මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කරන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට: 400කට වැඩි ප්‍රතිලාභීන්ට සිදුවන්නේ කුමක් ද?

    • Author, බීබීසී සිංහල

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත සම්මත කර ගත් ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබ තිබේ.

ඊට අදාළ පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් ජනවාරි 7 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව, ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීමට මෙයින් යෝජනා කර ඇත.

එමෙන් ම එම පනතේ විධිවිධාන ප්‍රකාරව 1982 අංක 1 දරන පනතේ 9 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව හෝ 1990 අංක 47 දරන පනතේ 9 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව විශ්‍රාම වැටුපක් ලබන යම් තැනැත්තෙකු, මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ ඉන් පසුව එම විශ්‍රාම වැටුප ලැබීම නතර විය යුතු බව ද එම කෙටුම්පතේ සඳහන් කර තිබේ.

මන්ත්‍රී විශ්‍රාම වැටුප ලැබෙන්නේ කාට ද? කොහොම ද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන විශ්‍රාම වැටුප සහ එය ඉවත් කිරීමට ඉදිරිපත් කර තිබෙන යෝජනාව සම්බන්ධව බීබීසී සිංහල මහාචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවාගෙන් විමසීමක් කළේ ය.

"ජාතික රාජ්‍ය සභාව සම්මත කළා මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කියලා එකක්. 1977 සම්මත කළ මේ පනතෙන් එක දිගට ම අවුරුදු 5ක්, පාර්ල්මේන්තුවේ සේවය කරලා එයාට ලැබෙන දීමනාවෙන් තුනෙන් එකක් තමයි විශ්‍රාම වැටුප හැටියට එයාගේ ජීවිතය කාලය දක්වා හම්බ වෙන්නේ. එයා මියා ගියා ම වැන්දඹුවට හෝ වයස අඩු දරුවන්ට ලැබෙනවා. අවුරුදු 15ක් සේවය කළොත් ඒ ලැබුණ දීමනාවෙන් තුනෙන් දෙකක් ලැබෙනවා. මේ විදියට තමයි විශ්‍රාම වැටුප ලැබෙන්නේ. 1982ත් මේ පනත සංශෝධනය වෙලා යම් යම් දේවල් එකතු වුණා," ඔහු පැවසීය.

වසර 5ක් සම්පූර්ණ කිරීමෙන් පසු ලැබෙන විශ්‍රාම වැටුප

පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා හරිනු ලැබුවහොත් හෝ අවුරුදු 5ක කාලය සම්පූර්ණ නොකළහොත් විශ්‍රාම වැටුපට හිමිකාරිත්වය නොලැබෙන බව ද මහාචාර්යවරයා කියා සිටියේය.

"දැනට 334කට වඩා ගෙවනවා විශ්‍රාම වැටුප. 189කට වඩා ගණනකට ගෙවනවා වැන්දඹු භාර්යාවන් හා දරුවන්ට. එතකොට මේක වැය බරක් හැටියට ගන්නේ. රාජ්‍ය සේවකයෙක් නම් අවුරුදු 40ක් 50ක් යනවා විශ්‍රාම වැටුපක් ලබා ගන්න. පාර්ලිමේන්තුවට, ව්‍යවස්ථා දායකයට එන්නේ වැටුප් බලාගෙනවත් නෙමෙයි, එහෙමත් වැරදියි, ඒක දීමනාවක් දෙන්නේ.

"1977ට පෙර ගොඩක් කාලෙකදි අපි දැකපු දෙයක් තියෙනවා C.W.W. කන්නංගර හිටපු අධ්‍යාපන ඇමතිතුමා මිය යන අවස්ථාවට ඉස්සෙල්ලා බේත් ගන්නවත් සල්ලි තිබුණේ නැහැ. ඒවා ඒ අරමුදල්වලින් හදලා දුන්නා. එහෙම ජීවිත ගෙවලා රට වෙනුවෙන් පරිත්‍යාග කරලා. දැන් මේක අවුරුදු 5ක් ගිය ගමන් කාට හරි කිසි ම සේවයක් නැතිව, අඩු ම ගාණේ ඒගොල්ලෝ සේවයක් හරි කරනවා නම් හරි. එහෙනම් විශ්‍රාම ගිය සංසදයක් හදලා ඒ සංසදය රට වෙනුවෙන් මොනව ද කරන්නේ කියලාවත් නෑ. මගේ තර්කය අනුව නම් ඒක සාධාරණ වෙන්නේ නැහැ," යැයි මහාචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා පැවසීය.

වත්මන් රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමට ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාව සම්මත වුවහොත් ඉදිරියේදී මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප අහිමි වන අතර දැනට විශ්‍රාම වැටුප ලබන පුද්ගලයන් හට ද එය අහිමි වන බව මහාචාර්යවරයා පැහැදිලි කළේය.

දැනට ලැබෙන විශ්‍රාම වැටුප අහිමි කරන්න පුළුවන් ද?

වත්මන් විශ්‍රාම වැටුපට මන්ත්‍රීවරුන්ගේ දායකත්වය ලබා නොගන්නා බවත් එය සම්පූර්ණයෙන් ගෙවනු ලබන්නේ රජය විසින් බව ද ඔහු කියා සිටියේ ය.

"කාට හරි තර්ක කරන්න පුළුවන් මෙවැනි විශ්‍රාම වැටුපක් මෙච්චර කල් ගෙව්වා ඒක අතීතයට බලපාන ලෙස පුළුවන් ද කියලා. ඒක පුළුවන්, මොකද පාර්ලිමේන්තුව තමයි නීති සම්පාදකයා, පාර්ලිමේන්තුව තමයි නීති හදන්නේ, ඉවත් කරන්නේ, සංශෝධනය කරන්නේ, සම්පූර්ණ බලය තියෙනවා. පාර්ලිමේන්තුව කලින් තිබුණ පාර්ලිමේන්තුවලින් බැඳිලත් නෑ."

හදිසි අවශ්‍යතා හෝ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් අරමුදලක් හෝ රක්ෂණයක් ලබා දීම වඩා සුදුසු බව සිය මතය සඳහන් කරමින් ප්‍රතිභා මහානාමහේවා මහාචාර්යවරයා සඳහන් කළේ ය.

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ඉල්ලීම

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති තීන්දුව ගැන නැවත සලකා බලන මෙන් විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී රජයෙන් ඉල්ලීමක් කර තිබිණි.

විශ්‍රාමික මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් 490ක් පමණ මෙම විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබන බවත් අතර ප්‍රධාන පෙළේ පක්ෂ නායකයන් 4 දෙනෙකු ද ඊට අයත් බව ත් ඔහු එම ඉල්ලීමේ සඳහන් කළේ ය.

'අපි නැවතත් ජනාධිපතිතුමාට ඉල්ලීමක් කරනවා'

කෙසේ වෙතත් මීට පෙර කළ ඉල්ලිමට රජය පාර්ශවයෙන් ප්‍රතිචාරයක් නොලැබුණ බවත් මේ පිළිබඳව යළි ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කරන බවත් විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය බීබීසී සිංහල වෙත පැවසීය

"අපි නැවතත් ගරු ජනාධිපතිතුමාට ඉල්ලීමක් කරනවා මේ ගැන. මම හිතන්නේ සමහර සාමාජිකයින් නීතියේ පිහිට පතන්න ඉඩ තියෙනවා. අපේ මතය වෙන්නේ මන්ත්‍රීවරු රාශියක් ම ගුරු සේවයෙන් වගේ ආවේ අස් වෙලා. ඒ අයට එහෙ පෙන්ෂන් එකත් නැහැ, මෙහෙ පෙන්ෂන් එකත් නෑ.

අපේ මතය වෙන්නේ සෑම මන්ත්‍රීවරයෙක් ම හොරෙක් නෙමෙයි කියලා. හරි ම අහිංසක තත්ත්වයේ ඉන්න කට්ටියත් ගොඩක් ඉන්නවා. ඉතාම සුළු කොටසක් පමණයි තමන්ට ලැබෙන විශ්‍රාම වැටුප පුණ්‍ය කටයුතු සඳහා යොදන්නේ. ජ්‍යෙෂ්ඨ පක්ෂ නායකයෝ වුණත් මේ විශ්‍රාම වැටුප ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා," යැයි හිටපු කාතානායකවරයා සඳහන් කළේ ය.