ඉරාන 'මිසයිල නගර': මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ තම 'රහසිගත' භූගත මධ්‍යස්ථාන ගැන ඉරානය දැන් හෙළි කරන්නේ ඇයි?

    • Author, ෆර්සාඩ් සිෆිකරන්
    • Role, බීබීසී පර්සියානු සේවය

"අපි අදින් පටන් අරගෙන, හැම සතියකට ම එක් රොකට් නගරය එකක් බැගින් හෙළිදරව් කළත්, අවුරුදු දෙකකින්වත් අපට ඒක කියලා අවසාන කර ගන්න බෑ. ඒ තරම් තියෙනවා...;

මිසයිල ගබඩා කර ඇති රහසිගත භූගත බංකර ගණනාවක් පිළිබඳව ඉරානය එසේ පවසමින් පසුගිය දා හෙළි කළේ, ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය වැනි රටවලින් තමන්ට එල්ල වන එදිරිවාදිකම්වලට පළිගැනීම සඳහා ඒවා භාවිත කළ හැකි බව ය.

පසුගිය සතියේදී එක්සත් ජනපදය අමතර යුද්ධ ගුවන් යානා හයක් ඉරානය සහ යේමනය ආසන්නයේ පිහිටි තම හමුදා කඳවුරක ස්ථානගත කළ බව පැවසෙන්නේ යැයි නම පැවසීමට අකමැති වූ ඇමෙරිකානු නිලධාරීහු රොයිටර්ස් පුවත් සේවය වෙත පැවසූහ. එම ගුවන් යානාවලට එක්සත් ජනපදය සතුව ඇති ප්‍රබල බෝම්බ මෙන් ම රේඩාර් පද්ධතිවලට හසු නොවී ගමන් කිරීමේ හැකියාව ඇති බව ද සඳහන් ය.

ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය කියා සිටියේ, කලාපය තුළ ඇමෙරිකානු හමුදා විශාල සංඛ්‍යාවක් සිටීම යනු, ඔවුන් "වීදුරු කාමරයක" සිටින බවත් "අනෙක් අය වෙත ගල් නොගැසිය යුතු බව ත්" ය.

දියෙගෝ ගාර්සියා දූපතෙහි පිහිටි එම ඇමෙරිකානු හමුදා කඳවුරට බෝම්බ හෙළන බවට ද ඉරානය තර්ජනය කර තිබේ. බ්‍රිතාන්‍යය යටතේ පවතින, ඉන්දියන් සාගරයේ පිහිටි එම දූපත මොරිෂස් රාජ්‍යය වෙත නැවත භාරදීමේ ක්‍රියාවලිය දැන් සිදු කෙරෙමින් පවතියි. එවැනි බෝම්බ හෙළීමක් ගැන ඉරානය මීට පෙර පවසා නොතිබිණි.

එසේ නම්, මෙම 'මිසයිල නගර' යනු සත්‍ය වශයෙන් ම මොනවා ද? ඒවා ගැන හෙළිදරව් කිරීමට ඉරානය දැන් තීරණය කරන්නේ ඇයි? මැදපෙරදිග අර්බුදයට ඉන් ඇතිවන බලපෑම කුමක් ද?

ඉරානයේ 'මිසයිල නගර' යනු මොනවා ද?

'මිසයිල නගර' යනු, ඉරානයේ හමුදා බළකාය වන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) විසින් මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ විශාල භූගත මධ්‍යස්ථාන හඳුන්වන යෙදුමක් වේ. අතිවිශාල, ගැඹුරු සහ එකිනෙකට සම්බන්ධව රටපුරා පැතිර පවතින ඒවා බොහෝ විට කඳුකර එනම්, උපායමාර්ගික වශයෙන් වැදගත් ප්‍රදේශවල පිහිටා තිබේ.

බැලස්ටික් හා කෲස් මිසයිල මෙන් ම ඩ්‍රෝන යානා සහ ගුවන් ආරක්ෂක පද්ධති වැනි උපායමාර්ගික ආයුධ ගබඩා කිරීමට, සූදානම් කිරීමට සහ ප්‍රහාර එල්ල කිරීමට ඒවා භාවිත කෙරෙයි.

මෙම මිසයිල නගර යනු, හුදෙක් මිසයිල ගබඩා කිරීමේ මධ්‍යස්ථාන පමණක් නොව, ඉන් සමහරක් ඒවා "භාවිතයට ගැනීමට පෙර මිසයිල නිෂ්පාදනය සහ සූදානම් කිරීමේ" කම්හල් ලෙසින් ද ක්‍රියා කරන බව IRGCහි අණදෙන නිලධාරීහු පවසති.

මෙම මිසයිල මධ්‍යස්ථාන පිහිටා ඇත්තේ කොහේදැයි නොදන්නා අතර, නිල වශයෙන් ඒ පිළිබඳව කිසිදු විටෙකත් හෙළි කර නොමැත.

එරට රාජ්‍ය ගුවන් විදුලිය වන ඉරාන ගුවන් විදුලි සංස්ථාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ගුවන් ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ජෙනරල් අමීර් අලි හජිසඩේ විසින් හෙළි කරන ලද නවතම 'මිසයිල නගරය' දැක්වෙන වීඩියෝ පටයක දැක්වෙන්නේ බැලස්ටික් මිසයිල සහ මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා පොළොව යට ඉතා ගැඹුරින් ස්ථානගත කර ඇති ආකාරය යි. වීඩියෝ පටයෙන් පෙන්වන දේ ස්වාධීනව තහවුරු කර ගැනීම බීබීසීයට කළ නොහැකි විය.

මෙම හෙළි කිරීම් දැන් සිදුවන්නේ ඇයිදැයි යන්නට පිළිතුරක් විය හැකි හෝඩුවාවක් ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් දෙනු ලැබ ඇත. ඒ අනුව, "ඉරාන ජනතාවට එරෙහි ඕනෑ ම සතුරු ක්‍රියාවකට" ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා ටෙහෙරානය මෙම ආයුධ භාවිත කරනු ඇති බව එම මාධ්‍ය වාර්තා කරයි.

"කලාපයේ පිහිටා ඇති ඕනෑ ම කඳවුරක් ඉරානයට ප්‍රහාර එල්ල කළොත්, ඉරාන මිසයිලවල පරාසය ඇතුළත පිහිටි බ්‍රිතාන්‍ය හෝ ඇමෙරිකානු හමුදා කියලා වෙනසක් නැතිව ඉලක්ක කරනවා," යැයි ඉරානය පවසයි.

'රහසිගත මිසයිල නගර' යැයි හඳුන්වාදෙමින්, භූගත උමං තුළ ගබඩා කර ඇති මිසයිල, ඩ්‍රෝන යානා සහ ආරක්ෂක පද්ධති විශාල ගණනින් පෙන්වන ඡායාරූප IRGC විසින් පසුගිය වසර 10ක කාලයේදී වරින්වර නිකුත් කරනු ලැබ තිබේ.

එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට මෙය කෙතරම් වැදගත් ද?

තමන්ගේ හැකියාවන් එසේ පෙන්වා දෙමින් ඉරානය උත්සහ දරන්නේ, තවදුරටත් එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය තමන්ට ප්‍රහාර එල්ල කිරීම අධෛර්යමත් කිරීමට ය.

නවතම දර්ශන කෙයිබාර් ෂෙකන් (Kheibar Shekan), හජ් කසෙම් (Haj Qasem), එමාද් (Emad), සේජිල් (Sejjil), කාදර්-එච් (Qadar-H) හා පාවෙහ් (Paveh) යන නම්වලින් යුත් කෲස් මිසයිල පෙන්වයි.

තමන්ට කිලෝමීටර් 2,000ක දුරකින් පිහිටි රටවලට පවා ප්‍රහාර එල්ල කළහැකි බව ඉරානය පුරසාරම් දොඩවා තිබේ.

ඊශ්‍රායලයට එරෙහිව 2024 අප්‍රේල් මාසයේදී එල්ල කළ ප්‍රහාරයේදී ඉරානය Emad බැලස්ටික් මිසයිල භාවිත කළ අතර, ඉන් මධ්‍යම ඊශ්‍රායලයේ නෙවතිම් ගුවන් කඳවුරට හානි සිදුවිය.

ඉරානයේ සිට ඊශ්‍රායලයට ඇති කෙටි ම දුර ඉරාකය, සිරියාව සහ ජෝර්දානය හරහා වැටී ඇති අතර එය කිලෝමීටර් 1,000ක් පමණ වෙයි. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ඉරානය එල්ල කළ ප්‍රහාරවලින් සියයට 99ක් ම වැළැක්වීමට හැකි වූ බව ඊශ්‍රායලය පවසයි. ඔක්තෝබර් මාසයේදී එල්ල වූ දෙවන ප්‍රහාරයකදී කිසිදු සැලකිය යුතු හානියක් සිදු නොවීය.

කෙසේ වෙතත්, ඉරානය සතු මිසයිලවලට යාහැකි දුර සහ ඒවාට ඇති කළ හැකි හානියේ ප්‍රමාණය පිළිබඳව සැකයක් තිබේ. ඒ නිසා, දියෙගෝ ගාර්සියාහි පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරට ඒවා එල්ල කළ හැකි බවට වන ප්‍රකාශය නොසලකා හැරිය නොහැකි ය.

1970 දශකයේ මුල් භාගයේ සිට එහි එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඒකාබද්ධව හමුදා කඳවුරක් පවත්වාගෙන යයි. නමුත්, එම දූපත් කඳවුර මනා ආරක්ෂාවක් යටතේ පවතී. ඉරානයේ සිට ඊට ඇති ආසන්නතම දුර කිලෝමීටර් 3,800කට ආසන්න වේ.

මේ සතියේදී ඉරානය ප්‍රකාශ කළේ, තම Shahed 136B ඩ්‍රෝන යානාවලට කිලෝමීටර් 4,000ක දුරක් දක්වා ගමන් කළ හැකි බව ය. නමුත් එය මෙතෙක් තහවුරු වී නොමැත.

කිලෝමීටර් 2,000 දුරක් ඉක්මවා යාහැකි මිසයිලයක් මේ වන විට ඉරානය සන්තකයේ නොමැති බව පෙනී යන අතර, න්‍යායාත්මකව ගත් කල එම දූපත කරා ළගා වීමට නාවික පහසුකම් භාවිතය හෝ පවතින රොකට් පද්ධති නවීකරණය කිරීමකින් සිදුකළ යුතු වේ.

මැදපෙරදිග කලාපයෙහි දැනටමත් සැලකිය යුතු මට්ටමක ආයුධ බලයක් එක්සත් ජනපදය සතුව පවතියි. ඔවුන් ඉතා ඉක්මනින් ගුවන්යානා ප්‍රවාහනය කරන යානා දෙකක් කලාපයට යැවීමට නියමිත ය.

පහතින් දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව, රේඩාර්වලට හසු නොවී පියාසර කළ හැකි B-2 බෝම්බ ප්‍රහාරක යානා දෙකක් දියාගෝ ගාර්ෂියා සතුව පවතී. යේමනයේ හූති සටන්කාමීන්ට එරෙහිව ඇමෙරිකාව පසුගිය දා එල්ල කළ බෝම්බ ප්‍රහාරවලදී ඒවා භාවිත කර තිබේ.

"ඉරානය හරි ඔවුන්ගේ මිත්‍ර රාජ්‍ය කලාපයේ ඉන්න ඇමෙරිකානුවන්ට හෝ කඳවුරු ආදියට තර්ජනයක් වුණොත් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එක්සත් ජනපදය තීරණාත්මක පියවර ගන්නවා," යැයි පෙන්ටගනයේ ප්‍රකාශක ෂෝන් පාර්නෙල් මේ සතියේ නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

දියෙගෝ ගාර්සියා වෙත යවා ඇති B-2 ප්‍රහාරක යානා ගණන හෙළි කිරීම ප්‍රතික්ෂේප කර ඇති ඇමෙරිකානු හමුදාවේ උපායමාර්ගික විධානය, ඒවා සම්බන්ධව සිටින අභ්‍යාසයන් හෝ ක්‍රියාන්විත සම්බන්ධයෙන් තමන් අදහස් නොදක්වන බව අවධාරණය කරයි.

එක්සත් ජනපද ගුවන් හමුදාවේ ලේඛනගතව ඇති බෝම්බ ප්‍රහාරක යානා ගණන 20කි. එමනිසා ඒවා සාමාන්‍යයෙන් භාවිත කරන්නේ ප්‍රවේසම්සහගතව ය.

තම 'මිසයිල නගර' පිළිබඳව ඉරානය ලෝකයට දැන් හෙළි කරන්නේ ඇයි?

මෙම නවතම දර්ශන හෙළිදරව් වන්නේ ඉරානය, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර කරුණු තුනක් මත එදිරිවාදිකම් උත්සන්න වන වාතාවරණයකදී ය. ඒවා නම්, ඉරානයේ සහය ලබන හූති සටන්කාමීන්ගෙන් එල්ලවන තර්ජන, ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සහ ඉරානයේ සහය ලබන ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් දුර්වල කිරීමට ඊශ්‍රායලය තවදුරටත් ප්‍රහාර එල්ල කිරීම යන තත්ත්වයන් ය.

තම න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වොෂින්ටනය සමග එකඟත්වයකට ඉරාන රජය නොපැමිණියහොත් ඉරානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට සහ අමතර තීරුබදු පනවන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා අනතුරු ඇගවීය.

මෙය සිදුවන්නේ ද ඉරානය සහ ඊශ්‍රායලය අතර පසුගිය වසරේදී හටගත් යුද්ධ ගැටුම්වලට පසුව ය. මිසයිල මධ්‍යස්ථානය පිළිබඳ නවතම හෙළිදරව්ව මගින් බොහෝ විට කියැවෙන පණිවිඩය වන්නේ ඉරානයට බලය යොදා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින බව ය.

තමන් ඊශ්‍රායලයට එරෙහිව තෙවන ක්‍රියාන්විතයක් ද සිදු කරන බව ඉරානය දිගින් දිගටම කියා සිටී. නමුත්, එසේ නොකරන්නැයි මහ ජනතාවගෙන් නිරතුරුව ම බලපෑම් එල්ල වේ. ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ මිසයිල හැකියාවන් දුර්වල වී ඇති තත්ත්වයක් යටතේ එවැන්නක් සිදුකළ නොහැකි බවට ද මත පළව ඇත.

තමන් ශක්තිමත්ව සිටින බවට හා එක්සත් ජනපදයෙන් එල්ල විය හැකි තර්ජනයන්ට ප්‍රතිරෝධය පෑමට හැකි යැයි ජනතාව වෙත සහතික වීමට ඉරාන ආණ්ඩුවට අවශ්‍යව පවතී.

භූගත මිසයිල නගර ගොඩනැගීමේ අරමුණ වන්නේ, තම පැවැත්මෙහි හැකියාව ඉහළ නංවාගැනීම සහ ගුවන් ප්‍රහාරවලට ප්‍රතිරෝධය පෑම සහ එවැන්නක් සිදු වීම මැඩපවත්වා ගැනීම ය. තම භූමියේ පවතින කඳවුරු ප්‍රහාරයට ලක් වීමෙන් පසුව වුව ද ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තිබෙන බව එක්සත් ජනපදය හා ඊශ්‍රායලයට පෙන්වා දීමට මෙම මිසයිල නගර සංවර්ධනය කිරීමෙන් ඉරානයට හැකියාව ලැබී ඇත.

අප්‍රකට ස්ථානවල සිට මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව මෙම කඳවුරු සතුව පවතින අතර, එමගින් ඉරානයේ හැකියාවන් පිළිබඳව සතුරා සිදුකරන අනුමානයන් ව්‍යාකූල කිරීමට ද හැකි වේ.