අන්තරේ කැඳවුම්කරුවන් දෙදෙනෙක්: සැබෑ අන්තරය ගැන මත දෙකක්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන්ගෙන් සමන්විත අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සම්බන්ධයෙන් මේ වන විට නැවතත් කතාබහක් මතු වී ඇත්තේ, ජූලි 20 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී එම සංවිධානය බව පවසමින් පිරිසක් මාධ්‍ය හමුවක් පැවැත්වීමත් සමග ය.

ඡායාරූප මූලාශ්‍රය, IUSF Facebook| Sasindu Perera

    • Author, බීබීසී සිංහල

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන්ගෙන් සමන්විත අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සම්බන්ධයෙන් මේ වන විට නැවතත් කතාබහක් මතු වී ඇත්තේ, ජූලි 20 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී එම සංවිධානය බව පවසමින් පිරිසක් මාධ්‍ය හමුවක් පැවැත්වීමත් සමග ය.

එහිදී එම සංවිධානයේ කැඳවුම්කරු ලෙස හඳුන්වා දුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු වන සසිඳු පෙරේරාගේ මූලිකත්වයෙන් මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

එමෙන් ම 'Inter University Students Federation' ලෙස ඔවුන් නව ෆේස්බුක් පිටුවක් ද සකස් කර තිබූ අතර, එම ෆේස්බුක් පිටුවේ දැනට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නිල ෆේස්බුක් පිටුව ලෙස වසර ගණනාවක් තිස්සේ පැවති ෆේස්බුක් පිටුවේ ඇති ලාංඡනයට සමාන ලංඡනයක් ද යොදා තිබිණි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය යනු ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන් නියෝජනය කරන, දශක කිහිපයක් පුරා ක්‍රියාත්මක වන ශිෂ්‍ය සංවිධානයකි.

2022 ඇති වූ ආර්ථික අර්බුදයත් සමග එවකට ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආරම්භ වූ විරෝධතා සඳහා ද අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය දායකත්වය සැපයීය.

ඉන්පසුව එවකට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වූ වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනුණු අතර පසුව ඔහු නිදොස් කොට නිදහස් කෙරිණි.

ඔහුගෙන් පසු එම සංවිධානයේ කැඳවුම්කරු ලෙස මේ වන තෙක් කටයුතු කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ සිසුවෙකු වන මධුශාන් චන්ද්‍රජිත් ය.

ජූලි 20 සිදු වුණේ කුමක් ද?

ජූලි 20 දින පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී විශ්වවිද්‍යාල කිහිපයක මහා ශිෂ්‍ය සංගම් නියෝජිතයන් හා HND, NDT ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය සංගම් කිහිපයක නියෝජිතයන් පිරිසක් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූහ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එහිදී ඔවුන් පැවසුවේ සියලු දෙනාගේ පොදු එකඟතාවකින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීමට තීරණය කළ බව ය.

එහිදී ඔවුන් යොදා තිබුණේ ද සාමාන්‍යයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මාධ්‍ය හමුවලදී පසුබිම ලෙස යොදාගන්නා බැනරයට සමාන බැනරයකි.

එහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස සසිඳු පෙරේරා නමැත්තෙක් මාධ්‍ය ඇමතීය.

ඉන්පසුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස තමන් පත්වූ බවට එම සංවිධානයේ නමින් සකස් කළ නව ෆේස්බුක් පිටුවක පළ කර තිබිණි.

ඉන්පසු මෙතෙක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නිල ෆේස්බුක් පිටුව ලෙස භාවිත වූ ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ නිවේදනයක මේ සම්බන්ධයෙන් රජයට චෝදනා එල්ල කර තිබිණි.

"මෙම අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් කිරීමේ ආණ්ඩුවේ උත්සහයේ ප්‍රධාන ම අභියෝගය වී ඇත්තේ ශිෂ්‍ය ව්‍යාපාරය යි. එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට නම් ශිෂ්‍ය ව්‍යාපාරය දුර්මුඛ කිරීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට ඇත. ඒ සඳහා සරසවි ශිෂ්‍ය නායකයෙන් යැයි කියා ගත් තම රූකඩ යොදා ගනිමින් ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ව්‍යාකූලත්වයක් ඇති කිරීමට ආණ්ඩුව නිර්ලජ්ජිත උත්සහයක නිරත වන බව පෙනේ. ඒ සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කීර්තිමත් නාමයත්, නිල ලාංඡන සහ ලිපි ශීර්ෂ ද යොදා ගනිමින් ඇත," ලෙස එම මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

මෙම නව සංවිධානයේ කැඳවුම්කරු බව පවසන සසිඳු පෙරේරා බීබීසී සිංහල සේවය සමග පැවසුවේ, මෙය දිර්ඝ කාලීන සාකච්ඡාවක ප්‍රතිඵලයක් බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Sasindu Perera

'මේක දීර්ඝ කාලීන සාකච්ඡාවක ප්‍රතිඵලයක්'

මෙම නව සංවිධානයේ කැඳවුම්කරු බව පවසන සසිඳු පෙරේරා බීබීසී සිංහල සේවය සමග පැවසුවේ, මෙය දිර්ඝ කාලීන සාකච්ඡාවක ප්‍රතිඵලයක් බව ය.

"ඉස්සර ඉඳන් ම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය තමයි නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී හිටපු සංවිධානය. නමුත් පස්සේ කාලයකදී ඒක ජනතාව අතරින් ම ප්‍රතික්ෂේප වෙන්න ගත්තා. ඒ අනුව අපට ගැටලුකාරී තත්ත්වයක් ආවා ශිෂ්‍යයෝ විදිහට සැබෑ ශිෂ්‍ය ව්‍යාපාරයක් ගොඩනගන්න. මේක මේ එක දවසින් දවස් දෙකකින් වෙච්ච සිද්ධියක් නෙවෙයි. දැවැන්ත කාලයක් තිස්සේ සියලු විශ්වවිද්‍යාලවල සාකච්ඡාවට ලක්වෙලා, මේ යන්නේ කොහෙට ද කියන එකත් එක්ක කතා කරලා තමයි මේ තීරණය ගත්තේ," ඔහු පැවසුවේ ය.

"ඒ අනුව තමයි අපි ඊයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය විදිහට සාකච්ඡාවක් කැඳවලා, ඒ ඇතුළේ ගොඩනගා ගත්ත සාකච්ඡාවත් එක්ක අපි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අපි නැවත ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් කළා," ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

දැනට පැවති සංවිධානයට පරිබාහිරව එම සංවිධානයේ නමින් ම තවත් සංවිධානයක් නිර්මාණය කිරීමට හේතුව කුමක්දැයි එහිදී බීබීසී සිංහල විසින් ඔහුගෙන් විමසන ලදී. එයට ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

"විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍යයෝ ඉන්නේ කොතන ද එතන තමයි අන්තරේ තියෙන්නේ. ඒක ෆේස්බුක් පේජ් එකකටවත් කාගේවත් ඕනේ එපා කම්වලටවත් අපි තමයි සැබෑ අන්තරේ කියලා කියන්න බෑ. අපට නිශ්චිතව ම අවශ්‍යතාවක් තිබුණා කාගේවත් කල්ලි කණ්ඩායම්වල න්‍යාය පත්‍රවලට වැඩ නොකර ඉන්න. නමුත් තිබුණ ප්‍රශ්නය තමයි පැවතුණු ශිෂ්‍ය ව්‍යාපාරය සමග එවැනි ගමනක් යන්න බෑ."

'ආණ්ඩුවේ ශිෂ්‍ය සංගමයක් නැත්නම් පැලවත්තේ ශිෂ්‍ය සංගමයක්'

මේ සම්බන්ධයෙන් බීබීසි සිංහල විසින් මෙතෙක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ මධුශාන් චන්ද්‍රජිත්ගෙන් විමසීමක් කළ අතර, ඔහු මෙම නව සංවිධානය විවේචනය කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, IUSF Facebook

මේ සම්බන්ධයෙන් බීබීසි සිංහල විසින් මෙතෙක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ මධුශාන් චන්ද්‍රජිත්ගෙන් විමසීමක් කළ අතර, ඔහු මෙම නව සංවිධානය විවේචනය කළේ ය.

"කලින් ආණ්ඩුවලින් ගෙනැල්ලා ප්‍රතික්ෂේප වුණ ප්‍රතිපත්ති ම මේ අයත් ගෙනැල්ලා නිදහස් අධ්‍යාපනය බුල්ඩෝසර් කරලා දාන්න හදන්නේ. ඒවා කරද්දී ඒවා කරන්න ඕනේ, ඒවා හොඳ ප්‍රතිපත්ති කියලා කියන ශිෂ්‍ය ව්‍යාපාරයක් මෙයාලට දැනට නෑ. කොතලාවලින් වෛද්‍ය උපාධිය ලක්ෂ 175කට විකුණද්දී ඒක කරන්න කියන ශිෂ්‍ය ව්‍යාපාරයක් නෑනේ. IMF එක කියන කියන ඒවා කරද්දී, ඉන්දියාව එක්ක හොර ගිවිසුම් ගහද්දි ඒවාට විරුද්ධ නොවෙන ශිෂ්‍ය ව්‍යාපාරයක් එයාලට ඕනේ. එහෙම එකක් අටවගන්න තමයි ආණ්ඩුව එයාලගේ කණ්ඩායම් කිහිපයක් එකතු කරලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී ආණ්ඩුවේ ශිෂ්‍ය සංගමයක් නැත්නම් පැලවත්තේ ශිෂ්‍ය සංගමයක් පිහිටුවා ගත්තා," ඔහු පැවසුවේ ය.

"එතකොට ඕකට පේරාදෙණියේ හෝ අනෙක් විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයෝ සම්බන්ධ නෑ. මේකට සම්බන්ධ විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම්වල නිල නාමයන් භාවිත කරන පැලවත්තේ රූකඩ. අන්තරේ ඉස්සර ඉඳන් ම මේ මොහොත දක්වාත් අඛණ්ඩ ව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වැඩ කරමින් ඉන්නවා. අදත් අපි ඒ වගේ ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන්න අධ්‍යාපන අමාත්‍යංශයට ඇවිත් ඉන්නේ."

'අපේ භාවිතාවෙන් තමයි ජනතාව තීරණය කරන්න ඕනේ ශිෂ්‍ය ව්‍යාපාරය කොතන ද තියෙන්නේ කියලා'

එහිදී මෙම නව සංවිධානය සහ රජය අතර සම්බන්ධයක් පවතින බවට පැවති අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වන මධුශාන් සිදුකළ චෝදනාව සම්බන්ධයෙන් ද බීබීසී සිංහල සසිඳු පෙරේරාගෙන් විමසීමක් කළේ ය.

"අපට වචනවලින් කියන්න පුළුවන් අපි රජයට සම්බන්ධ නෑ කියලා. නමුත් මම හිතනවා අපි වචනවලින් කියනවාට වඩා අපේ භාවිතාවෙන් තමයි ජනතාව තීරණය කරන්න ඕනේ ශිෂ්‍ය ව්‍යාපාරය කොතන ද තියෙන්නේ කියලා. අපි ඉදිරියට ගන්න ක්‍රියාමාර්ගවලින් ඒ බව ජනතාවට පැහැදිලි වෙයි කියලා හිතනවා කොතන ද සැබෑ ශිෂ්‍ය ව්‍යාපාරය තියෙන්නේ කියලා," ඔහු පැවසුවේ ය.

දැනට විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන 16ක පමණ ශිෂ්‍යයන්ගේ සහයෝගය ඔවුන් සතුව පවතින බව ඔහු ප්‍රකාශ කළ අතර, තවත් උසස් අධ්‍යාපන ආයතන සම්බන්ධ කර ගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව ද පැවසුවේ ය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ බලය සම්බන්ධයෙන් එල්ල වී ඇති විවේචනයට මෙතෙක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කරන මධුශාන් චන්ද්‍රජිත් ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

"අපට බලය නෑ කියලා කවුරු හරි කියනවා නම් ඒක කරුණක් විදිහට වැරදි යි. දැනටත් අන්තරේ විශ්වවිද්‍යාල වැඩි ප්‍රමාණයක වැඩ කරනවා. විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයෝ එක්ක වැඩ කරනවා. මෙතන බෝඩ් ලෑලිවලින්, නිල නාමයන්වලින් නෙවෙයි ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ. ශිෂ්‍ය ව්‍යාපාරයට කොච්චර බලයක් තියෙනවා ද හැකියාවක් තියෙනවා ද කියන එක තීරණය වෙන්නෙත් නම්වලින් නෙවෙයි වැඩවලින්."