‘ළාබාලතම මහාචාර්ය ලේබලය මට ආභරණයක් නෙවෙයි’ - ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ වාර්තා පිහිටවූ මහාචාර්යවරිය

කාන්තාවන් විවිධ බාධකයන්ගෙන් පීඩාවට පත්ව පසුගාමීව සිටින බවට මැසිවිලි කියන සමාජයක, පුරුෂාධිපත්‍යය හිස ඔසවා ඇතැයි කියන ක්ෂේත්‍රයක මහාචාර්ය පදවියකට පත්වූ ළාබාලතමයා වීමට කාන්තාවකට හැකි වී තිබේ.

ඇය, මහාචාර්ය මධුභාෂිණී හේවගේ නම් වෙයි.

ශ්‍රී ලංකාවේ සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයේ ළාබාලතම මහාචාර්යවරිය බවට ඇය පත්ව තිබේ.

ඇයට මහාචාර්ය පදවිය පිරිනැමෙන්නේ, වයස අවුරුදු 38දී ය.

"මගේ වයස දැන් 39යි. ඒත් මම මහාචාර්ය පදවියට අයැදුම් කළේ වයස අවුරුදු 38දී. අවුරුද්දක් විතර ගියා තෝරා ගැනීමේ කටයුතුවලට. මහාචාර්ය පදවිය පිරිනමන්නේ අයැදුම් කළ දිනයේ සිට ක්‍රියාත්මක වෙන විදිහට යි," මහාචාර්ය මධුභාෂිණී හේවගේ බීබීසී සිංහල සේවයට පැවසීය.

අධ්‍යාපන ගමන් මග

මධුභාෂිණී හේවගේ සිය අධ්‍යාපන කටයුතු ආරම්භ කළේ, ඔලබොඩුව මහා විද්‍යාලයෙනි. එහිදී ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන් පසු හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබුවා ය.

ඇය සිය ප්‍රථම උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයෙන් ලබා ගත් අතර, ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේ, කැලණිය විශ්වවිද්‍යාලයෙනි.

"මම PhD එකට ලියාපදිංචි වුණේ මැලේසියා ජාතික විශ්වවිද්‍යාලයේ. මාස තුනකට විතර පස්සේ මගේ සුපවයිසර්ට සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ පත්වීමක් ලැබුණා. ඒ වෙනුවට මට වෙනත් සුපවයිසර් කෙනෙක් ලැබුණා. ඒ වගේ ම මගේ පළමු සුපවයිසර් සිංගප්පූරු විශ්වවිද්‍යාලයේ සිටි නිසා මට විශ්වවිද්‍යාල දෙකෙන් ම ඉගෙන ගන්න සහ පර්යේෂණ කරන්න අවස්ථාව ලැබුණා. මගේ පර්යේෂණය වුණේ සන්නිවේදන සංවර්ධනය යටතේ ග්‍රාමීය ජනතාව තොරතුරු තාක්ෂණයෙන් බලගැන්විය හැකි ද? යන්න ගැන යි," මහාචාර්ය මධුභාෂිණී හේවගේ පැවසීය.

"මම අවුරුදු 27දී තමයි PhD එකට මැලේසියාවට ගියේ. ඒක මම වෙන රටකට ගිය පළවෙනි වතාව. මට එහේ ජීවිතයට හැඩ ගැහෙන්න ගොඩක් කල් ගියා. ඒ වගේ ම එහේ අධ්‍යාපන පරාසය මෙහෙට වඩා ගොඩක් පුළුල්. ඒක තේරුම් ගන්න සහ ඒකට හුරු වෙන්න මට අවුරුද්දක් විතර කාලයක් ගත වුණා," ඇය තමන් මුහුණ දුන් බාධක පිළිබඳව එලෙස පැහැදිලි කළා ය.

මහාචාර්ය මධුභාෂිණී පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනත් විෂයයන්ට සාපේක්ෂව සන්නිවේදන විෂයේ වර්ධනය මන්දගාමී බවක් දක්නට ලැබෙන බව ය.

"සන්නිවේදන විෂය 1970 ගණන්වල හඳුන්වා දුන්නත් ඒක වර්ධනය වීම ටිකක් අඩුයි කියල තමයි මට හිතෙන්නේ. මං හිතන්නේ අපි ලෝකය දකින්න ඕන. ලෝක මට්ටමේදී ගොඩක් දේවල් දියුණු වෙලා තියෙනවා. ඒවායින් අපට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. විශ්වවිද්‍යාල විෂය නිර්දේශවල මාධ්‍ය ඉතිහාසය, න්‍යාය ගැන වැඩි වශයෙන් ඉගැන්වීම වෙනුවට රැකියා වෙළෙදපොළට ගැලපෙන විදිහට ප්‍රායෝගික දැනුම දෙන්න කටයුතු කරන්න ඕන. ඒකට ගැලපෙන විෂය නිර්දේශ සකස් වෙන්න ඕන. ඒ හරහා නිර්මාණශීලී සහ විචාරශීලී වගේ ම ආචාර ධර්ම රකින මාධ්‍යවේදීන් නිර්මාණය කරන්න ඕන."

"ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න පුරුදු විය යුතු යි"

"අපට ලෝකයේ ගොඩක් වැදගත් දේ අහිමි වෙන ප්‍රධාන හේතුව තමයි ඉංග්‍රීසි භාෂා දැනුම අල්ප වීම. අපේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නවා ගොඩක් දක්ෂ ළමයි. ඒත් ඔවුන්ට එතනින් එහාට යන්න බැරි ලොකු ම බාධකය තමයි ඉංග්‍රීසි භාෂාව. අපි ටිකෙන් ටික විශ්වවිද්‍යාල විෂය නිර්දේශ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්න පටන් ගන්න ඕන. නැත්නම් අපට ලෝකයට වඩා ගොඩක් පසුපසින් තමයි යන්න වෙන්නේ. ඉංග්‍රීසි භාෂාව දියුණු වුණා නම් මේ රටේ ලොකු වෙනසක් වෙයි," මහාචාර්යවරිය පැවසීය.

මේ අතර, මහාචාර්යවරිය පැවසුවේ, බදු බර ඇතුළු විවිධ හේතු මත විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් විදෙස්ගත වෙමින් සිටින බව ය.

එය දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට දැඩි ලෙස බලපානු ඇති බවට ඇය අනතුරු අඟවයි.

"ඇත්තට ම ඒක කනගාටුදායක තත්ත්වයක්. නමුත් මම තීරණය කරල තියෙන්නේ රට හැරලා නොයන්නයි. මොක ද මම නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත සාමාන්‍ය පවුලකින් ආව කෙනෙක්. ඒ නිසා රට වෙනුවෙන් පෙරළා යමක් කරන්න මම මාර්ග හොයනවා."

"ළාබාලතම මහාචාර්ය ලේබලය මට ආභරණයක් නොවෙයි"

"අවංකව ම මම මහාචාර්ය වුණාට පස්සේ ෆේස්බුක් එකේවත් කොහේවත් මම ලියලා නෑ මම ළාබාලතම මහාචාර්ය කියලා. අපේ ෆීල්ඩ් එකේ අය දන්න නිසා මට එහෙම කියනවා. අපේ ක්ෂේත්‍රයේ මහාචාර්යවරු අඩු නිසා ළාබාලතම කෙනාව අඳුනගන්න ලේසි යි. නමුත් මම කැමති නෑ මම ළාබාලතම මහාචාර්යවරිය කියලා ලේබල් ගහගන්න. අපට අගැයීමක් ලැබෙන්න ඕන ලේබල්වලින් නෙවෙයි. අපි කරල තියෙන පර්යේෂණ සහ අපේ සුදුසුකම් මත තමයි අපට වැදගත්කමක් ලැබිය යුත්තේ," මහාචාර්ය මධුභාෂිණී හේවගේ ප්‍රකාශ කළා ය.

මහාචාර්ය මධුභාෂිණී හේවගේ සිය අධ්‍යාපන ගමන් මග අතරතුර වාර්තා කිහිපයකට ද හිමිකම් කීවා ය.

  • කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ පළමු පෙළ ගෞරව උපාධියක් හිමි කර ගත් පළමු ශිෂ්‍යයා/ශිෂ්‍යාව.
  • සන්නිවේදන විෂය සඳහා ආචාර්ය උපාධියක් හිමි කර ගත් ශ්‍රී ලංකාවේ ළාබාලතමයා.
  • ශ්‍රී ලංකාවේ සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයේ ළාබාලතම මහාචාර්ය.