නාන කාමරයේ ලිස්සා වැටී දත් බුරුසුවේ කෙඳි කොටස ගෙළේ සිරවූ පුද්ගලයෙකු බේරා ගත් හැටි

    • Author, තාරක සම්මාන්
    • Role, බීබීසී සිංහල

දත් මැදීම අතිශය සරල කාර්යයක් ලෙස පෙනුණ ද, එය ප්‍රවේශම්සහගතකව සිදු කළ යුතු බව සිතා බැලීමට ප්‍රේමලාල්ට සිදු වූයේ පසුගිය දා ඔහු මුහුණ දුන් වේදනාත්මක අත්දැකීමක් හේතුවෙනි.

මීට දින කිහිපයකට ඉහතදී උදෑසන දත් මදිමින් නාන කාමරය වෙත ගිය ඔහු එකවර එහි ලිස්සා වැටිණි. එය ඔහු අතිශය තැතිගන්වනසුලු අනතුරක් විය.

අනතුරට ලක්වන මොහොතේ ඔහුගේ මුඛය තුළ වූ දත් බුරුසුව දෙකට කැඩී ගොස් තිබුණේ, එහි හිස කොටස ඔහුගේ උගුර තුළ සිර වෙමිනි.

"අභියෝගාත්මක" ශල්‍යකර්මයකට පසු වෛද්‍යවරු ඔහුගේ ජීවිතය රැක ගැනීමට සමත් වූහ.

මෙම අනතුරට මුහුණ දුන් මාතර ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි විශ්‍රාමික රාජ්‍ය සේවකයෙකු වන U.H. ප්‍රේමලාල් සමග සංවාදයක නිරත වීමට බීබීසී සිංහලට අවස්ථාව හිමි විය.

'බුරුසුව සම්පූර්ණයෙන් ම කට ඇතුළට ගියා'

ජනවාරි 23 වන දින උදෑසන දවසේ රාජකාරි ආරම්භ කිරීමට ප්‍රථම ප්‍රේමලාල් දත් මදිමින් සිය නිවසේ නාන කාමරය වෙත ගොස් තිබිණි.

"මම දත් මැද මැද බාත්රූම් එකට ගියා. යද්දී මම ලිස්සලා වැටුණා මුනිං අතට," ඔහු, තමා මුහුණ දුන් අනතුර පිළිබඳව විස්තර කිරීම ආරම්භ කළේ බීබීසී සිංහල සමග දුරකතනය ඔස්සේ සම්බන්ධ වෙමිනි.

සුවය ලබා නිවසට පැමිණ සුළු වේලාවකින් ඔහු අප සමග දුරකතනය ඔස්සේ ඔහු මුහුණ දුන් අනතුර ගැන අදහස් පළ කළේ ය.

"වැටුණා ම බුරුසුව සම්පූර්ණයෙන් ම කට ඇතුළට ගියා. පොඩි කොනක් මිටේ ඉතුරු වුණා. මම අදිනවා අදිනවා එන්නේ නැහැ. මම ඇද්ද පාර හිස කොටස ඇතුළේ, මිට ආවා අතට," ඔහු පැවසීය.

වැඩි වේලා නොගොස් තමා මුහුණ දී ඇති බරපතළ අනතුරුදායක තත්ත්වය ඔහුට අවබෝධ වී තිබිණි.

"ඊට පස්සේ මම දැන ගත්තා හානිය වැඩියි කියලා, ඒ වුණාට මට මුකුත් දැනුමක් නැහැ."

ඒ අනුව, ඔහු කඩිනමින් මාතර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත යොමු වී තිබුණේ, ප්‍රතිකාර ලබා ගැනීමටත් "උගුරේ" සිර වී ඇති දත් බුරුසුවේ හිස කොටස ඉවත් කර ගැනීමත් සඳහා ය. නමුත් ඔවුන් ඔහුට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ බව ඔහු බීබීසීය වෙත පැවසීය.

"ඒ අයට මේක බලන්න බැහැ කිව්වා. භයානක යි කිව්වා. ඊට පස්සේ මම ගියා මාතර මහ රෝහලට. ඒකේ හදිසි අනතුරු අංශයට ගියා ම එතන ඩොක්ටර් කෙනෙක් මාව දැම්මා 11 වාට්ටුවට. ඊට පස්සේ 11 වාට්ටුවෙන් බඩ යි, පපුව යි බැලුවා."

නමුත් ප්‍රේමලාල් පවසන පරිදි ඔවුන්ට ද දත් බුරුසුවේ කොටස සොයා ගැනීමට නොහැකි වී තිබිණි.

"මුකුත් නැහැ කිව්වා. ඊට පස්සේ ඩොක්ටර් මට කිව්වා, ඔයා කැමති නම් අත්සන් කරලා යන්න පුළුවන් කියලා," ඒ අනුව ඔහු නැවත නිවස බලා පැමිණ තිබිණි.

'එන්න එන්න උගුර හිර වෙන්න ගත්තා'

මේ වන විටත් පැයකට ආසන්න කාලයක් ගතවී තිබුණු අතර නිසි ප්‍රතිකාරයක් නොලැබුණු හෙයින් ප්‍රේමලාල්ගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත් අතට හැරී තිබිණි. එබැවින් ඔහු නැවතත් නිවස ආසන්නයේ සිටින වෛද්‍යවරයෙකු වෙත ගොස් තිබුණේ කළ යුත්තේ කුමක් ද? යන්න පිළිබඳව විමසා දැන ගැනීම සඳහා ය.

"එන්න එන්න උගුර හිර වෙන්න ගත්තා. දැන් කටින් සෙම වැක් කෙරෙනවා ලේත් එක්ක. ඊට පස්සේ මේ ළඟ ඩොක්ටර් කෙනෙක් ඉන්නවා ලක්මාල් කියලා. ඒ මහත්තයාට පෙන්නුවා ම, ඒ මහත්තයා නිවැරදිව ම කිව්වා මේක පැසවන්න ඉස්සෙල්ලා ගන්න ඕනේ - මේක ගන්න ගාල්ලට යන්න ඕනේ කියලා. ඒ නිසා 'ඔයා ඉස්සෙල්ලා X Ray එකක් අරගෙන ඉන්න' කියලා ඒ මහත්තයා කිව්වා," ප්‍රේමලාල් තම අත්දැකීම විස්තර කළේ ය.

ඒ අනුව, ඔහු X-Ray පරීක්ෂණයකට භාජනය වී තිබුණු අතර එම වාර්තාව අනුව ස්ථිරව ම දත් බුරුසුවේ හිස කොටස ඔහුගේ ශරීරය තුළ ඇති බවට තහවුරු විය.

"හරියට කණ්ණාඩියෙන් මූණ බැලුවා වගේ, X Ray එකේ පේනවා බුරුසුව උගුරේ තියෙනවා කියලා. මාතර හොස්පිටල් එකෙන් කිව්වේ ප්ලාස්ටික් X Rayවලට අහුවෙන්නේ නැහැ කියලා," ඔහු පැවසීය.

මාතරින් ගාල්ලට

වෛද්‍යවරයාගේ උපදෙස් අනුව, ප්‍රේමලාල් තම පුතු සමග වහා ගාල්ල බලා ගියේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ වික්‍රමසිංහ හමුවීම සඳහා ය.

ඒ සඳහා ඔවුන් ප්‍රථමයෙන් ගාල්ල, කරාපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ගොස් තිබුණු නමුත් විශේෂඥ වෛද්‍යවරයා එහි නොසිටියේ ය.

නමුත් රෝහල් කාර්ය මණ්ඩලය වහා ක්‍රියාත්මක වී විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ වික්‍රමසිංහ වෙත මේ බව දැනුම් දී, ඔහු මීට පෙර ලබාගෙන තිබුණු X-Ray වාර්තාව වෛද්‍යවරයා වෙත වට්ස්ඇප් හරහා යොමු කර තිබිණි.

"ඩොක්ටර් කිව්වා මට ඒ වෙලේ ම ඉසිපිරිතාලේ නවතින්න කියලා. ඊට පස්සේ 31 වාට්ටුවේ නැවතුණා," ඒ අනුව ඔහු ගාල්ල ජාතික රෝහල වෙත ඇතුළත් කෙරිණි.

සාර්ථක ශල්‍යකර්මයක්

ගාල්ල ජාතික රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ වික්‍රමසිංහගේ අධීක්ෂණය යටතේ ඊට පසු දින උදෑසන 9:00ට පමණ ප්‍රේමලාල් එන්ඩොස්කොපි පරීක්ෂණයක් සඳහා භාජනය කළ ද දත් බුරුසුවේ කොටස සොයා ගැනීමට නොහැකි වී තිබිණි.

"ශල්‍යාගාරයට ගියාට වඩා හොඳට එළියට එද්දී මම ආවා. මේ විදිහට හොඳට කතා කරන්න පුළුවන් වුණා," ප්‍රේමලාල් බීබීසී සිංහල වෙත පැවසීය.

නමුත් ඉන් මද වේලාවකට පසු පෙර පැවති රෝග ලක්ෂණ මතුවන්නට විය.

"ඊට පස්සේ ආයෙත් හිර වෙලා සෙම එක්ක ලේ යන්න ගත්තා," ඔහු සඳහන් කළේ ය.

අනතුරුව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ වික්‍රමසිංහගේ උපදෙස් පරිදි යළිත් X-Ray පරීක්ෂණයක් සිදු කර තිබුණු අතර එහිදී තවමත් කැඩී ගිය දත් බුරුසු කොටස ඔහුගේ ශරීය තුළ ඇති බව යළිත් තහවුරු කර ගැනිණි. අනතුරුව තවත් CT පරීක්ෂණයක් සිදු විය.

විශේෂඥ වෛද්‍යවරයාට අනුව, දත් බුරුසුවේ හිස කොටස ප්‍රේමලාල්ගේ ආහාර ජීර්ණ පද්ධතිය සහ ශ්වසන මාර්ගයට පොදු කුටීරය වන ග්‍රසනිකාවට ද (pharynx) හානි කරමින්, ඉන් පිටතට ගොස් ඔහුගේ ගෙළේ ඇති ප්‍රධාන ලේ නහරය අසල (common carotid) නතර වී තිබිණි.

එසේ වුව ද ඔහු හොඳින් ආහාර ගනිමින් සහ කතාබහ කරමින් සිටීම වෛද්‍යවරුන්ට කුතුහලය දනවන්නක් විය.

ඒ අනුව, ජනවාරි 25 වන දා රාත්‍රිය ඔහු ශල්‍යකර්මයකට භාජනය කෙරිණි.

"දොස්තර කිව්වා මේක අපිට කොහොම වේවි ද කියලා හරියට ම කියන්න බැහැ කියලා. මේ වගේ සිද්ධියක් ලංකාවේ වාර්තා වෙලා නැහැ කිව්වා කොහේවත්. අඩු ම ගාණේ පිටරටකවත් වාර්තා වෙලා තියෙනවා කියලා කියන්න බැහැ කිව්වා. මේක ගන්න ලොකු ජීවිත අවදානමක් තියෙනවා කිව්වා," ප්‍රේමලාල් ශල්‍යකර්මයට පෙර තමන් උපදෙස් ලද ආකාරය සිහිපත් කළේ ය.

"මම ශක්තිමත් වුණා. ළමයි – නෝනාව ශක්තිමත් කළා. ඒ අතර ආගමානුකූලව වැඩ ටික ටක් ටක් ගාලා හාමුදුරුවන්ට කියලා කරා," ඔහු තවදුරටත් පැවසීය.

"රෑ 11:45 වගේ වෙනකොට ශල්‍යකර්මය සම්පූර්ණයෙන් සාර්ථක වුණා. උදේ බලද්දී මම දැඩිසත්කාර ඒකකයේ. බුරුසුවේ කෑල්ල මගේ ළඟ තිබුණා."

'හැම කෙනෙකුට ම ආදර්ශයක් වෙන්න මම කියන්නේ'

සතියකට පමණ ආසන්න කාලයක් රෝහල්ගතව පසුවූ ප්‍රේමලාල් දැන් සිය නිවසට පැමිණ සිටී.

බීබීසීය සමග සංවාදයේ යෙදුණු මොහොතේ පවා ඔහු අපහසුතාවකින් සිටින බවක් අපට නොදැනිණි. ඔහු ඉතා උද්‍යෝගයෙන් යුතුව අප සමග කතාබහ කළේ ය.

"දැන් එහෙම දෙයක් වුණේ නැහැ වගේ," ඔහු පැවසීය.

නමුත් අතිශය කාර්යබහුල ලෝකයක, කිසිවෙකුත් නොසිතන මොහොතක, සරල යැයි අප සිතන දෛනික කාර්යයක් මිනිස් ජීවිත අනතුරේ හෙළීමට ඇති ඉඩ ගැන අප නැවත සිතා බැලිය යුතු බව ප්‍රේමලාල් සංවාදය අවසන් කරමින් අවධාරණය කළේ ය.

"මේක හැම කෙනෙකුට ම ආදර්ශයක් වෙන්න මම කියන්නේ. මොක ද හැම කෙනෙකු ම උදේට කාර්යබහුල යි. ලංකාවේ විතරක් නෙවෙයි. ලෝකයේ හැම තැන ම කාර්යබහුල යි.

"නමුත් මෙවැනි සිද්ධියක් වාර්තා වෙලා නැහැ. සමහර විට වෙලා ඇති, ඒ ගැන දැනුවත් වීමක් වෙලා නැතුව ඇති. මට මේ වෙච්ච දේ ගැන ඒ නිසා හැම කෙනෙකු ම දැනුවත් වෙන්න ඕනේ."

ඔහු පවසන්නේ, සුළු අත්වැරදීමකින් විශාල අනතුරු සිදුවිය හැකි බව මෙම සිද්ධිය ඔස්සේ වටහා ගත යුතු බව ය.