කෙන්යාවේ කෙල්වින් කිප්ටම්: ලෝක වාර්තාවකට හිමිකම් කී මැරතන් ශූරයා රිය අනතුරකින් මරුට

කෙල්වින් කිප්ටම් පසුගිය ඔක්තෝබර් මාසයේදී චිකාගෝහිදී එලියුඩ් කිප්චෝගේ තැබූ ලෝක වාර්තාව බිඳ දැමීය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කෙල්වින් කිප්ටම් පසුගිය ඔක්තෝබර් මාසයේදී චිකාගෝහිදී එලියුඩ් කිප්චෝගේ තැබූ ලෝක වාර්තාව බිඳ දැමීය
    • Author, සෙලෙස්ටින් කරෝනි
    • Role, බීබීසී ක්‍රීඩා අප්‍රිකාව, නයිරෝබි

මැරතන් පිරිමි ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යාවේ 24 හැවිරිදි කෙල්වින් කිප්ටම් සිය මව්බිමේදී සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු ඉරිදා බටහිර කෙන්යාවේ මාර්ගයක මෝටර් රථයක ගමන් කරමින් සිටියදී ඔහුගේ පුහුණුකරු වන රුවන්ඩාවේ ගර්වයිස් හකිසිමානා සමග ජීවිතක්ෂයට පත් විය.

කිප්ටම් 2023 වසරේදී විශිෂ්ට මැරතන් ධාවකයෙකු වන එලියුඩ් කිප්චෝගේගේ ප්‍රතිවාදියෙකු ලෙස දැඩි අවධානයට ලක් විය.

පසුගිය ඔක්තෝබර් මාසයේදී චිකාගෝහිදී කිප්ටම් සැතපුම් 26.1ක් (කිලෝමීටර් 42) පැය දෙකයි තත්පර 35කින් වාර්තා කරමින් කිප්චෝගේ දක්ෂතාව අභිබවා ගියේ ය.

මෙම වසර අගදී පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උළෙලේ තරග වැදීමට කෙන්යාවේ තාවකාලික මැරතන් කණ්ඩායම සඳහා ද මෙම ක්‍රීඩකයින් දෙදෙනා නම් කර තිබිණි.

කිප්ටම්ට උපහාර දක්වමින් කෙන්යානු ක්‍රීඩා ඇමති අබාබු නම්වම්බා Xහි මෙසේ ලිවීය: "අතිශයින් ම ඛේදනීය යි!! කෙන්යාවට අහිමි වුණේ සුවිශේෂී මැණිකක්. ඒ ගැන කියා ගන්න වචන නෑ."

කෙන්යාවේ විපක්ෂ නායක සහ හිටපු අගමැති රයිලා ඔඩිංගා පැවසුවේ රටට "සැබෑ වීරයෙකු" අහිමි වී ඇති අතර "විශිෂ්ට පුද්ගලයෙක්... සහ කෙන්යානු මලල ක්‍රීඩාවේ සලකුණ" අහිමිවීම ගැන තමන් කම්පා වන බව ය.

ලෝක මලල ක්‍රීඩා සභාපති සෙබස්තියන් කෝ පැවසුවේ කිප්ටම් යනු, "ඇදහිය නොහැකි උරුමයක් ඉතිරි කර යන ඇදහිය නොහැකි මලල ක්‍රීඩකයෙකු" බව ත් "අපට ඔහු නැති අඩුව මහත් සේ දැනෙනු ඇති" බව ත් ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම රිය අනතුර ඉරිදා එරට වේලාවෙන් රාත්‍රී 11:00ට සිදු වූ බව පොලිසිය උපුටා දක්වමින් ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

අනතුර පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා දෙමින් පොලිසිය පැවසුවේ, කිප්ටම් රියැදුරු ලෙස කටයුතු කර ඇති බව ත්, මෝටර් රථය "පාලනය කර ගත නොහැකිව පෙරළීමෙන් එහි ගමන් කරමින් සිටි දෙදෙනා එම ස්ථානයේදී ම මිය ගිය" බව ත් ය.

ඒඑෆ්පී උපුටා දක්වන ලද ප්‍රකාශකයෙකු පැවසුවේ, තුන්වන මගියා එනම්, කාන්තාවක තුවාල ලබා "කඩිනමින් රෝහල්ගත කර ඇති" බව ය.

පසුගිය සතියේ ඔහුගේ කණ්ඩායම නිවේදනය කළේ, ඔහු රොටර්ඩෑම් මැරතන් තරගයේදී පැය දෙකකට අඩු කාලයකින් දුර ධාවනය කිරීමට උත්සහ කරන බව ය. එය විවෘත තරගයකදී කිසි දා අත්කර නොගත් ජයග්‍රහණයකි.

දෙදරු පියෙකු වන ඔහු ඉතා කෙටි කලින් ජනප්‍රියත්වයට පත් විය. ඔහු පළමු වරට පූර්ණ මැරතන් තරගයක් සඳහා සහභාගී වූයේ 2022 වසරේදී ය.

තමන් සතුව සපත්තු යුගළක් නොතිබුණු බැවින් ඔහු මීට වසර හතරකට පෙර ඔහුගේ ක්‍රීඩා දිවියේ පළමු ප්‍රධාන තරගය සඳහා තරග කළේ, වෙනත් කෙනෙකුගෙන් ඉල්ලා ගත් සපත්තු යුගළක් පැළඳගෙන ය.

ඔහු දිගු දුර ධාවන තරග සඳහා සම්බන්ධ වීමට පෙර ධාවන පථවල කෙටි දුර ධාවන තරග සඳහා සම්බන්ධ වන අතීත සම්ප්‍රදායෙන් ඉවත් වී දිගු දුර තරග සඳහා ඍජුව ම සහභාගී වී තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ කෙන්යානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නව කණ්ඩායමේ සාමාජිකයෙකු විය.

කිප්ටම් පසුගිය වසරේ බීබීසීයට පැවසුවේ, ඔහුගේ මෙම අසාමාන්‍ය තේරීම හුදෙක් සම්පත් හිඟයක් මත තීරණය වූ බව ය.

"ධාවන පථවල පුහුණුවීම්වලට යන්න මට සල්ලි තිබුණේ නෑ," ඔහු පැහැදිලි කළේ ය.

ඔහුගේ පුහුණුකරු 36 හැවිරිදි හකිසිමානා විශ්‍රාමික රුවන්ඩියානු ධාවකයෙකි. පසුගිය වසරේ ඔහු කිප්ටම්ට ලෝක වාර්තාව තැබීමට මාස ගණනාවක් තිස්සේ උපාකර කළේ ය.

පුහුණුකරුවෙකු සහ මලල ක්‍රීඩකයෙකු ලෙස ඔවුන්ගේ සම්බන්ධතාව 2018 වසරේදී ආරම්භ වූ නමුත් ඔවුන් ප්‍රථම වරට මුණගැසුණේ කිප්ටම් ළාබාල වියේදී ය.

"මම ඔහු දන්නේ ඔහු කුඩා පිරිමි දරුවෙක් කාලයේ ඉඳලා. පයට කිසි දෙයක් නැතිව සත්තු බලා ගත්ත කාලයේ ඉඳලා," හකිසිමානා ඉකුත් වසරේ සිහිපත් කළේ ය. "එතකොට 2009 අවුරුද්ද වගේ. මම ඔහුගේ පියාගේ ගොවිපළ ළඟ පුහුණුවීම් කටයුතු කරන ගමන් හිටියේ. ඒ වෙලාවට ඔහු ඇවිල්ලා මගේ විළුඹට පයින් ගහද්දී මම ඔහුව එළවලා දානවා.

"දැන්, ඔහුගේ ජයග්‍රහණය ගැන මම ඔහුට කෘතඥ වෙනවා."