ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මැති, ඇමති වරප්‍රසාද කප්පාදුව සහ වැටුප් ගැන පක්ෂ,විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මතය
වර්තමාන රජය බලයට පැමිණීමට පෙර මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරවල කැපී පෙනුණු එක් මැතිවරණ පොරොන්දුවක් වූයේ, බලයට පැමිණීමෙන් පසුව ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කපා හැරීම ය.
ඔවුන් ස්වේච්ඡාවෙන් මහජන සේවයේ යෙදන බවට ද ඇතැම් වේදිකාවල කියැවුණු අවස්ථා තිබේ.
පසුගිය ජනවාරි 21 වන දින ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායකගේ අත්සනින් යුතුව සියලු ම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත යොමු කළ ලිපියක, අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා ලබා දෙන පහසුකම් සම්බන්ධයෙන් මාර්ගෝපදේශනයක් ඇතුළත් කර තිබිණි.
එමෙන් ම පාර්ලිමේන්තු ආපන ශාලාවේ දිනක ආහාර වේලක මිල රු. 450.00 (උදෑසන ආහාර රු.100.00, දිවා ආහාර රු.300.00 හා තේ පානය සමග කෙටි කෑම රු.50.00) සිට රු. 2000.00ක් දක්වා (උදෑසන ආහාර රු.600.00, දිවා ආහාර රු.1,200.00 හා තේ පානය සමග කෙටි කෑම රු.200.00) ඉහළ දැමීමට ද අනුමැතිය හිමිව ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක ප්‍රකාශ කළේ ය.
මෙම සීමාකිරීම් දිගු කාලීනව ක්‍රියාත්මක කිරීම ප්‍රයෝගික ද යන්න පිළිබඳවත්, කාර්ය මණ්ඩල සංඛ්‍යාව අඩු කිරීම සම්බන්ධයෙනුත් මේ වන විට යම් සාකච්ඡාවක් සමාජ මාධ්‍ය තුළ ඇතිව තිබේ.
අමාත්‍ය කාර්ය මණ්ඩලය
ජනාධිපති ලේකම්වරයා ලබා දී ඇති උපදෙස්වලට අනුව අමාත්‍යවරයෙකුට කාර්ය මණ්ඩලය සඳහා 15 දෙනෙකු ද නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට කාර්ය මණ්ඩලය 12 දෙනෙකු ද තබා ගත හැකි ය.
අමාත්‍ය කාර්ය මණ්ඩලය 15ක් ලබා දීම සම්බන්ධයෙන් වර්තමාන ජනාධිපතිවරයා විපක්ෂයේ සිටි කාල සීමාවේදී විවේචනයන් එල්ල කිරීම විශේෂත්වයකි.
කෙසේ නමුත් ඇතැම් පිරිස් සමාජ මාධ්‍යයේ අදහස් දක්වා තිබුණේ අමාත්‍යවරුන් ජනතාවට සේවය කිරීම සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් පවත්වාගැනීම වැදගත් බව ය.
මෙම තනතුරු සඳහා අමාත්‍යවරයාගේ හෝ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයන් හෝ සමීප ඥාතීන් පත් නොකර ගත යුතු බවට ද එහි දක්වා තිබේ.
එම කාර්ය මණ්ඩල තනතුරු සඳහා පවත්වාගත යුතු කොන්දේසි ද මෙම මාර්ගෝපදේශයේ ඇතුළත් අතර, එහි සඳහන් ආකාරයට අතිකාල දීමනාවලට හිමිකම් ලබන රියැදුරන් ඇතුළු කාර්ය මණ්ඩලයට මාසිකව ලැබිය හැකි උපරිම අතිකාල සීමාව පැය 180කි.
වාහන සහ ඉන්ධන
ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් භාවිත කරන වාහන සම්බන්ධයෙන් ජනවාරි 23 වන දින ද පාර්ලිමේන්තුවේ උණුසුම් විවාදයක් ඇති වූ අතර, එහිදී විපක්ෂ මන්ත්‍රී චාමර සම්පත් දසනායක පැවසුවේ, එක ඇමතිවරයෙකු මේ වන විට භාවිත කරන්නේ රේන්ජ් රෝවර් වර්ගයේ වාහනයක් බව ය.
එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය තුළ එවැනි වාහන නවත්වා ඇති බව ය.
එයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන බව ය.
එහිදී ඇමතිවරුන්ට ලබා දී ඇති මාසික ඉන්ධන කෝටාව සම්බන්ධයෙන් ද විපක්ෂය ප්‍රශ්න කළ අවස්ථාවේදී සිය කාර්යාලයෙන් විශාල ඉන්ධන වියදමක් මේ වන විට ඉතිරි කර ඇති බව අග්‍රාමාත්‍යවරිය පිළිතුරු දෙමින් පැවසුවා ය.
අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ භාවිතයට උපරිම වාහන දෙකක් දක්වා පරිහරණය කළ හැකි බව ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශයේ දැක්වේ.
එහි දැක්වෙන ආකාරයට මෙම වාහන සඳහා උපරිම ඉන්ධන ප්‍රමාණය ඉන්ධන ලීටර් 900කි.
දැනට පවතින මිල ගණන් අනුව උපකල්පනය කළහොත්, මාසිකව ඔක්ටේන් 95 ලීටර 900කට වැයවන මුදල රු. 333,000ක් වන අතර, ඩීසල් ලබාගතහොත් ඒ සඳහා යන වියදම රු. 257,400කි.
දුරකතන
අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට කාර්යාලය සඳහා දුරකතන 02ක්, නිවසට දුරකතනයක්, එක් ජංගම දුරකතනයක් සහ කාර්යාලයට ෆැක්ස් යන්ත්‍රයක් ලබා ගැනීමේ අවස්ථාව හිමි ය.
මාසික ස්ථාවර ගාස්තු සහ බදු මුදල් හැර කාර්යාලයේ සහ නිවසේ දුරකතන සඳහා මාසිකව ගෙවනු ලබන්නේ රු. 20,000ක් පමණක් වන අතර, ජංගම දුරකතනයට ලබා දෙන්නේ, රු. 10,000ක් පමණි.
අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා භාවිත කරන සියලු දුරකතන බිල්පත් ඉහත මුදලට යටත් විය යුතු අතර, විදේශ රටවල් සඳහා ලබා ගන්නා ඇමතුම් ද එයට ඇතුළත් විය යුතු බව දක්වා තිබේ.
මීට අමතරව පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම් සහ මහජන සම්බන්ධතා නිලධාරී යන අයට කාර්යාලීය දුරකතනයක් සහ ජංගම දුරකතනයක් බැගින් හිමි වන අතර, පෞද්ගලික ලේකම් සහ මාධ්‍ය ලේකම් යන දෙදෙනාට කාර්යාලීය ෆැක්ස් යන්ත්‍රයක් හිමි වේ.
මෙම කාර්ය මණ්ඩල නිලධාරීන් භාවිත කරන සියලු දුරකතන සඳහා ගෙවනු ලබන්නේ පෞද්ගලික ලේකම්වරයාට රු.6,000ක් සහ අනෙක් තිදෙනාට 5,000 බැගින් ය.
එයට කාර්යාල දුරකතන, ජංගම දුරකතන සහ ෆැක්ස් යන්ත්‍රවල සියලු ගාස්තු හා විදෙස් රටවල්වලට ගනු ලබන බිල්පත් ද ඇතුළත් වේ.
පාර්ලිමේන්තුවේ ආහාර සහ වැටුප්
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුගේ ආහාර සඳහා දිනකට අය කරන රු.450ක මුදල රු.2000 දක්වා ඉහළ දැමීමට පාර්ලිමේන්තුවේ ගෘහකාරක සභාව තීරණය කර තිබෙන අතර එය පෙබරවාරි 05 වන දා සිට ක්‍රියාත්මක වීමට නියමිත ය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ යෝජනාවකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට උදෑසන සහ දිවා ආහාර වේල් හා සවස තේ පානය සඳහා යන මුදල මෙලෙස ඉහළ දැමූ බව නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ය.
පෙබරවාරි සහ මාර්තු මාසවලදී අයවැය විවාද පැවැත්වීමට නියමිත අතර, එම දිනවල මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ආපන ශාලාවෙන් ආහාර ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, දිනකට රු.2000 බැගින් සති කිහිපයක් එම වියදම දැරීමට සිදුවන අතර, එම දින 28 සඳහා එක මන්ත්‍රීවරයෙකුට වැයවන මුදල රු. 56,000කි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මාසික වැටුප ද රු.51,000කි.
පසුගිය ජනවාරි 20 වන දින මහජන සම්බන්ධතා කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවකට පැමිණ සිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේ වැටුප් බොරැල්ල මහජන බැංකුවේ ගිණුමකට බැරවන බව යි.
"ජාතික ජනබලවේගයේ ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ සියලු දීමනා එක ගිණුමකට යන්නේ. ඒක වෙනස් වෙන්නේ නෑ. නිහාල් ගලප්පත්තිගෙන් පටන් ගත්ත ඒ ගමන වෙනස් කරන්නේ නැතිව අපි පවත්වාගෙන යනවා. ජනාධිපතිවරයා ත් එහෙමයි," ඔහු පැවසීය.
එම ගිණුම සම්බන්ධයෙන් මාධ්‍යවේදියා නැවත ප්‍රශ්නයක් විමසු විට, "බොරැල්ලේ මහජන බැංකුවේ තියෙන ගිණුමකට ගියාට පස්සේ ඒ එකතු වෙන සල්ලිවලිනුත් ජනතා සේවය තමයි කරන්නේ," යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නේ ය.
කෙසේ නමුත් මෙම තත්ත්වය යටතේ ආණ්ඩු පක්ෂයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යම් අපහසුතාවන්ට මුහුණ දෙමින් සිටින බවට ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වා තිබිණි.
ජනතා නියෝජිතයින්ට ජනතාවට සේවය කිරීමට ප්‍රමාණවත් තරම් පහසුකම් ලබා නොදීම නිසා නරක ප්‍රතිඵල ඇති විය හැකි බවට ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් අදහස දක්වා තිබෙනු එහිදී නිරීක්ෂණය විය.
'කෑම මිල ගණන් අපට තව ම දැනුම් දීලා නෑ'
ඔහු මීට පෙර පැවසූ පරිදි මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ මාසික වැටුප් පක්ෂයේ ගිණුමකට බැර වන්නේ නම් මන්ත්‍රීවරුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ නඩත්තුව වෙනුවෙන් පක්ෂය කිසියම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙන්නේ දැයි බීබීසී සිංහල සේවය මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගලගෙන් විමසීමක් කළේ ය.
එහිදී ඔහු ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ජාතික ජන බලවේගය ඔවුන්ව දැනුවත් කිරීමක් සිදු කරනු ඇති බවට ය.
"තව ම පාර්ලිමේන්තුවේ කෑම මිල ගණන් වෙනස් වුණු බව අපට දැනුම් දීලා නෑ. තවම ගෘහකාරක සභාවේ තීරණයක් විතරයි තියෙන්නේ. ඉදිරියේ දිනක ඒක ක්‍රියාත්මක වෙනකොට බලමු," නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව මේ වන විට එය ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත දිනයක් ලබා දී ඇති බව බීබීසී සිංහල විසින් එහි දී මතු කරන ලදී.
"මෙහෙම යි, නිශ්චිත අදහසක් මට දැන් කියන්න අමාරු යි. එකට ඉතින් ඉදිරි වැඩපිළිවෙළක් ගැන අපිව දැනුවත් කරාවී," යයි ඔහු එයට පිළිතුරු දෙමින් පැවසීය.
එහිදී අප විමසා සිටියේ ඇමතිවරුන්ගේ සහ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ අත්‍යවශ්‍ය පහසුකම් සිමා කිරීම ඔවුන්ගේ රාජකාරියට බාධාවක් නොවන්නේ ද යන්නයි.
"දැනට ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තියෙනවා මේ දේවල් අඩු කරන්න. ඒ දේවල් ප්‍රමාණවත් නැතිනම් ඒක ඒ වෙලාවට බලමු." ඔහු කියා සිටියේය.
'වැඩ කරන්න වරප්‍රසාද අවශ්‍ය නෑ'
බීබීසී සිංහල විසින් සිදු කළ විමසීමකදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ පැවසුවේ, මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම කළ යුත්තක් බව ය.
"මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කළ යුතු යි. විශේෂයෙන් ම ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ කාලේදී සහ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේදී වරප්‍රසාද විශාල වශයෙන් වැඩි කළා. මන්ත්‍රීවරුන් ඇමතිවරුන් වීම සාමාන්‍ය ජනතාවගෙන් ඈත්වුණු විශාල ප්‍රභූ තත්ත්වයක් බවට පත්වුණා. ඒක වෙනස් කිරීම ඉතා වැදගත්," මහාචාර්යවරයා පැහැදිලි කළේ ය.
"එහෙම ලබා දෙන එකෙන් ඔවුන් හිතනවා එක දේශපාලන වෘත්තියේ අයිතියක් කියලා. ඒක සම්පුර්ණ වැරදි මතයක්."
මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ දශක කිහිපයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වර්තමානයේ තරම් වරප්‍රසාද නොතිබුණ ද ඔවුන් සිය වගකීම් ඉෂ්ට කළ බවයි.
"වැඩ කරන්න වරප්‍රසාද අවශ්‍ය නෑ. මට මතකයි එක්දාස් නවසිය හැට ගණන්වල හැත්තෑ ගණන්වල මන්ත්‍රීවරුන් ගමන් කළේ කෝච්චියේ, බස් එකේ. එහෙමත් නැතිනම් කුලී ටැක්සි එකක. ඒ අය වැඩ නොකර හිටියේ නෑනේ."
මන්ත්‍රී විශ්‍රාම වැටුප ද වර්තමානයේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදයක් බවට පත් වී තිබෙන නමුත්, එය ආරම්භ වූයේ ආර්ථික හැකියාව අතින් දුර්වල මන්ත්‍රීවරුන්ට සහනයක් වීමට බව මහාචාර්ය ජයදේව උයන්ගොඩ පැහැදිලි කළේ ය.
"මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපත් හැම දා ම තිබුණු දෙයක් නොවෙයි. 1947 මැතිවරණයෙන් කොමියුස්ට් පක්ෂයේ නියෝජිතයෙක් විදිහට හක්මන හෝ දෙවුන්දර ආසනයේ මන්ත්‍රීවරයෙක් විදිහට ප්‍රේමලාල් කුමාරසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. ඔහු 1952න් පසුව පාර්ලිමේන්තුවට පත් වුණේ නෑ. නමුත් 1980 ගණන්වල ඔහු ජීවත් වෙන්නවත් අමාරු ආර්ථික තත්ත්වයක හිටියේ. ඒ වගේ ආර්ථික හැකියාව අඩු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් හිටියා," මහාචාර්යවරයා පවසයි.
"ඒ වගේ දුප්පත් මන්ත්‍රීවරුන්ට සහනයක් වෙන්න ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා සමග ඒ කාලේ මන්ත්‍රීවරුන් සාකච්ඡා කරලා එවැනි මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් දෙන්න පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා. නමුත් අද විශ්‍රාම වැටුප කියන එක ඔවුන්ගේ වරප්‍රසාදයක් හැටියටයි සලකන්නේ."
'ජනතාවට සේවය කරන්න වරප්‍රසාද ගත්තාට විපක්ෂය විරුද්ධ නෑ'
මැති ඇමති වරප්‍රසාද පිළිබඳ විපක්ෂයේ මතය විමසීමට අප සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සම්බන්ධ කරගත් අතර, මන්ත්‍රීවරයා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීම් ඉෂ්ට කිරීමට ප්‍රමාණවත් පහසුකම් කප්පාදුවකින් තොරව තිබිය යුතු බව යි.
"වර්තමාන ආණ්ඩුව ජනතාවගේ ඡන්දේ ගත්තේ මන්ත්‍රීවරු වරප්‍රසාද භුක්ති විඳිනවා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැන විශාල වෛරයක් ඇති කරලා. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සමහර වරප්‍රසාද දීලා තියෙන්නේ මිනිස්සුන්ට වැඩ කරන්න," මන්ත්‍රීවරයා පැවසීය.
"මේ අය වාහන ගැන කතා කළාට මන්ත්‍රීවරුන්ට 2015න් පස්සේ වාහන බලපත්‍රයක් දීලා නෑ. මන්ත්‍රීවරුන්ට දෙන මාදිවෙල නිවසක් කියන්නේ ඉතාම අඩු පහසුකම් සහිත නිකන් කඩකාමරයක් වගේ පොඩි කෑල්ලක්. නමුත් මිනිස්සුන්ගේ ඔලුවේ හදලා තියෙන්නේ මාදිවෙල කියන්නේ සැප පහසුකම් තියෙන තැනක් කියලා."
"පසුගිය පාර්ලිමේන්තුවේ සාමාන්‍යයෙන් 17 දෙනෙක් සහ දවල්ට 65ක් 70ක් වගේ තමයි පාර්ලිමේන්තු ආපනශාලාවෙන් කෑම ගත්තේ. නමුත් දැන් ඒක උදේට 80ක් සහ දවල්ට 175ක් විතර වෙන්න වැඩි වෙලා තියෙනවා," මන්ත්‍රී නලීන් පැවසුවේ ය.
ඔහු පවසන්නේ ආහාර වේලක මිල වැඩි කිරීම ප්‍රයෝගික නොවන බවයි.
"එක පාරට කෑම වේල 2,000ක් කරන එක ප්‍රයෝගික නෑ. මන්ත්‍රී කෙනෙකුට පාර්ලිමේන්තුව යන අතරතුර එළියට ගිහින් කාලා එන්න බෑ. අඩුම ගානේ මන්ත්‍රීවරයෙක්ට එක කෑම වර්ගයක් තෝරාගෙන ඒකෙ මුදල ගෙවලා කන්න හරි තෝරාගැනීමක් දෙන්න අවශ්‍යයි," ඔහු පැවසුවේ ය.
ඇමතිවරුන් ජනතාවට සේවය කිරීමට අවශ්‍ය පහසුකම් භාවිතයට ගැනීමට විපක්ෂය විරුද්ධ නොමැති බව ඔහු පැවසුවේ ය.
"අපි කියන්නේ නෑ ඇමතිලා වාහන පාවිච්චි කරන්න එපා කියලා. V8 වලට ඒ කාලේ බැනපු ය දැන් රේන්ජ් රෝවර්වල යන්නේ. ඒක ඊට වැඩිය වියදමක්."
"අපි කියන්නේ ජනතාවට සේවය කරන්න අවශ්‍ය දේවල් කරන්න කියලා. මේ අයම තමයි මේවා කිව්වේ බලයට එන්න කලින්. ඒ නිසා දැන් මේවා ප්‍රයෝගික නොවුණත් ක්‍රියාත්මක කරන්න වුන එකක් තමයි වෙලා තියෙන්නේ."
'වරප්‍රසාද සම්බන්ධ කිසිම ප්‍රශ්නයක් මන්ත්‍රීවරුන් නගලා නෑ'
කෙසේ නමුත් සිය පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිසිවෙකුටත් මේ වන තෙක් වරප්‍රසාද කප්පාදුව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වී නැතැයි බීබීසී සිංහල සේවය සිදුකළ අදහස් විමසීමක දී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පැවසුවා ය.
"අපි ඡන්දය ඉල්ලන විට ම කියපු දෙයක් තමයි මහජන නියෝජිතයින්ගේ වරප්‍රසාද සාධාරණ විදිහට සොයා බැලීමක් කරලා වැඩිපුර තියෙන වරප්‍රසාද කපා හරිනවා කියන එක. ඒක අපේ ජනවරමේ කොටසක්," මන්ත්‍රීවරිය පැවසුවා ය.
"පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, නියෝජ්‍ය ඇමතිවරුන්ට හෝ ඇමතිවරුන්ට කාටවත් වැඩ කරන්න බැරි විදිහට කප්පාදු කරලා නෑ කිසි ම දෙයක්."
මහජන නියෝජිතයන් පෙනී සිටින්නේ පොදු අරමුණක් නිසා ඒ කාර්යයන් සඳහා අවශ්‍ය පහසුකම් ලබා දී අනවශ්‍ය වරප්‍රසාද කප්පාදු කර ඇති බව මන්ත්‍රීවරිය පැවසුවා ය.
"මම හිතන්නේ ජාතික ජනබලවේගයේ ඇමතිවරුන්ට, නියෝජ්‍ය ඇමතිවරුන්ට ඒක ප්‍රශ්නයක් නොවෙයි. වරප්‍රසාද සම්බන්ධ කිසිම ප්‍රශ්නයක් මන්ත්‍රීවරුන් නගලා නෑ. විපක්ෂයේ කාට හරි ඒක ප්‍රශ්නයක් නම් ඒක ඒ අය පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරන්න ඕනෑ."
මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වැටුප් සාමූහික ගිණුමකට බැර නොවන බව මන්ත්‍රීවරිය බීබීසී සිංහල විසින් විමසූ පැනයකට පිළිතුරු දෙමින් පැවසුවා ය.
"අපි හැමෝගෙම පඩිය අපි පක්ෂයට ලබා දෙන්නේ. සාමූහිකව බැර වීමක් සිදුවෙන්නේ නෑ," මන්ත්‍රීවරිය පැවසුවා ය.
"ඒක තමයි අපේ පක්ෂයේ සංස්කෘතිය. අපි පොදු අරමුණු වෙනුවෙන් තමයි වැඩ කරන්නේ. අපි අපේ සම්පත් සාමූහිකව තමයි පරිහරණය කරන්නේ. මන්ත්‍රී වැටුප හෝ ඕනම දෙයක් අපි පොදු අරමුණකට යටත් කරලා තියෙන්නේ."
"අපේ පක්ෂයේ මන්ත්‍රීවරු වගේම මන්ත්‍රීවරු නොවන සහෝදර සහෝදරියෝ අති විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ හැම සහෝදර සහෝදරියකට ම අපි වග වෙනවා, ඒ නිසා අපි ඒ පොදු අරමුණට කැපවෙනවා මිසක අපේ පෞද්ගලික අරමුණු ගැන අපි කවුරුත් හිතන්නේ නෑ. " මන්ත්‍රීවරිය එහිදී කියා සිටියාය.