ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඩොලරයට මොකද වෙන්නේ ?
ඩොලරය අඩුවෙන්නේ ඇයි?
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (මාර්තු 02 වැනිදා) තවත් ශක්තිමත් වී තිබේ.
සැබවින්ම ඩොලරයට මොකද වෙන්නේ? ඩොලරයට සාපේක්ෂව රුපියල තවත් ශක්තිමත් වෙයිද? මෙය මුදල් වෙළෙඳපොල කටයුතුවලට කෙසේ බලපායිද? යන්න ගැන බොහෝ දෙනෙකු තුළ ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකි.
රුපියල තවත් ශක්තිමත් වෙමින් මාර්තු 02 දා රජයේ ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයක ගැනුම් මිල රුපියල් 342.50ක් සහ විකුණුම් මිල රුපියල් 357යි සත 95ක් දක්වාත් පහත වැටිණි.
වාණිජ බැංකුවල බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක ගැනුම් මිල 400.88ක් ලෙස දැක්වුණු අතර විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 432.02ක් ලෙසය.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ කැපී පෙනෙන ශක්තිමත් වීමක් ඊයේ (මාර්තු 01 වැනිදා) පෙන්නුම් කළ අතර ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයක ගැනුම් මිල රුපියල් 353ක් සහ විකුණුම් මිල රුපියල් 363යි සත 30ක් ලෙස සටහන් විය.
මේ අතර ඇතැම් පෞද්ගලික වාණිජ බැංකුවල ඩොලර් එකක විකණුම් මිල රුපියල් 360ක් දක්වා අඩු වීමක් (මාර්තු 01 වැනිදා) වාර්තා කළේ ය.
ඩොලරයේ අගය අඩුවීම තාවකාලිකද?
විදේශ සංචිත පහත වැටීම හමුවේ මෙරට ආර්ථිකය පසුගිය වසර දෙක තුළ දැඩි පසුබෑමකට ලක්විය.
ශ්‍රී ලංකාවට තවදුරටත් විදේශ ණය ගෙවීමට හැකියාවක් නොමැති බව 2022 වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.
ආනයන සඳහා ගෙවීම් කිරීමට නොහැකිවූ අතර ඉන්ධන නැව් සඳහා ගෙවීම් කිරීමට නොහැකිව මෙරට බලශක්ති ක්ෂේත්‍රය දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්විය.
දෛනික විදුලි කප්පාදුව මාස ගණනාවක් පුරා පැවතිණි.
මෙරට පවතින මූල්‍ය හිඟය හේතුවෙන් රජයේ රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ පවා හිඟවී ඇති අතර අත්‍යාවශ්‍ය නොවන සැත්කම් සීමා කර තිබේ.
පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) ශ්‍රී ලංකාවේ ප්‍රේෂණ සහ අපනයනවලින් සියයට 30කට වඩා ගනුදෙනු කරන මෙරට බැංකු තුනකට හරස් මුදල් හුවමාරු පහසුකමක් (cross-currency swap facility) ලබා දී තිබේ.
එහි වටිනාකම ඩොලර් මිලියන 400කි.
කොළඹ විශ්වවිද්‍යාලයයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අමලා ද සිල්වා බීබීසී සිංහල සමග පැවසුවේ මෙයද ඩොලරයේ අගය පහළ යෑමට බලපෑ බවය.
එමෙන්ම විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ නිල මාර්ග ඔස්සේ මෙරටට ලැබීම ඉහළ යෑමටද ඩොලර් ගලා ඒමේ ප්‍රවනතාව ඉහළ යෑමට හේතුවී ඇතැයි ඇය පැවසුවාය.
ඇය සඳහන් කළේ විදෙස් සංචාරකයින් පැමිණීම ඉහළ යෑමද ඩොලරයේ අගය යම් ප්‍රමාණයකින් පහළ යෑමට හේතුවනු ඇති බවය.
පසුගිය ජනවාරි මාසයේදී සංචාරක ඉපැයීම් ආදායම ඩොලර් මිලියන 162ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.
2022 වසරේ ජනවාරි මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරට ලැබී තිබූ ප්‍රේෂණ අගය ඩොලර් මිලියන 259ක් විය.
එය මේ වසරේ ජනවාරි මාසය තුලදී ඩොලර් මිලියන 437ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම පසුගිය ජනවාරි මාසය තුළ පුද්ගලයින් 24236 දෙනෙකු විදෙස් රැකියා සඳහා පිටවගොස් ඇත.
පවතින තත්ත්වය තුළ ඩොලරයේ අගය අඩුවීම තවදුරටත් අපේක්ෂා කළ හැකිද?
පසුගිය දින දෙක තුළ මෙරට වෙළෙඳපොළ තුළ රුපියල ශක්තිමත් වීම නැතහොත් රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය අඩුවීම තාවකාලික බව වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා සඳහන් කළේය.
ඔහු පෙන්වා දුන්නේ මහ බැංකුවේ ප්‍රතිපත්ති වෙනස් වීමක් මීට බලපෑ බවය.
මෙය තාවකාලික අඩුවීමක් බවද ඔහු සඳහන් කළේය.
“ඩොලරයේ අඩුවීමක් වෙන්න නම් එක්කෝ ඩොලර් සැපයුම වැඩි වෙන්න ඕනේ. නැති නම් ඩොලර් ඉල්ලුමේ අඩුවීමක් තියෙන්න ඕනේ මේක දිගට තියෙන්නේ නම්. නමුත් එහෙම දෙයක් නැහැ,” මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව උද්ධමනයේ අඩුවීමක්ද පසුගිය පෙබරවාරි මාසයේදී වාර්තා වී තිබේ.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ජනවාරි මාසයේ වාර්තා වූ සියයට 51.7හි සිට 2023 පෙබරවාරි මාසයේ දී සියයට 50.6 දක්වා පහළ ගොස් ඇත.
මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, 2023 ජනවාරි මාසයේ දී අපේක්ෂා කරන ලද උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට අනුකූල බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
IMF ණය තවත් ප්‍රමාද වෙයිද?
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 2.9ක විස්තීරණ ණය පහසුකම කඩිනමින් ලබා ගැනීමට හැකිවුවහොත් එය ඩොලරයේ අගය අඩුවීමට තවත් හේතුවනු ඇති බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
ඊට ප්‍රධාන බාධාවක්ව ඇත්තේ ණය ප්‍රතිව්‍යුගතකරණය සඳහා චීනයෙන් විධිමත් එකඟතාවක් ලබා ගැනීමට නොහැකීවීමය.
ඉන්දියාව මීට සහයෝගය පළ කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත තම ස්ථාවරය ප්‍රකාශකර ඇත.
මේ අතර චීන අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියාට පවසා ඇත්තේ දැඩි ලෙස ණයගැති ජාතීන්ට "ඵලදායී ආකාරයකින්" උපකාර කිරීමේ බහුපාර්ශ්වික ප්‍රයත්නයන්ට සහභාගී වීමට චීනය විවෘතව සිටින බවයි.
අදාළ රටවල ණය ගැටලු විසඳීමට චීනය සහභාගී වීමට කැමැත්තෙන් සිටින බව ඔහු පවසා ඇතැයි චීන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කළේය.
මෙම තත්ත්වය තුළ IMF ණය පහසුකම කඩිනමින් මෙරටට ලැබීමේ හැකියාවක් පැවතිය හැකි බව මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසීය.