ඉරාන රාජ්‍ය රූපවාහිනී මධ්‍යස්ථානයට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

ඉරාන රාජ්‍ය රූපවාහිනී මධ්‍යස්ථානයට පහර දුන් බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා තහවුරු කර තිබේ.

ප්‍රහාරය එල්ල වන්නේ නිවේදිකාවක් ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් සිටියදීය.

ප්‍රහාරයෙන් පසු සුන්බුන් මැදිරිය තුළට පතිත වන අයුරු වීඩීයෝ දර්ශනවල පෙනෙන්නට තිබිණි.

නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල් බලධාරීන් ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරය එල්ල කළේ "ජනතාව විශාල වශයෙන් ඉවත් වීමෙන්" පසුව බවත්, ඊශ්‍රායලය විසින් "ඉරාන ඒකාධිපතියා කොතැනක සිටියත් ඔහුට පහර දෙන" බවත්ය.

රොයිටර් පුවත් සේවයේ වාර්තාවලට අනුව, ඉරාන රාජ්‍ය රූපවාහිනී විකාශන ආයතනයේ කොටසක් වන ඉස්ලාමීය ඉරාන ජනරජ ප්‍රවෘත්ති ජාලය කියා සිටියේ ඊශ්‍රායලය තමන් වෙත ප්‍රහාරයක් එල්ල කළ බවය.

ඉරාන රාජ්‍ය විකාශන ආයතනය "අතුරුදන්ව යාමට ආසන්න" බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා විසින් අද උදෑසන කරන ලද තර්ජනවලින් පසු මෙම ප්‍රහාරය එල්ල විය.

ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසු ගොඩනැගිල්ල ගිනි ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් ඉරාන රාජ්‍ය මාධ්‍ය ආයතනයේ සේවය කරන වාර්තාකරුවෙකු පළකර තිබිණි.

එම වීඩියෝවේ, යූනූස් ෂැඩ්ලූ පවසන්නේ ප්‍රහාරයෙන් තම සගයන් කී දෙනෙකු මිය ගියාද යන්න තමාට නිශ්චිතව කිව නොහැකි බවයි.

වීඩියෝව නරඹන්න

ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසු මිනිත්තු කිහිපයකට විකාශනය නතර කළ ඉරාන රාජ්‍ය රූපවාහිනිය අනතුරුව සජීවීව විකාශන කටයුතු නැවත ආරම්භ කළේය.

කෙටි පුවත් සටහනක් තබමින් ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේ, "ඉරානයේ රාජ්‍ය රූපවාහිනියේ එක් ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ම්ලේච්ඡ උල්ලංඝණයක්" සිදු කළ බවයි.

ඊශ්‍රායලය මෙම පහර දීමෙන් "සත්‍යයේ හඬ නිහඬ කිරීමට" උත්සාහ කළ බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය සඳහන් කළේය.

ඉරාන අහසේ 'ගුවන් මෙහෙයුම් පාලනය' සම්පූර්ණයෙන් තමන් සතු කර ගත් බව ඊශ්‍රායලය පවසයි

ඉරාන අගනුවර වන ටෙහෙරාන් නගරයට ඉහළ අහස මත "පූර්ණ ගුවන් මෙහෙයුම් පාලනයක්" සිදු කර ඇති බව ඊශ්‍රායලය පවසයි. ඔවුන් එය නිවේදනය කළේ, එරටට ප්‍රහාර එල්ල කර දින හතරකට පසුව ය.

සඳුදා ඉරානයේ බටහිර ප්‍රදේශයේ නව ප්‍රහාර පිළිබඳව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇති අතර, එහි ගුවන් හමුදාව පවසන්නේ, එක රැයකින් ප්‍රහාර රැල්ලක් එල්ල කළ බව ය.

මේ අතර, අද උදෑසන ඊශ්‍රායලයට එල්ල වූ ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික තරුණයෙකු තුවාල ලබා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

ඊශ්‍රායලයේ, බෙනි බරක් ප්‍රදේශයට එල්ලවූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක් සඳහා පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙකු තුවාල ලබා ඇති බව තානාපතිවරයා පැවසුවේ‍ය.

ඉරානය අද (ජුනි 16) අළුයම නැවත වරක් ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.

ඊශ්‍රායලයේ ජාතික හදිසි සේවා ඒකකය වන මැගන් ඩේවිඩ් ඇඩොම්ට අනුව, මධ්‍යම ඊශ්‍රායලය වෙත එල්ල කළ ඉරාන ප්‍රහාරවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් තවත් 87 දෙනෙකු තුවාල ලබා ඇත.

මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනකු වන අතර ඔවුන් සියලු දෙනා 70 වන වියේ පසුවන බව වාර්තා වේ.

සඳුදා එල්ල වූ මෙම ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ මධ්‍යම ඊශ්‍රායලයේ ස්ථාන කිහිපයකට හානි සිදු වූ බව ඊශ්‍රායල හමුදාව පැවසූ අතර, ගිනි නිවන භටයින් වාර්තා කළේ රටේ මධ්‍යධරණී වෙරළ තීරයේ මහල් ගොඩනැගිල්ලකට ද ප්‍රහාරයක් එල්ල වූ බවයි.

"ඉරානයේ නවතම ප්‍රහාරයෙන් පසු, හෝම්ෆ්‍රන්ට් විධානයේ සෙවුම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් ප්‍රහාර එල්ලවූ ස්ථාන කිහිපයකට යවා ඇත," යනුවෙන් ඊශ්‍රායල් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ඊශ්‍රායලයේ හදිසි සේවාව වන මැගන් ඩේවිඩ් ඇඩොම් , වෙරළබඩ නගරයක් වන හයිෆා වෙත එල්ල වූ බැලස්ටික් මිසයිල ප්‍රහාරයෙන් හානියට පත්වූ ගොඩනැගිල්ලක් මෙන්ම ගිනි ගැනීමට ලක්ව ඇති මෝටර් රථ දැක්වෙන වීඩියෝවක් පළකර ඇත.

ඉරාන බුද්ධි අංශ ප්‍රධානියා ඊශ්‍රායල් ප්‍රහාරයකින් ජිවිතක්ෂයට

මේ අතර ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) බුද්ධි අංශ ප්‍රධානී මොහොමඩ් කසෙමි ඝාතනය කර ඇති බව ඉරානය තහවුරු කර තිබේ.

ඉරිදා ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කසෙමි, ඔහුගේ නියෝජ්‍ය අණදෙන නිලධාරී හසන් මොහාකෙක් සහ අණදෙන නිලධාරී මොහ්සෙන් බකෙරි මිය ගිය බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක හමුදාවට සම්බන්ධ තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය සහ ඉරාන රාජ්‍ය රූපවාහිනිය සඳහන් කළේය.

ෆොක්ස් නිවුස් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ ඉරානයේ බුද්ධි ප්‍රධානිය සහ නියෝජ්‍ය ප්‍රධානියා ටෙහෙරානයේදී මරා දැමූ බවයි.

ඉරාන නායකයා ඝාතනය නොකරන ලෙස ට්‍රම්ප් ඊශ්‍රායලයට පැවසූ බවට වාර්තාවක්

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කළ සැලැස්මක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළ බව මූලාශ්‍ර තුනක් බීබීසීයේ ඇමෙරිකානු ප්‍රවෘත්ති සහකරු වන CBS වෙත පවසා තිබේ.

සිකුරාදා ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු සිදු වූ බවට වාර්තා වන සංවාදයකදී, කමේනි ඝාතනය කිරීම හොඳ අදහසක් නොවන බව ට්‍රම්ප් නෙතන්යාහුට පැවසූ බව ආරංචි මාර්ග පැවසීය. එම වාර්තාව පිළිබඳව ට්‍රම්ප් ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැත.

ෆොක්ස් නිවුස් සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී, අයතුල්ලා ඝාතනය කිරීමේ සැලැස්ම ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළ බවට වන රොයිටර් පුවත් සේවයෙන් ලැබුණු වාර්තාවක් නෙතන්යාහු සෘජුවම තහවුරු කළේ හෝ ප්‍රතික්ෂේප කළේ නොමැත.

"කිසිදා සිදු නොවූ සංවාද පිළිබඳ අසත්‍ය වාර්තා රාශියක් තිබෙනවා, මම ඒ ගැන කතා කරන්නේ නැහැ," ඊශ්‍රායල අගමැති පැවසීය.

"නමුත් මට ඔබට කියන්න පුළුවන් අපි කළ යුතු දේ කරනවා කියලා මම හිතනවා. අපි කළ යුතු දේ අපි කරනවා. මං හිතන්නේ එක්සත් ජනපදයට හොඳ දේ එක්සත් ජනපදය දන්නවා, මං ඊට සම්බන්ධ වෙන්නේ නැහැ."

මේ අතර, ඉරානය මධ්‍යම ඊශ්‍රායලයට එල්ල කර ඇති බැලැස්ටික් මිසයිල ප්‍රහාර වලින් අතර, අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

ප්‍රහාර වලින් ලාංකික කාන්තාවක ද සුළු තුවාල ලබා ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේය.

ඊශ්‍රායලය ටෙහෙරානයට එල්ල කළ මිසයිල ප්‍රහාර වලින් පසු ඉරානය මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

ඉරාන රාජ්‍ය රූපවාහිනිය කියා සිටියේ ප්‍රධාන වශයෙන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් සහ හයිෆා නගර ඉලක්ක කර ගනිමින් මිසයිල 100ක් එල්ල කර ඇති බවයි.

සිකුරාදා සිට එල්ලවන ප්‍රහාර වලින් ඉරානයේ පුද්ගලයින් 224 දෙනෙකු මිය ගොස් ඇති අතර ඉරාන ප්‍රහාර වලින් ඊශ්‍රායලයේ මරණ 10ක් වාර්තා වී තිබේ.

ඉරාන ප්‍රහාර වලින් මධ්‍යම ටෙල් අවිව් මෙට්‍රොපොලිටන් ප්‍රදේශයක් වන බැට් යම් නගරයේ ගොඩනැගිලිවලට හානි සිදුව තිබේ.

මිසයිල ප්‍රහාරයෙන් බැට් යම් නගරයේ ගොඩනැගිල්ලකට සෘජුවම හානි සිදුවී ඇති ආකාරයත්, සුන්බුන් අතරින් තුවාල ලැබූවන් බේරා ගැනීමට සහන සේවා කණ්ඩායම් කටයුතු කරන ආකාරයත් වීඩියෝ දර්ශනවල දක්නට ලැබුණි.

මේ අතර, තුවාල ලැබූවන් 99 දෙනෙකුට ප්‍රතිකාර කරන බව ඊශ්‍රායලයේ හදිසි සේවා ඒකකය සඳහන් කළේය. තුවාල ලැබූවන්ගෙන් හතර දෙනෙක් බරපතල තත්ත්වයේ පසුවෙති.

ඉරාන බැලැස්ටික් මිසයිල ප්‍රහාර වලින් පසු ඊශ්‍රායලයේ බැට් යම්හි ශ්‍රී ලාංකික කාන්තාවක් සුළු තුවාල ලබා ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේය.

ඇයගේ තත්ත්වය බරපතල නොවන බව ඔහු පැවසීය.

මේ අතර, ඉරානයේ සහ ඊශ්‍රායලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ට කලාපීය තත්ත්වය හේතුවෙන් සුපරීක්ෂාකාරීව සිටින ලෙස ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය උපදෙස් දෙයි.

හදිසි සහාය සඳහා, පැය 24 පුරාම ඇමතිය හැකි දුරකතන අංක:

ඉරානයේ ටෙහෙරාන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය : +98 939 205 5161/ +98 991 205 7522 (සිංහල/ඉංග්‍රීසි)/ +98 936 636 0260 3.

ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය: (WhatsApp වලින් පමණි): +94 71 844 7305/ +94 71 683 3513/ +94 71 974 2095

ඊශ්‍රායලය ඉස්ෆහාන් ඉලක්ක කරගත්තේ ඇයි?

පසුගිය පැය කිහිපය තුළ ඊශ්‍රායලයට එරෙහිව ඉරාන එල්ල කරන ප්‍රහාර පිළිබඳ තොරතුරු ලැබෙමින් පවතී.

ඊට මද වේලාවකට පෙර ඊශ්‍රායලය ටෙහෙරානයට ඈතින් පිහිටි ප්‍රදේශ වෙත පවා ප්‍රහාර එල්ල කළේය.

ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වූයේ ඉස්ෆහාන් නගරයයි.

මධ්‍යම ඉරානයේ ඉස්ෆහාන් පතල් සහ විවිධ කර්මාන්ත ශාලා පිහිටි එරට දැවැන්ත න්‍යෂ්ටික යටිතල පහසුකම්වලින් සමන්විත නගරයකි.

ඊශ්‍රායල ප්‍රහාර දිගටම පැවතුනහොත් ඉරානයේ ප්‍රහාරය "තීව්‍ර" වනු ඇතැයි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය වන (IRGC) නිවේදන කළේය.

ලෝක නායකයින්ගේ ඉල්ලීම්

කලාපය තුළ ප්‍රහාර දිගට ම සිදුවන විට, යුද්ධ ක්‍රියා උත්සන්නවීම අවම කරන ලෙසත්, සංයමයෙන් කටයුතු කරන ලෙසත් ලෝක නායකයින් ඉල්ලා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඉල්ලා ඇත්තේ, ඉරානය සහ ඊශ්‍රායලය යන දෙපාර්ශවය ම "ගැටුම් උත්සන්න වීම" නතර කරන ලෙස ය.

"ඊශ්‍රායලය ඉරාන න්‍යෂ්ටික ස්ථාන වෙත බෝම්බ හෙලීම. ටෙල් අවිව්හි ඉරාන මිසයිල ප්‍රහාර. දුරදිග ගියා ඇති. දැන් නතර කරන්න කාලය ඇවිත්. සාමය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය පවත්වාගත යුතු යි," ඔහු X හි සටහනක් තබා තිබිණි.

යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලෙයෙන් පවසන්නේ, පවතින තත්ත්වය පිළිබඳව ඇය ඊශ්‍රායල් ජනාධිපති අයිසැක් හර්සොග් සමග කතා කළ බව ය.

"ඊශ්‍රායලයට තමන්ව ආරක්ෂා කර ගැනීමට සහ තම ජනතාව ආරක්ෂා කිරීමට ඇති අයිතිය මම නැවත අවධාරණය කළා. ඒ සමග ම, කලාපීය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍යඩයි," ඇය X හි සඳහන් කර ඇති අතර, "උපරිම සංයමයකින් ක්‍රියා කරන ලෙස" සහ ගැටුම් උත්සන්න වීම අවම කරන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ඇය තවදුරටත් සඳහන් කළා ය

ඊයේ ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථාන කිහිපයකට ඊශ්‍රායල් ආරක්ෂක බළකාය (IDF) ප්‍රහාර එල්ල කළේ ය. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන යනු කුමක්ද?

මෙම ප්‍රහාර ඔපරේෂන් රයිසින් ලයන් මෙහෙයුමේ කොටසක් බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසූ අතර ඉරානය "ඊශ්‍රායලයේ පැවැත්මට" තර්ජනයක් වූ බව ද පැවසීය.

ජ්‍යෙෂ්ඨ න්‍යෂ්ටික විද්‍යාඥයින් ප්‍රහාරවලින් මිය ගොස් තිබීමට ඉඩ ඇති බව ඊශ්‍රායල් පුවත් මූලාශ පවසන අතර, ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසන්නේ, ටෙහෙරානයට සහ අනෙකුත් නගර කීපයකට එල්ල වූ මෙම ප්‍රහාරය සාමාන්‍ය ජනතාව ජීවත් වන ප්‍රදේශ ඉලක්ක කර එල්ල කර ඇති බව ය.

ඉරානයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා පවසා ඇත්තේ, ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් හමුදා නිලධාරීන් ඇතුළු 78 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ය.

මියගිය පුද්ගලයින් අතර ළමුන් ද සිටින බව ඉරාන රජයේ රූපවාහිනී සේවය වාර්තා කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ය.

ඉරාන රාජ්‍ය මාධ්‍යයක් වන වන Nour News උපුටා දක්වමින් රොයිටර් පුවත් ඒජන්සිය වාර්තා කළේ, ටෙහෙරානයේ ඊසාන දෙසින් පිපිරීම් ඇසුණු බව ය.

පිපිරීම්වලට හේතුව ඒ මොහොතේ ම පැහැදිලි නොවූ බව එහි වැඩිදුරටත් සඳහන් විය.

ටෙහෙරානයේ ජනතාව පිපිරීම් සිදුවූ බව තහවුරු කරන බව බීබීසී වාර්තාකරුවන්ට ද වාර්තා විය.

ඉරානයේ ප්‍රතිප්‍රහාරයක් අපේක්ෂා කරන බව පවසමින්, ඊශ්‍රායලය රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ජෙරුසලමේ පදිංචිකරුවන් සයිරන් හඬින් අවදි වූ අතර පසුව දුරකතන හරහා අනතුරු ඇඟවීමක් නිකුත් විය.

"ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහ අනෙකුත් හමුදා ඉලක්ක" ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල් නිලධාරියෙක් පැවසීය.

මේ අතර, ඊශ්‍රායල් ප්‍රහාරවලින් ටෙහෙරානයේ විප්ලවවාදී ආරක්ෂක මූලස්ථානයට හානි සිදුවී ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා තවදුරටත් වාර්තා කළේ ය.

එම ස්ථානයෙන් ගින්නක් සහ දුමාරයක් පිටවන බව ප්‍රාදේශීය මාධ්‍ය ද වාර්තා කර තිබේ.

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂකයින් (The Islamic Revolutionary Guards) යනු ඉරාන සන්නද්ධ හමුදාවන්හි ශාඛාවක් වන අතර එරට බලවත් සංවිධානයකි.

ගුවන් ගමන් නිරීක්ෂණ වෙබ් අඩවියක් වන FlightRadar24හි නවතම දර්ශනවලින් පෙනී යන්නේ, ටෙල් අවීව් නගරය [ඊශ්‍රායලය] බලා යාමට නියමිතව තිබූ ගුවන් ගමන් හරවා යවා ඇති බව ය.

ඊශ්‍රායලයට ඉහළින් ඇති ගුවන් අවකාශය සම්පූර්ණයෙන් ම පාහේ හිස්ව දිස්විය.