පාස්කු ඉරුදින ප්‍රහාරය විමර්ශනයට ජාත්‍යන්තරය අවශ්‍ය ද? - පක්ෂ විපක්ෂ මතය

Sri Lanka's Prime Minister Ranil Wickremesinghe (front) testifies before a Special Parliamentary Select Committee (SPSC) investigating the lapses leading to the April 21 Easter Sunday bombings, in Colombo on August 6, 2019

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවන සමයේ දී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය වූ රනිල් වික්‍රමිසිංහ, ප්‍රහාරයට තුඩුදුන් හේතු විමර්ශනය කරන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ 2019 අගෝස්තු 6 වැනි දා සාක්ෂි දෙමින්.

මීට වසර හතරහමාරකට පෙර මෙරට කතෝලික දේවස්ථාන, සංචාරක හෝටල් ඇතුළු ස්ථාන හතක් ඉලක්කකොට සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය ඉකුත් සතියේ සිට නැවත මෙරට ජන සමාජය තුළ කතිකාවතකට පාත්‍රවිය.

ඒ, එම ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් නිකුත්වූ වීඩියෝවක් හේතුවෙනි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කළ පරීක්ෂණවලින් නියම අපරාධකරුවන්ට දඬුවම් නොලැබුණු බවට චෝදනා ද එල්ල කළ බොහෝ පිරිස්, මෙම වීඩියෝවෙන් හෙළිදරව් කළ කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතුබවට ප්‍රකාශ කරති.

චැනල් 4 වීඩියෝව ගැන ජනපති ගත් තීරණය

චැනල් 4 නාලිකාව පසුගිය 5 වැනිදා විකාශය කරන ලද ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන මඟින් හෙළිදරව් කරන ලද තොරතුරු සහ එල්ල කරන ලද බරපතල චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට නියමිත බව ඉකුත් ඉරිදා (සැප් 10) දැනුම් දුන්නේ ය.

2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පිළිබඳ 'සත්‍යය සෙවීම සහ යුක්තිය ඉටුකිරීම සඳහා සාධනීය පියවරක් තබමින් ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කෙරෙන' බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

පවතින තත්ත්වයෙහි බරපතලකම අනුව දැනට පවතින සියලු තොරතුරු පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් කිරීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇතිබව‍ එම වාර්තා වේ සඳහන් විය.

එමෙන්ම, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව සහ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට අමතරව ඉදිරියේ දී නිකුත්වීමට නියමිත මෙම වාර්තා දෙක ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අදාළ නිවේදනයේ දැක්වේ.

පාස්කු ප්‍රහාරයේ සුලමුල හෙළිවන්නේ නිවැරැදි ජාත්‍යන්තර පරීක්ෂණයකින් පමණ යි - විපක්ෂ නායක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉකුත් දා හික්කඩුවේ පැවති උත්සවයක දී ප්‍රකාශ කර සිටියේ, පාස්කු ප්‍රහාරයේ සුලමුල හෙළිවන්නේ නිවැරැදි ජාත්‍යන්තර පරීක්ෂණයකින් පමණක් බව ය.

ඔහු ජාත්‍යන්තර පරික්ෂණ සඳහා කැමති පුද්ගලයෙකු නොවන බවත්, 2019 සහ 2020 වසර තුළ දී මෙරට පැවති මැතිවරණවල දී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන බවට පොරොන්දු වී ජනතා වරමෙන් තේරී පත්වූ පාලකයින් ජනතාව මුළාකර ඇති බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේ ය.

ඒ හේතුවෙන් සෑම වසරකම ඇතිවන කතාවලට නොව පාස්කු ඉරුදින ප්‍රහාරයේ වගකීම දැරිය යුතු අය කවුදැ යි යන සත්‍යය දැන ගැනීම සඳහා නිවැරදි පරීක්ෂණයක් කළ යුතු බව මෙහිදී විපක්ෂ නායකවරයා පැවසුවේ ය.

චෝදනා එල්ලවූ අය ආණ්ඩුවේ - අනුර

ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක බදුල්ලේ දී පැවති රැස්වීමක් අමතමින්, පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන චෝදනා එල්ලවන අය පමණක් නොව, එය වළක්වා ගැනීමට අපොහොසත් අය ද මේ වන විට සිටින්නේ ආණ්ඩුව තුළ බව පැවසුවේ ය.

"රනිල් වික්‍රමසිංහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරලා මොකද කිව්වේ? මේ ඔක්කොම බැහැර කරනවා කිව්වා. ඒ ඔක්කොම වෙන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි, ඒ ප්‍රහාරය සිද්ධ වෙනකොට හිටිය අගමැතිවරයා අද ජනාධිපතිවරයා. ප්‍රහාරය සිද්ධ වෙනකොට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා දැන් පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශයේ ප්‍රධානියා. පිල්ලෙයාන් ආණ්ඩුවේ රාජ්‍ය ඇමති.

"හමුදාවේ බුද්ධි අංශ ප්‍රධානියා වන සලේ මහත්තයට වගේම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට චෝදනා එල්ල වනවා. ප්‍රහාරය ගැන චෝදනා එල්ල වන අය පමණක් නොව එය වළක්වා ගැනීමට අපොහොසත් වූ අය ආණ්ඩුවේ. ඉතින් ජනතාව කියනවා පරීක්ෂණ කරන්න කියලා," මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය යි කියලා අපි හිතන්නේ නැහැ - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයැ යි නොසිතන නමුත් නිවැරදි විමර්ශනයක් කර සත්‍යය හෙළිකරන්නැ යි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට කටයුතු කරන බව, එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් බීබීසි සිංහල සේවයට පැවසුවේ ය.

2018 වසර වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එවක පැවති පළාත් පාලන මැතිවරණය ඉහළින් ජයගනු ලැබූ බැවින් බෝම්බ පුපුරුවා ඡන්ද දිනීමට කිසිදු වුවමනාවක් නොතිබූ බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ හේතුවෙන් බෝම්බ ප්‍රහාරය පිලිබඳව පරීක්ෂණයක් සිදුකොට සත්‍යය හෙළිකළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

"ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය යි කියලා අපි හිතන්නේ නැහැ. අපි විශ්වාස කරනවා අපේ රටේ ඉන්න විමර්ශකයින් ඒ පිළිබඳ මනා දක්ෂතාවයක් යුක්ත අය කියලා. නමුත් මේ රටේ ඇතැම් කොටස් මේ පරීක්ෂණයට ජාත්‍යන්තර පරීක්ෂකයින් අවශ්‍යයි කියලා කියනවා. ඒ නිසා අපි පක්ෂයක් ලෙසට ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේ ගැන නිවැරදි විමර්ශනයක් කරලා සත්‍යය හෙළිකරන්න කියලා," ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා පැවසුවේ ය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

නිසි විමර්ශනයක් සිදුවන්නේ නැහැ - කටුවාපිටිය දේවස්ථානයේ මීසම භාර පියතුමා

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන නිසි පරිදි සිදුනොවන බව මුල සිට පෙනීගිය කරුණකැ යි, පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවේ එක ඉලක්කයක් වූ කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මීසම භාර පියතුමා වන මංජුල නිරෝෂන් බීබීසි සිංහල සේවයට පැවසුවේ ය.

විපතට පත්වූවන්ට යුක්තිය ඉටුවීම සිදුවන්නේ ස්වාධීන විමර්ශනයක් තුළ පමණක් බවත්, ඊට අනිවාර්යෙන්ම විදේශීය නිරීක්ෂකයින් ද ඇතුළත් විය යුතු බවත් උන්වහන්සේ පැවසුවේ ය.

උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ, මෙය අන්තවාදී ක්‍රියාවක් පමණක් නොව අනෙක් පැත්තෙන් එයට යම් දේශපාලන බලපෑමක් ද තිබුණේයැ යි ද පෙනී යන බව යි.

“මෙම ප්‍රහාරය සිදුකළ සහරාන් ඇතුළු පිරිසට තමන්ගේ මතවාදය පැතිරවීමට මෙය අවස්ථාවක් කර ගත්තත්, ඒ තුළ යම් දේශපාලනික බලපෑමක් තිබූ බවට පෙනී යනවා. මේ හරහා දේශපාලන බලය ලබා ගැනීමට යොදා ගත්තා කියලා අප‍ට හිතෙනවා. එය ඔප්පුකර ගන්න අපි සතුව සාක්ෂි නැහැ. චැනල් 4 හරහා හෝ ඒක ඔප්පු වෙනවා නම් ඔය කියන තිත්ත ඇත්ත එළියට ගන්න අපට පුළුවන් වෙනවා,” මංජුල නිරෝෂන් පියතුමා පැවසීය.

මේ අතර, එම බෝම්බ ප්‍රහාරයෙන් වින්දිතයෙකු බවට පත්වූ කටුවාපිටිය ප්‍රදේශයේ පදිංචි අජිත් අලුත් මුහන්දිරම්ගේ, චෝදනා එල්ල වූ පුද්ගලයින් තනතුරුවලින් ඉවත්කොට ආණ්ඩුව මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කළ යුතු බව බීබීසි සිංහල සේවයට සඳහන් කළේය.

චැනල් - 4 නාලිකාව නිකුත්කර ඇති වීඩියෝව සම්පූර්ණයෙන් පිළි නොගන්නේ නම් ආණ්ඩුව මේ අවස්ථාවේ දී සිදුකළ යුත්තේ චෝදනා එල්ලවූ පුද්ගලයින් ඔවුන්ගේ තනතුරුවලින් ඉවත්කොට ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකිරීම බව ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

'මේක කරපු අය නීතිය ඉදිරියට ගෙන එන්නම ඕන'

පාස්කු ප්‍රහාරයෙන් ස්වාමිපුරුෂයා අහිමිවූ ගීතා ඇන්ටනෙල්, පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව බලයට ඒමේ වුමනාවෙන් යුත් දේශපාලන පසුබිමකින් යුත් පිරිසකගේ අවශ්‍යතාව මත දියත්කර ඇතැ යි මෙ වනවිට හෙළි වෙමින් ඇති සාක්ෂිවලින් පෙනී යන කරුණක් බව පවසන්නී ය.

ඒ හේතුවෙන්, ඊට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙනා යුතු බව ඇය බීබීසි සිංහල සේවයට පැවසුවා ය.

මේ සම්බන්ධයෙන් මෙතෙක් පැවති විමර්ශන මඟින් වින්දිතයින්ට කිසිදු සාධාරණයක් ඉෂ්ඨ නොවූ පසුබිමක නව විමර්ශනයක් සිදුකරන්නේ නම් ඊට ජාත්‍යන්තර නිරීක්ෂකයින් අනිවාර්යෙන් එක්විය යුතු බව ඇය ප්‍රකාශ කළා ය.