'මට සපත්තු දාලා පුරුදු නැහැ' - ශ්‍රී ලංකාවට පදක්කම් 3ක් දිනා දුන් 72හැවිරිදි ධාවන ශූරිය
වයස අවුරුදු 72 ක් යනු මෙරට වැඩිහිටියන්ගෙන් බහුතරයක් නිවෙස් තුළටවී කුමන හෝ අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් විවේකීව සිටින සමයකි.
එහෙත් මුලතිව්, මුල්ලියාවේ පදිංචි අකිල තිරුනායකි වයස අවුරුදු 72 දි ආසියානු මාස්ටර්ස් මලල ක්‍රීඩා ශූරතාවලියේ දුර දිවීමේ තරග වලින් ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දිනාදීමට සමත්වූවාය.
පිලිපීනයේ පැවති 22 වන ආසියානු මාස්ටර්ස් මළල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 1500 හා මීටර් 5000 දුරදිවීමේ තරග වලින් මෙරටට රන් පදක්කම් හා මීටර් 800 තරගයෙන් ලෝකඩ පදක්කමක්ද, මීටර් 5000 ඇවිදීමේ තරගයෙන් කුසලතා සම්මානයක් දීනා ගැනීමට තිරුනායකි සමත් විය.
තිරුනායකි බන්ධනාගාර ආරක්ෂක නිළධාරිනියක් ලෙස වසර 36 ක් සේවය කොට ඇති අතර, ඇය බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවැත්වූ තරගාවලි රැසකදී ද ජයග්‍රහණ ලබා ඇත.
තමන් කුඩා කළ සිටම ක්‍රීඩාවට සමත්කම් දැක්වූ බවත්,තමන්ට සපත්තු දමා තරගවැදීමට අපහසු බැවින් තමන් කිසිදු තරගයකට සපත්තු පැළඳ තරග නොකරන බව ඇය සඳහන් කළාය.
කෙසේවෙතත් ඉදිරියේ පැවැත්වෙන තරග සඳහා සපත්තු පැළඳ සහභාගි වීමට බලාපොරොත්තු වන බවද ඇය පැවසුවාය.
වැඩිහිටියන් වෙනුවෙන් පවත්වන ඔලිම්පික් තරගයක් වෙනුවෙන් සහභාගිවී ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දීම තමන්ගේ බලාපොරොත්තුව බව ඇය ප්‍රකාශ කළාය.







