මැති ඇමති වරප්‍රසාද කප්පාදු කරන NPP යෝජනා විපක්ෂයෙන් ගේන්නේ ඇයි?

වත්මන් ආණ්ඩුව බලය ලබා ගැනීමට දුන් පොරොන්දු අතර පාර්ලිමේන්තු මහජන නියෝජිතයන් භුක්ති විඳින වරප්‍රසාද කප්පාදුවට ප්‍රධාන තැනක් හිමි විය.

හිටපු ජනපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම, ඔවුන්ට නිල නිවාස ලබා නොදීම ආදී යෝජනා ද ඒ අතර වේ.

මෙහි එක් පියවරක් ලෙස පාර්ලිමේන්තු අවන්හලේ ආහාර සඳහා වූ මිල රුපියල් 2,000ක් දක්වා වැඩි කිරීමට පියවර ගනු ලැබිණි.

කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුව බලයට පත්වී මාස තුනකට ආසන්න කාලයක් ගතවත් ම ආණ්ඩුව පක්ෂය දුන් පොරොන්දුවලට අදාළ යෝජනා විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබමින් සිටියි.

වරප්‍රසාද කප්පාදු කරන රවීගේ යෝජනාව මොකක් ද?

එහි කැපී පෙනෙන සිදුවීමක් ලෙස රවී කරුණානායක මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ජනවාරි 7 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් ක⁣ළේ ය.

ඊට ප්‍රතිචාර දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ, ⁣මෙම යෝජනාවට තමන් පක්ෂ බව ත් ඉන් අතීතයට බලපෑමක් සිදු නොවන බව ත් ය.

"මේ ගේන යෝජනාව ඉතිහාසයට බලපාන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔබතුමාට බලපාන්නෙ ම නෑ කොහොමත්. ඔබතුමාලා 39 දෙනෙකුට ම විශ්‍රාම වැටුප හම්බ වෙනවා. ඒක නිසා කකුල් දෙක ම ඉස්සුවත් වැඩක් නැහැ," මන්ත්‍රීවරයා පැවසීය.

සමාජයේ ඇතිව තිබෙන විරෝධයට ප්‍රතිචාරයක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

"මිනිස්සු අතර විරෝධතාවක් තියෙනවා මන්ත්‍රීවරුන්ට මේක දෙනවා කියලා. සමාජ විරෝධය තුළ මන්ත්‍රීවරුන්ට තියෙන විශ්වාසය සහ ආකල්පය තුට්ටු දෙකට වැටිලා තියෙන්නේ."

"මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගන්න, කියන එක නෙමෙයි කරන එක තමයි වැදගත් වෙන්නේ," යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයේ වාහන ලබා දීම හෝ වාහන මිලට ගැනීමට බලපත්‍ර ලබා දීම අහෝසි කිරීමේ යෝජනාවක් ද රවී කරුණානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් යනු කුමක් ද?

පෞද්ගලික මන්ත්‍රීවරයෙකු යනු කතානායක, නි‌යෝජ්‍ය කතනායක, නි‌යෝජ්‍ය කාරක සභා සභාපති, අග්‍රාමාත්‍ය, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය, අමාත්‍ය මණ්ඩලයේ නොවන අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තුවේ සභානායක, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශවයේ නායක, ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායක සහ විරුද්ධ පාර්ශවයේ ප්‍රධාන සංවිධායක යනාදී කිසිදු ධූරයක් නොදරන මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් වෙයි.

එහි දක්වා ඇති පරිදි කිසියම් පෞද්ගලික මන්ත්‍රීවරයෙකු විසින් ඉදිරිපත් කරනු ලබන විවිධ විෂයන් හා සම්බන්ධ‌ වැදගත් කාරණා පිළිබඳ ‌යෝජනා පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ ‌යෝජනා ලෙස හඳුන්වනු ලැබේ.

එවැනි යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාද කිරීම ‌හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු‌ කරනු ලබයි.

විජිත හේරත් මීට පෙර ගෙන ආ යෝජනාව

මීට පෙර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත් හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ 2001 වසරේදී ද මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළ බව ලක්ෂ්මන් නිපුණ ආරච්චි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ය.

"2001 විජිත හේරත් සහෝදරයා මන්ත්‍රීවරයා හැටියට ඔය යෝජනාව ගෙනල්ලා තියෙනවා. ඒ නිසා අපි මේ අපිට හම්බවෙන විශ්‍රාම වැටුපට ගිජු කමින් ඉන්නවා නම් 2001 ඒ යෝජනාව ගේන්නේ නෑ," ඔහු පැවසීය.

රවී කරුණානායක මන්ත්‍රීවරයා ගෙන එන ලද යෝජනා යථාර්තයක් බවට පත් කළ යුතු බව ද නිපුණ ආරච්චි මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

ආණ්ඩු පක්ෂයේ සියලු දෙනාගේ සහය

රවී කරුණානායක මන්ත්‍රීවරයා විසින් ගෙන එන ලද යෝජනාවට ආණ්ඩු පක්ෂයේ සියලු දෙනාගේ සහය හිමිවන බව අගමැති හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී පැවසුවා ය.

රටේ ජනතාව සහ ආණ්ඩු පක්ෂය කතා කරන වෙනස සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් තමන් සමග එකට සිට ගැනීමට සූදානම් වීම සම්බන්ධයෙන් එහිදී අගමැතිවරිය සිය සතුට ප්‍රකාශ කළා ය.

"නමුත් විපක්ෂයේ කතා කරපු මන්ත්‍රීවරුන්ගේ කතාව අහගෙන ඉන්නකොට රවී කරුණානායක මන්ත්‍රීවරයා ඉදිරිපත් කරපු ඒ යෝජනාවටවත් සාධාරණය ඉෂ්ඨ කරන්න බැරි වෙලා තියෙනවා විපක්ෂයේ ඉන්න සමහර මන්ත්‍රීවරුන්ට. නමුත් මම කියන්න කැමතියි ආණ්ඩු පක්ෂයේ අපි 158 දෙනා ම ඔබ ගෙනාපු මේ යෝජනාවට පක්ෂයි."

'දේශපාලන වාසි ගන්න ගෙනා යෝජනාවක්'

රවී කරුණානායක මන්ත්‍රීවරයා ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශවයේ අදහස් විමසීමට බීබීසි සිංහල සේවය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල සම්බන්ධ කර ගත්තේ ය.

"අපි නේ මේක ගෙනාවේ, එයාලා ඉතින් දේශපාලන වාසි ගන්න ඔය එක එක ඒවා ගෙනාවට අපේ උවමනාවක් තියෙනවානේ ඒක නැති කරන්න කියලා," ඔහු පැවසීය.

මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබා දීම දැනටමත් අහෝසි කර ඇති බව කී ඇමතිවරයා මන්ත්‍රීවරුන්ට වාහනයක් ලබා දිය යුතු බවට අදහසක් රජයට ඇතැයි ද සඳහන් කළේ ය.

"අපි ප්‍රධාන තුනක් තමයි දීර්ඝ කාලයක් තිස්සේ කතා කළේ. එකක් තමා බලපත්‍රය, දෙවෙනි එක විශ්‍රාම වැටුප. තුන තමා අමාත්‍යවරුන්ගේ නිල නිවාස. නිල නිවාස ඉවත් කරලා තියෙනවා, පර්මිට් එක අහෝසි කරලා තියෙනවා. විශ්‍රාම වැටුප පිළිබඳව අධ්‍යයනයක් කරන්න තමයි චිත්‍රසේන කමිටු වාර්තාව ආවාම ඒක අනුව අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කරලා තීන්දු කරනවා," යැයි ඇමතිවරයා පැවසීය.

වාහන බලපත්‍ර අහෝසි කළේ කවුද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීමට බලපත්‍ර ලබා නොදීම තවමත් ක්‍රියාත්මක වන්නේ පසුගිය ආණ්ඩුවේ තීරණයක් ලෙස දැයි බීබීසි සිංහල සේවය අමාත්‍යවරයාගෙන් විමසා බැලීය.

"පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයෙන් අලුත් ආණ්ඩුවක් ආවා ම චක්‍රලේඛයක් නිකුත් කරනවා ඒක අවුරුදු පහට ම වලංගුයි. අපි චක්‍රලේඛනයක් නිකුත් කළේ නැහැ. අර කාලේ වලංගු වෙලා තිබුණා, ඒ කලේ ගෙනාවේ නැත්තේ වාහන නොගෙනේම හින්දානේ. නැතුව ප්‍රතිපත්තියක් විදියට දෙන්නේ ඕනේ නෑ කියන අදහසින් නෙමෙයි.

"අපි මෙතන වාහන ගෙන්වන්න සූදානම් වෙලා තියෙද්දිත් අපි කිව්වේ ප්‍රතිපත්තියක් හැටියට බලපත්‍රය දෙන්නේ නැහැ කියලා," යැයි අමාත්‍යවරයා පැහැදිලි කළේ ය.

කෙසේ වෙතත් මන්ත්‍රීවරුන්ට රාජකාරී කිරීමට විලංගු දැමීමේ සූදානමක් ආණ්ඩුවට නැති බව ද අමාත්‍යවරයා පැවසීය.

ඇතැම් වරප්‍රසාද අණ පනත් හරහා ලැබී ඇති බැවින් ඒ අනුව කටයුතු කිරීමට පියවර ගන්නා බව ආනන්ද විජේපාල ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.