උසස් පෙළ විභාගයට පෙනී සිටින ඔබේ දරුවාගේ මානසික යහපැවැත්ම සඳහා ඔබට කළ හැකි දේවල් 5ක්

2008 සැප්තැම්බර් 5 වන දින කොළඹ ඇද හැලෙන වර්ෂාව මැදින් ගමන් කරන ශ්‍රී ලාංකික පාසල් සිසුවියන් සිනහ වෙමින්.

ඡායාරූප මූලාශ්‍රය, LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images

    • Author, බීබීසී සිංහල

වසර 13ක පාසල් ජීවිතය අවසන් වන, ජීවිතයේ ඉදිරි ගමනේ තීරණාත්මක කඩයිමක් වන උසස් පෙළ විභාගයට හොඳින් සූදානම් වීම සේ ම ඊට හොඳින් මුහුණ දීමට මානසික සෞඛ්‍ය අතිශය වැදගත් බව විශේෂඥ අදහසයි.

එවැනි පසුබිමක පසුගිය දා බලංගොඩ ප්‍රදේශයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියකගේ නිවසට ඇයගේ පියා විසින් ගිනි තබන ලද සිදුවීමක් මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි.

ඉන් එම දැරියගේ පාසල් පොත් සහ ඇඳුම් විනාශ වී තිබුණු අතර සැකකාර පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.

දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ තවත් සිදුවීමක, මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියක හදිසියේ මිය යාමේ පුවතක් වාර්තා විය. කෙසේ වෙතත්, පොලිසිය ප්‍රකාශ කර තිබුණේ දැරියගේ මරණයට නිශ්චිත හේතුව අනාවරණය වී නොමැති බව ය.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සමත් වීම පමණක් ප්‍රමාණවත් නොවන, සීමිත පිරිසකට පමණක් විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමි වන ශ්‍රී ලංකාව වැනි රටක උසස් පෙළ විභාගය දැඩි තරගකාරී මෙන් ම දරුවන්ට දැඩි මානසික පීඩනයක් එල්ල කරන බව නොරහසකි.

වසර දෙකහමාරක සූදානම් වීමේ කාල සීමාව පමණක් නොව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ද යහපත් මානසික තත්ත්වයක පසුවීම විභාග ප්‍රතිඵලයට බලපාන බව විශේෂඥ අදහසයි.

මේ, විභාග සමයේ දරුවන්ගේ මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමට දෙමව්පියන් වශයෙන් ඔබට කළ හැකි දෑ පිළිබඳව කෙරෙන විමසා බැලීමකි.

1. හිත හොඳින් තියන්න

විභාගයට මුහුණ දෙන දරුවෙකු නිවසේ සිටන විට දරුවාගේ විභාග ආතතිය පිළිබඳ අවබෝධයෙන් පවුලේ සාමාජිකයින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ළමා හා යොවුන් මනස පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී, වෛද්‍ය ඉෂානි ආරියචන්ද්‍ර බීබීසී සිංහල සමග සංවාදයට එක් වෙමින් අවධාරණය කළා ය.

"තරුණ ළමයෙක් විදියට ඒගොල්ලෝ ඉන්න පීඩනය එක්ක පොඩි දෙයකට පවා තරහා යනවා වෙන්න පුළුවන්. ගෙදර අනිත් අය ඒ පිළිබඳ අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න ඕනේ.

"ළමයා විභාගයට මුහුණ දෙන කාලයේ එයාගේ හිත හොඳින් තියන එක තමයි කරන්න ඕනේ. එයාගේ හිත රිදෙන්න මුකුත් කියන්නේ නැතුව, හිත රිදෙන මොනවා හරි කියන්න තියෙනවා නම්, ඒක විභාගය ඉවර වෙනකම් පස්සට කල් දාන්න පුළුවන්," ඇය පැහැදිලි කළා ය.

ඊට අමතරව දරුවාගේ නින්ද සහ පෝෂණය කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බව ඇය පෙන්වා දුන්නා ය.

ඇය පැවසුවේ, "ළමයට හොඳ නින්දක් ලබා ගන්න එක, කෑම ටික වෙලාවට සපයන එක," කළ යුතු බව ය.

2. ලේසි ද කියලා අහන්න එපා!

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

විභාගය අවසන් වූ පසුව ඒ පිළිබඳව විමසීම නොසුදුසු බවත් එය ද දරුවන්ට මානසික පීඩාවක් ගෙන දෙන්නක් බවත් ළමා හා යොවුන් මනස පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරිවරිය අවධාරණය කළා ය.

"විභාගයෙන් පස්සේ දැන් කොහාම ද කියලා අහන්න නරකයි. ඒක ලියලා ඉවරයි නේ, පසුවිපරම් කරන එක ප්‍රතිඵල එනකම් අහන්නේ නැතුව ඉන්නවා නම් ගොඩක් හොඳයි. මොකද ළමයා එක විෂයකට මොකක් හරි පසුබෑමක් ඇති වුණා නම් ඒ පිළිබඳ තැවීමක් කරන්න කාලය වැය කරනවා, ඊළඟ දවසේ තියෙන විෂයට කාලය වැය කරන්නේ නැතුව," ඇය පැහැදිලි කළා ය.

"විභාගය ඉවර වෙලා ලේසි ද කියලා අහන්න නරකයි, ලේසි වෙන්න විභාග දෙන්නේ නෑනේ. හුඟක් කට්ටිය ගෙදර එනකොටත් කොහොම ද ලේසි ද කියලා අහනවා. ඒක විභාගය මුහුණ දෙන කෙනාට අනවශ්‍ය පීඩනයක්. විභාග ලේසි වුණත් අමාරු වුණත් ප්‍රතිඵල ආපුවා ම ඒක බලාගන්න පුළුවන්."

දරුවන් නිසි වේලාවට විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සහ නැවත ඒමට අවශ්‍ය පහසුකම් සැලසීම ද ඉතා වැදගත් බව පෙන්වා දුන් වෛද්‍ය ඉෂානි ආරියචන්ද්‍ර, එසේ නොවන්නේ නම්, එය ද දරුවන්ට අනවශ්‍ය පීඩනයක් ගෙන දෙන්නක් විය හැකි බව පැවසුවා ය.

විභගය අවසන් වූ විට ඒ පිළිබඳ නොවිමසා සිටීමට වගබලා ගත යුතු බවට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ හිටපු සභාපතිනි පත්මිණී රණවීර ද අවධාරණය කළා ය.

"විභාගයට උත්තර ලියලා ආවාට පස්සේ ඒක ගැන අහනකොට නැවත කල්පනා කර කර එයාට ලියා ගන්න බැරි වෙච්ච දෙයක් තිබුණොත් එයා පසු තැවෙන්න පටන් ගන්නවා. ඊළඟ දවසේ තියෙන වැඩේට ඒක ප්‍රශ්නයක් වෙනවා. කරපු විභාගය ගැන අහන එකත් සුදුසු නැහැ."

සෙසු දරුවන් සමග සංසන්දනය කරමින් ඔවුන් විභාගයට මුහුණ දුන් ආකාරය විමසීම ද නොකළ යුතු බව ඇය පැවසුවා ය.

3. නිවැසියන් හැසිරිය යුත්තේ කෙසේ ද?

විභාගයට මුහුණ දෙන දරුවෙකුට පාඩම් කටයුතු කිරීමට නිවසේ සුදුසු වතාවරණයක් නොමැති නම් ඒ සඳහා සුදුසු පරිසරයක් ලබා දීම වැදගත් බව ළමා හා වෛද්‍ය ඉෂානි ආරියචන්ද්‍ර පෙන්වා දුන්නා ය.

"වටපිටාවේ තියෙන බලපෑම අඩු කරන්න අපිට කරන්න දේවල් ටිකයි තියෙන්නේ. ගෙදර කට්ටිය විභාගයක් තියෙනවා කියලා දැනගෙන කෑගහනවා නම්, ළමයාට දුකක් ඇති වෙන්න පුළුවන්, මේ අය පවුලේ කට්ටිය වෙලත් ඇයි මට පාඩම් කරන්න උදව් කරන්නේ නැත්තේ කියන එක ගැන," ඇය පැවසුවා ය.

4. සහයෝගය

නිවසේ පරිසරය දරුවාට අමතර පීඩනයක් නොවීම දරුවෙකුට යහපත් මානසිකත්වයකින් යුතුව විභාගයට මුහුණ දීමට ඉතා වැදගත් බව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ හිටපු සභාපතිනි පත්මිණි රණවීර පෙන්වා දුන්නා ය.

එමෙන් ම, දරුවාට විභාගයට අවශ්‍ය පහසුකම් සැලසීම විභාගය පැවැත්වෙන දින සහ වේලාව පිළිබඳව දෙමාව්පියන් ද සැලකිල්ලක් දැක්විය යුතු යැයි ඇය සඳහන් කළා ය.

ඇය ප්‍රකාශ කළේ, "විභාගය ඉවර වෙලා ආවා ම එයාට සුරක්ෂිතම තැන ගෙදර කියන එක" දැනීමට ඉඩ දිය යුතු බව ය.

එමෙන් ම, දෙමව්පියන් මාර්ග අනතුරු ගැන ද සැලකිලිමත් විය යුතු බව ඇය පෙන්වා දුන්නා ය.

"මාර්ග අනතුරු වෙනවා, ඒවා ගැන බය වීම නෙමෙයි, සැලකිලිමත් වීම කළ යුතුයි. එහෙම කරදරයක් නොව විදිහට වගබලා ගැනීම කළ යුතුයි.

"ඒ විදියට භෞතික පරිසරය සකස් කරනවා වගේ ම මානසිකව දරුවාගේ පීඩනය අඩු කිරීමට සැහැල්ලු බව ඇඟවෙන විදිහට ගෙදර අය කටයුතු කරන්න ඕනේ," ඇය පැහැදිලි කළා ය.

හිටපු සභාපතිවරිය පෙන්වා පෙන්වා දුන්නේ, "උසස් පෙළට පෙනී සිටින දරුවකුට වුණත් සහයෝගයක් කියන එක තිබුණොත් එයාට ඒක හයියක්, ශක්තියක්," යනුවෙනි.

5. සවන්දීම සහ සන්නිවේදනය

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ හිටපු සභාපතිනි පත්මිණි රණවීර පැහැදිලි කළේ, විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ දරුවාට සවන් දීම සහ මනා සන්නිවේදනයක් පවත්වා ගැනීම දෙමව්පියන්ට පැවරෙන වගකීමක් බව ය.

"දෙමාව්පියන්ගේ ලොකු වගකීමක් විභාගය පැවැත්වෙන කාලය තුළ දරුවාට ඇහුම්කන් දීම සහ හොඳ සන්නීවේදනයක් පවත්වා ගැනීම.

"අනිත් අය හැමෝම දැනගෙන ඉන්න ඕනේ විභාගය පටන් ගන්න කවදා ද, කීයට ද වගේ දේවල්.

විභාගයට ගෙනියන්න අවශ්‍ය දේවල් එයාට තියෙනවා ද වගේ අඩුපාඩු හොයලා බලන එක," ඇය වැඩිදුරටත් පැවසුවා ය.