ඉන්දියානු රුපියල මෙරට භාවිත කළ හැකි මුදල් ඒකකයක් බවට පත්වෙයිද?

ඉන්දියානු රුපියල (INR) ශ්‍රී ලංකාවේ නිල වශයෙන් භාවිත කළ හැකි මුදල් ඒකකයක් බවට පත්කිරීම පිළිබඳව සළකා බලමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ ඇමැති අලි සබ්රි ඉන්දියාවේ මෑතකළ සංචාරය අතරතුර එරට මාධ්‍ය වෙත පවසා තිබුණි.

"අපට අවශ්‍ය වන්නේ ඉන්දියානු මුදල් ශ්‍රී ලංකාව තුළ වෙළඳාම් කළ හැකි මුදල් ඒකකයක් බවට පත් කිරීමයි. එසේම ඉන්දියානුවන්ට මෙහි පැමිණ එය භාවිත කිරීමේ හැකියාව ලබාදීමයි. එමගින් ශ්‍රී ලාංකිකයින්ට තුන්වන මුදල් වර්ග මත යැපීමෙන් තොරව එය භාවිතා කිරීමට ඉඩ සැලසෙනවා," අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ නිල මුදල් ඒකකයක් ලෙස භාවිතයට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ සාකච්ඡාවක් නිර්මාණය වන පළමු අවස්ථාව මෙය නොවේ. එසේම දෙරට අතර ඉන්දීය මුදල් ඒකකය භාවිත සම්බන්ධයෙන් මේ වන විටත් යම් මුලික මට්ටමේ පදනමක් සකස්කර අවසන් බවද දැකගත හැකිය. එහෙත් රජයේ වගකිවයුතු ඇමතිවරයෙක් විසින් එම මාතෘකාව පිළිබඳව සාකච්ඡා කරන ලද පළමු අවස්ථාව වන්නේ මෙයයි.

ඉන්දියාව සමග ඇති එකඟතාව කුමක්ද?

ඉන්දීය රුපියල ශ්‍රී ලංකාවේ නිල වශයෙන් පිළිගත් මුදල් ඒකකයක් ලෙස නම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගනු ලැබුවේ 2022 අගෝස්තු මාසයේ දී ය. එහිදි විශේෂ නියෝගයක් නිකුත් කරමින් ඉන්දීය රුපියලට අමතරව, ඕස්ට්‍රේලියානු ඩොලර්, නෝර්වීජියානු ක්‍රෝනර්, කැනේඩියානු ඩොලරය, පවුම් ස්ටර්ලින්, චීන රෙන්මින්බි (යුවාන්), සිංගප්පූරු ඩොලර්, ඩෙන්මාර්ක ක්‍රෝනර්, ස්වීඩන් ක්‍රෝනර්, යුරෝ, ස්විස් ෆ්‍රෑන්ක්, හොංකොං ඩොලර්, තායි බාත්, ජපන් යෙන්, එක්සත් ජනපද ඩොලරය සහ නවසීලන්ත ඩොලර් ශ්‍රී ලංකාව තුළ සන්තකයේ තබාගත හැකි විදේශීය මුදල් ඒකක ලෙස මහ බැංකුව විසින් පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දියානු රුපියල (INR) ශ්‍රී ලංකාවේ නම් කරන ලද විදේශ මුදල් වර්ගයක් ලෙස වර්ගීකරණය කිරීමට ඉන්දීය සංචිත බැංකුවේ (RBI) අනුමැතිය ඉල්ලා සිටි අතර, 2022 දෙසැම්බර් මාසයේ දී ඉන්දීය පාර්ශ්වය එම අනුමැතිය ලබාදී තිබිණි. එම අනුමැතිය සම්බන්ධයෙන් ඉන්දීය ජනමාධ්‍ය විසින් වාර්තා කර ඇති ආකාරයට, දැන් ශ්‍රී ලාංකිකයන්ට ඇමෙරිකානු ඩොලර් 10,000 ක් (ඉන්දියානු රුපියල් ලක්ෂ 8.14ක් පමණ) වටිනා ඉන්දියානු රුපියල්(INR) භෞතික ස්වරූපයෙන් (දෙසැම්බර් මාසයේ විනිමය අනුපාතිකයන්ට අනුව) සිය සන්තකයේ තබාගැනීමේ හැකියාව ද ඇත.

මෙහි ඇති වඩාත්ම විශේෂත්වය වන්නේ ශ්‍රී ලාංකිකයන්ට දැන් ඉන්දියානු රුපියල් වෙනත් මුදල් ඒකකයකට පරිවර්තනය කිරීමට හැකිවීමයි. මෙම පහසුකම සක්‍රීය කිරීම සඳහා ශ්‍රී ලංකා වාණිජ බැංකුවක 'වොස්ට්‍රෝ' (INR vostro) නම් ගිණුම් විශේෂයක් විවෘත කිරීම සඳහා ඉන්දියානු බැංකුවක් සමඟ ගිවිසුමක් අත්සන් කළ යුතුය.

ඉන්දීය සංචිත බැංකුව විසින් මෙලෙස සිය මුදල් ඒකකය සම්බන්ධයෙන් ලබාදී ඇති නව අනුමැතියෙන් අදහස් වන්නේ, ශ්‍රී ලාංකිකයන් සන්තකයේ ඇති ඉන්දීය රුපියල් ඉදිරියේදී ඉන්දියාව සමග සිදුකරන සියලුම ආකාරයේ ආනයන අපනයන ඇතුළු වෙළඳ ගනුදෙනු සඳහා එක්සත් ජනපද ඩොලරය වෙනුවට භාවිත කළ හැකි බවය.

"ඉන්දියාවේ අපනයනය කෙරෙහි අවධානය යොමුකරමින්, ගෝලීය වෙළඳාම වර්ධනය, ප්‍රවර්ධනය කිරීම සහ ඉන්දීය රුපියල කෙරෙහි ගෝලීය වෙළඳ ප්‍රජාවේ වැඩිවන උනන්දුව වෙනුවෙන් මෙම යාන්ත්‍රනය සකස් කර තිබේ. ඇතැම් රටවල් සමඟ වෙළඳාම සඳහා එක්සත් ජනපද ඩොලරය වැනි ගෝලීය මුදල් භාවිත කිරීම වළක්වන නීතිරීති හේතුවෙන් ගැටලු උද්ගතව ඇති අතර, එවැනි ගැටලු වළක්වා ගැනීම සඳහා ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ට පහසුකම් සැලසීමට මෙම යාන්ත්‍රණය ඔස්සේ අපේක්ෂා කෙරේ," ඉන්දීය සංචිත බැංකුව දෙසැම්බර් මාසයේදී ප්‍රකාශ කර තිබිණි.

මොකද්ද මේ වොස්ට්‍රෝ ගිණුම්...?

ඉන්දියානු රුපියලට මෙලෙස ඉන්දීය සංචිත බැංකුවේ (RBI) අනුමැතිය ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකුවක් විසින් ඉන්දියාව සමග එක්ව නිල වශයෙන් ඉන්දියානු රුපියල භාවිත කරමින් මේ වන විටත් ගනුදෙනු ආරම්භ කර තිබේ. එහි පසුබිම විමසා බලන විට, 2022 දෙසැම්බර් දෙවන සතියේදී ලංකා බැංකුව (BOC) එහි චෙන්නායි ශාඛාව සමග ඉන්දියානු රුපියල ඔස්සේ ගනුදෙනු කළහැකි පළමු වොස්ට්‍රෝ ගිණුම (vostro account) විවෘත කරනු ලැබීය. ඒ, ඉන්දියානු රාජ්‍ය බැංකුව (State Bank of India/SBI) සමග හවුල්කාරිත්වයක් ඇතිකර ගනිමිනි. කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින්ද මෙම අවස්ථාව නිල වශයෙන් නිවේදනය කර තිබුණු අතර, මහ කොමසාරිස් ගොපල් භාග්ලේද අදාළ ගිණුම් විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ බව මහ කොමසාරිස් කාර්යාලයේ ට්විටර් ගිණුමේ සටහන් කර තිබිණි. ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය තුළ වොස්ට්‍රෝ ගිණුම් තවදුරටත් ව්‍යාප්ත කිරීම පිළිබඳව සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් ඉන්දියානු රාජ්‍ය බැංකුවේ දකුණු ආසියානු කලාපීය ප්‍රධානී විකාස් ගෝයල් සහ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ අතර විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇත. මෙම නව මුලපිරීමත් සමග, ශ්‍රී ලාංකිකයන්ට 2022 දෙසැම්බරයේ සිට සෘජුවම ඉන්දියානු රුපියල්වලින් වෙළෙඳ ගනුදෙනු සිදු කිරීමට හැකි වී ඇති අතර එමගින් එක්සත් ජනපද ඩොලර් භාවිත කරමින් සිදුකෙරෙන ගනුදෙනු වලදී මතුවන ගැටලු මගහරවාගැනීමේ හැකියාව ලබාදී ඇත. ඒ නිල වශයෙනි.

එහෙත් පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා විසින් ඉන්දීය රුපියල ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් පිළිගත් විදේශ මුදල් ඒකකයක් නම් කිරීමත් සමග, නොනිල වශයෙන් තවත් දේශීය බැංකු කිහිපයක් ඉන්දීය බැංකු සමග එක්ව මෙම වොස්ට්‍රෝ ගිණුම් හරහා දැනටමත් දෙරට අතර වෙළඳ ගනුදෙනු වෙනුවෙන් සහාය ලබාදෙමින් සිටින බවද ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තාවලට අනුව රුසියාව, මුරුසිය සහ ශ්‍රී ලංකාව සමග සිය රුපියල භාවිත කරමින් වෙළඳාමට පහසුකම් සලසා ඇති ඉන්දීය රජය, තවත් රටවල් ගණනාවක් සමග එවැනි අවස්ථා ගවේශනය කරන ලෙස වෙළඳ ආයතන සහ බැංකුවලින් ඉල්ලා ඇත. ඒ අනුව ඉන්දියානු බැංකු දැනටමත් ඉන්දියානු රුපියලේ වෙළඳ විධිවිධානය ක්‍රියාත්මක කරමින් මෙම රටවල් තුනේ බැංකු සමග විශේෂ රුපියල් වොස්ට්‍රෝ ගිණුම් (SRVA) විවෘත කර තිබේ. ඉන්දීය බැංකුද ශ්‍රී ලංකාවේ බැංකු තුනක එවැනි ගිණුම් විවෘත කර ඇත. මෙම වොස්ට්‍රෝ ගිණුම් හරහා අපනයන, ආනයන සහ ප්‍රේෂණ ඇතුළු සියලුම ජංගම ගිණුම් ගනුදෙනු ශ්‍රී ලාංකික පදිංචිකරුවන් සහ අනේවාසිකයන් අතර සිදු කළ හැකිය. කෙසේ වෙතත්, මෙම සියලු ගනුදෙනු වලදී අනිවාර්යයෙන් බැංකු මාර්ග පමණක් භාවිත කළයුතු අතර, බලයලත් ක්‍රියාකාරකම් සඳහා පමණක් අවසර ලැබෙන බවත් RBI අනුමැතියෙහි සඳහන් වේ.

පළමු අවස්ථාව නොවෙයි...

ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ භාවිතය සම්බන්ධයෙන් සළකා බලන විට, එය දැන් සිදුවීමට යන්නේ පළමු අවස්ථාට නොවන බව කොළඹ විශ්ව විද්‍යාලයයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පෙන්වාදෙයි. බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් මහාචාර්ය දුනුසිංහ මෙසේ ඒ පිළිබඳව පැහැදිලි කළේය.

"එක්දාස් නවසිය පනහට කළින් ඉන්දියානු රුපියල් ලංකාවේ භාවිත කරන්න අවසර තිබිලා තියෙනවා. එවකට තිබුණු මුදල් මණ්ඩලය හරහා ඉන්දියානු රුපියල භාවිත කරලා තියෙනවා. ලංකාවේ වෙතරක් නෙමෙයි, සමහර අප්‍රිකානු සහ මැදපෙරදිග රටවලත් විදේශ රටවල් සමග සිසුකරන ගනුදෙනුවලදී ඉන්දියානු රුපියල බහුලව භාවිත කරලා තියෙනවා. එක්දාස් නවසිය පනහෙන් පස්සේ මහ බැංකු පිහිටුවීමත් සමග ඒ භාවිතය ක්‍රමානුකුලව ඉවත්වෙලා ගිහින් තියෙනවා."

මෑතකදී නැවතත් ඉන්දියාව විසින් සිය මුදල් ඒකකය විදේශ රටවල් සඳහා හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින්නේ, විශේෂයෙන් රුසියානු-යුක්රේන යුද්ධය ආරම්භවීමෙන් පසු උද්ගතවූ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් බව මහාචාර්ය දුනුසිංහ පෙන්වාදෙයි.

"මෑතකදී ඉන්දියාව රුසියාවත් සමග ඉන්දියානු රුපියල්වලින් ගනුදෙනු ආරම්භ කළා. එතැනදී රුසියාවට තමයි වෙළඳ ශේෂයක් තියෙන්නේ. ඒ වගේම රුසියාවට ඉන්දියානු රුපියල් ලැබුණට කරන්න දෙයක් නැහැනේ. වෙන රටවලින් භාණ්ඩ ලබාගන්න බැහැනේ ඉන්දියානු රුපියල් භාවිත කරලා. ඒ නිසා තමයි ඉන්දියාව විසින් විශේෂයෙන් 'දකුණු ආසියානු කලාපයේ ඩොලරය' විදිහට භාවිතයට ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් ඉන්නේ. ඒ වගේම තවත් රටවල් ගණනාවක් සමග ඉන්දියාව සාකච්ඡා කරලා තියෙනවා. සෞදි අරාබියාව, එමිරේට්ස්, මොරිෂස්, නයිජීරියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තිස්පහක් විතර එක්ක ඉන්දියාව ඉන්දියානු රුපියල භාවිතා කිරීම පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා, ඉන්දියාව සමග සිදුකරන වෙළඳාම ඉන්දියානු රුපියල් වලින් කරන්න. ලංකාව ගැන බැලුවොත් අපි අපනයනය කළොත්, අපිට ලැබෙන්නේ ඉන්දියානු රුපියල්. අපි ආනයනය කළොත් අපිට ගෙවන්න වෙන්නේ රුපියල්වලින්."

ලංකාවට ලැබෙන වාසි මොනවාද?

ශ්‍රී ලංකාව දැනට වාර්ෂිකව එක්සත් ජනපද ඩොලර් බිලියන පහත් හයත් අතර වටිනාකමකින් යුතු භාණ්ඩ ඉන්දියාවෙන් ආනයනය කරන බව මහාචාර්ය දුනුසිංහ සඳහන් කරයි. ඉන්දියාවට භාණ්ඩ අපනයනය කරනු ලබන්නේ ඩොලර් බිලියනයක පමණ වටිනාකමකිනි. ඒ අනුව ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ නිල වශයෙන් භාවිතයට ගැනීම ඔස්සේ කිහිප ආකාරයකින් වාසි ලබාගත හැකි බව මහාචාර්ය දුනුසිංහ පෙන්වාදෙයි.

"ශ්‍රී ලංකාවට පවතින ගැටලුව ඩොලර් හිඟයනේ. එතැනදී ඩොලර්වලට විශාල ඉල්ලුමක් ඇති නොවන ආකාරයෙන් මේ වෙළඳාම පවත්වාගෙන යන්න මෙමගින් හැකියාව ලැබෙනවා. ඉන්දියානු සංචාරකයෝ එනකොට ඉන්දියානු රුපියල් එනවා. ඉන්දියානු ආයෝජන එනකොට එතනින් ඉන්දියානු රුපියල් එනවා. ඒ නිසා කෙටිකාලීනව ඩොලරය සම්බන්ධ ගැටළු මගහරවා ගැනීමට මේක හොඳ ක්‍රමයක්. ශ්‍රී ලංකාවේ දැනටමත් අවිධිමත් ක්‍රම ඔස්සේ විශාල ආනයන ප්‍රමාණයක් වෙනවා. එම තත්ත්වයත් මෙතැනදී විධිමත් කරන්න පුළුවන්. ලංකා බැංකුවේ චෙන්නායි ශාඛාවේ දැනටමත් ඒ වෙනුවෙන් වොස්ට්‍රෝ නම් ගිණුම් ආරම්භ කිරීමට පහසුකම් සලසලා තියෙනවා. ඒ ගිණුම් හරහා තමයි ගනුදෙනු වෙන්නේ."

ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ නිල වශයෙන් භාවිත කිරීමේ දෙවැනි වාසිය ලෙස මහාචාර්ය දුනුසිංහ පෙන්වාදෙන්නේ දෙපාර්ශවය අතර ගනුදෙනු පිරිවැය යම් පමණකට පහත දමාගැනීමට හැකියාව ලැබීමයි.

"අපි ඉන්දියාවෙන් භාණ්ඩ ගේනකොට අපේ රුපියල් ඩොලර්වලට පරිවර්තනය කරලා, ඩොලර් තමයි යවන්න ඕනේ. ඉන්දියානු පාර්ශ්වයත් තමන්ට ලැබෙන ඩොලර් ඉන්දියානු රුපියල්වලට පරිවර්තනය කරලා තමයි භාවිතා කරන්න ඕනේ. මෙතැනදී සෘජුවම ලංකා රුපියල් ඉන්දියානු රුපියල්වලට පරිවර්තනය වීම තමයි වෙන්නේ. එතකොට අතරමැද මෙතෙක් අවශ්‍ය වූ ගනුදෙනු පිරිවැයේ පහළ යෑමක් සිදුවෙනවා. අපි මුළු ආනයනවලින් සියයට විසිපහක් විතර ඉන්දියාවෙන් ආනයනය කරනවනේ. එතැනදී යම් මට්ටමකට මිල සහ ගනුදෙනු පිරිවැය පහළ යන්න හේතුවක් වෙනවා."

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉන්දියානු ආර්ථිකය සමග සම්බන්ධ කිරීම සඳහා බලධාරීන් පියවර ගන්නේ නම් මෙම පියවර ඒ වෙනුවෙන් විශාල දායකත්වයක් ලබාදෙන බවද මාහාචාර්ය දුනුසිංහ සඳහන් කරයි.

"ඉන්දියාව සමග ගනුදෙනු කිරීමේදී ශ්‍රී ලංකාවට වාසි ලබාගැනීමට නම් ආර්ථිකමය වශයෙන් ඉන්දියාවත් සමග සම්බන්ධ වියයුතුයි. ඒ සඳහා ඉන්දීය රුපියල භාවිතය උදව්වක් වෙනවා කියලයි මගේ හැඟීම. විශේෂයෙන් අපේ අපනයන වැඩිකරගන්න මේක අවස්ථාවක් කරගන්න පුළුවන්. අනෙක් අතට, උදාහරණයක් විදිහට ඉන්දියාවේ වන්දනාවේ යන කෙනකුට ඩොලර් අරගෙන ඉන්දියානු රුපියල් බවට පරිවර්තනය කරගත යුතුයි. මෙතැනදී කෙලින්ම ඉන්දියානු රුපියල් භාවිත කරන්න පුළුවන්. යුරෝපයේ කරලා තියෙන්නේ එකනේ. මොන රටකට ගියත් භාවිත වෙන්නේ යුරෝ."

මෙහිදී ඉන්දියාවේ අරමුණ පිළිබඳවද මහාචාර්ය දුනුසිංහ පෙන්වා දුන්නේය. ඔහු පවසන්නේ ඉන්දියානු රුපියලට අන්තර්ජාතික වටිනාකමක් ලබාදීමට ඉන්දියාව මේ මොහොතේ කටයුතු කරමින් සිටින බවය.

"ලෝකයේ විදේශ සංචිතවලින් සියයට හැටක් විතර තියෙන්නේ ඩොලර්වලින්. සියයට විස්සකට ආසන්න ප්‍රමාණයක් තියෙන්නේ යුරෝවලින්. සියයට පහක් හයක් වගේ ප්‍රමාණයක් තියෙන්නේ පවුම් සහ යෙන්වලින්. යුවාන්වලිනුත් යම් ප්‍රමාණයක් තියෙනවා. ඉන්දියානු රුපියල් භාවිත වෙන්නේ ඉතාම අඩුවෙන්. ඉන්දියාව මේ අවස්ථාවේ ලෝක තත්ත්වය උපයෝගී කරගෙන තමන්ගේ මුදල් ඒකකයට පිළිගැනීමක් ලබාදීමට උත්සාහ කරනවා. එක පැත්තකින් රුසියාව සමග ඩොලර්වලින් කරන ගනුදෙනුවලදී ගැටලු මතුවෙලා. අනෙක් පැත්තෙන් තවත් රටවල් ගණනාවක් ඩොලර් හිඟකමින් පිඩාවිඳිනවා. එම අවස්ථාව උපයෝගී කරගැනීමට තමයි ඉන්දියාව කටයුතු කරමින් ඉන්නේ. විශේෂයෙන් දකුණු ආසියානු කලාපය තුළ."