියේ කතා කරද්දී ඔහුත් පුහුණුවීම් වල නිරත වන බව කිව්වා. යුපුන්ටත් හොඳ අවස්ථාවක් තියෙනවා ඔලිම්පික් යන්න."
මලල ක්‍රීඩා ඉසව්වෙන් තරුෂි කරුණාරත්න, හෙල්ලය විසි කිරීමේ ඉසව්වෙන් දිල්හානි ලේකම්ගේ වගේ ක්‍රීඩිකාවන් ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඔලිම්පික් යන්න අවස්ථාව ලැබෙයි කියලා. මොකද මේ අය ආසියානු ක්‍රීඩා උළලේදී හොඳින් දස්කම් දැක්වූ අයයි."
"ඒ වගේම අපේ පිරිමි සහ මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම් දෙකටත් ඔලිම්පික් නියෝජනය කරන්න අවස්ථාව ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා."
"ඊට අමතරව බැඩ්මින්ටන්, පිහිණුම්, කිමිදුම්, බර ඉසිලීමේ ඉසව් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාවක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා." ඔහු පැවසීය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ඉහළ කාර්ය සාධක වැඩසටහනක්
මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රීඩා ඉසව් කිහිපයක් වෙනුවෙන් ඉහළ කාර්ය සාධක වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු සඳහන් කළේය.
එම වැඩසටහන ක්‍රියාවට නැංවිමට මුලික හේතුව වුයේ ඉදිරි කාලයේ දී පැවත්වෙන ජාත්‍යන්තර තරග සඳහා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගිවිමේදී ඇතිවිය හැකි අපහසුතා මග හරවා ගැනීම බව ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේය.
"අපේ රටේ ක්‍රීඩා 72ක් ලියාපදිංචි වෙලා තියෙනවා. ඔලිම්පික් තරගාවලියට ක්‍රීඩා ඉසව් 30ක් පමණ ඇතුලත් වෙනවා."
"ඒ නිසා අපි හැම ක්‍රීඩාවකටම සමාන අවස්ථාවක් ලබා දෙන්න මේ වැඩසටහන ක්‍රියාත්මක කළේ."
"එතැනදී අපි දැනුම් දුන්නා සියලුම ක්‍රීඩා සංගම් වලට දක්ෂතාවයක් තියෙන ඕනෑම ක්‍රීඩකයෙක්ට හෝ ක්‍රීඩිකාවකගේ නම ඔවුන්ගේ දෙමව්පියන්ට, පුහුණුකරුට හෝ ඕනෑම කෙනෙක්ට අපට යෝජනා කරන්න කියලා. ඒ විදිහට ක්‍රීඩක ක්‍රිඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගේ නම් අපිට ලැබුණා."
"ඒ වගේම ගිය අවුරුද්ද අවසන් වෙනකොට අපිත් එක්ක හිටිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ක දැන් වෙද්දී 58 දෙනෙකුගේ කණ්ඩායමක් එකතු වෙලා තියෙනවා."
"ඒ විදිහට හදලා තියෙන කණ්ඩායම ඇතුළේ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25 දෙනෙක් ඉන්නවා." ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසීය.
‘ක්‍රීඩා සංගම් වලින් ලැබෙන සහයෝගය අවමයි’
දැනට ආරම්භ කර තිබෙන වැඩපිළිවෙලට ක්‍රීඩා සංගම් හරහා ලැබෙන සහයෝගය ඉතා අවම මට්ටමක පවතින බව ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වරයා කරුණු පැහැදිලි කරමින් පැවසීය.
"මම ගිය අවුරුද්දේ සියලුම ක්‍රීඩා සංගම්වලට දැනුම් දුන්නා ජාත්‍යන්තර තරගාවලි සඳහා යන්න බලාපොරොත්තු වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්නවනම් අවම දින 40 කට කලින් දැනුම් දෙන්න කියලා. "
"ඒ ගමනට අවශ්‍ය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගන්න වගේම ප්‍රමාදයකින් තොරව වීසා ආදිය ලබා ගන්න."
"ඒ ලියුම යැව්ව දවසේ ඉදන් ඒ වගේ දවස් 40 කට කලින් ඉල්ලීම් ලැබුනේ කිහිපයක් විතරයි."
"ඒ වගේම ගොඩක් ක්‍රිඩා සංගම් එනවා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විදෙස් ගතවන්න මුදල් හෝ වෙනත් සහයෝගයක් ඉල්ලගෙන. "
එක් ජාත්‍යන්තර තරගයක් වෙනුවෙන් සහභාගී වෙන්න ක්‍රීඩක ක්‍රීඩිකාවකට අවම රුපියල් ලක්ෂ 10ක් වියදම් වෙනවා. පුළුවන් හැමදේම අපිට තියෙන මුල්‍ය ශක්තිය ඇතුලත කරන් යනවා." ඔහු පැවසුවේය.
‘මේ අවුරුද්දේ වයිල්ඩ් කාඩ් නැහැ’
මෙවර පැරිසියේ දී පැවැත්වෙන 2024 ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත හැක්කේ ක්‍රීඩාවට අදාළ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලින් පමණක් බවද ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසුවේය.
ඒ අනුව ඉදිරි මාස කිහිපය සියලුම තරගකරුවන්ට සහ තරගකාරියන්ට තම තමන්ගේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළට යාම අනිවාර්ය වී ඇති බව ද ඔහු කියා සිටියේය.
“දැන් වයිල්කාඩ් සිස්ටම් එකක් මේ අවුරුද්දේ නැහැ. එතකොට දක්ෂතාවය මත විතරමයි ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබන්න පුලුවන්."
"උදාහරණයක් විදිහට ඔලිම්පික් තරගාවලි නියෝජනය කරපු අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොඩක්ම ගියේ තේරිලා නෙමේ. මේ වයිල්ඩ් කාඩ් ක්‍රමය යටතේයි."
ඒ නිසා අපි මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උනන්දු කරනවා එයාලගේ උපරිම දස්කම් අතරට එන්න කියලා." ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ඉතිහාසය
1948 වසරේදී ඩන්කන් වයිට් විසින් පළමු වරට ඔලිම්පික් පදක්කමක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු නැවත වරක් ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනා දීමට සමත් වුයේ සුසන්තිකා ජයසිංහ ය.
ඇය 2000 වසරේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හිදී පැවති ඔලිම්පික් තරගාවලියේදී එම දස්කම දැක්වීමට සමත් වුවාය.
ඩන්කන් වයිට් සහ සුසන්තිකා ජයසිංහ යන දෙදෙනාම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගාවලියකදි රිදී පදක්කම් ජයග්‍රහණය කිරීමට සමත් විය.