2025 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු 6ක්

සිනාසෙන කුඩා දැරියන් පිරිසක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

2025 වසරේ අගෝස්තු මස පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සහ කඩඉම් ලකුණු මේ වන විට නිකුත් කර තිබේ.

පාසල්වලට සිසු සිසුවියන් තෝරා ගැනීම සහ ශිෂ්‍යාධාර පිරිනැමීම සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයේ මෙවර සුවිශේෂී කරුණු කිහිපයක් අනාවරණය විය.

එම කරුණු අපි ඔබට මෙසේ ඉදිරිපත් කරමු.

1. 'කෙටි ම කාලයකින් ප්‍රතිඵල නිකුත් කිරීම'

2025 වසරේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණේ, පසුගිය මාසයේ එනම්, අගෝස්තු මස 10 වන දා ය.

එහි ප්‍රතිඵල නිකුත් කෙරුණේ, ඊයේ එනම්, සැප්තැම්බර් 03 වන දා ය.

ඒ අනුව, ශිෂ්‍යත්ව විභාගය පවත්වා දින 24ක් තුළදී ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ අද (සැප්: 04) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ, 'කෙටි ම කාලයක් තුළ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ අවස්ථාව මෙය' බව ය.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ
ඡායාරූප ශීර්ෂ වැකිය, විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ

2. විභාගයට පෙනී සිටි සංඛ්‍යාව සහ සමත්වූ සංඛ්‍යාව

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් සිසු සිසුවියන් 229,303 දෙනෙක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසු සිසුවියන් 74,368 දෙනෙක් පෙනී සිටියහ.

ඒ අනුව, මාධ්‍ය දෙකෙන් ම විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සංඛ්‍යාව 303,671කි.

ඔවුන් අතරින් සිසු සිසුවියන් 51969 දෙනෙකු දිස්ත්‍රික් කඩඉම් ලකුණු සංඛ්‍යාව ඉක්මවා තිබේ.

ඒ අනුව, විභාගයට පෙනී සිටි සමස්ත දරුවන් සංඛ්‍යාවෙන් 17.11%ක් කඩඉම් සීමාව ඉක්මවා තිබේ.

එය පසුගිය වසරට සාපේක්ෂව 1.06%ක ඉහළ යාමකි.

3. වැඩි ම ලකුණු

මෙවර විභාග ප්‍රතිඵල අනුව ශිෂ්‍යත්ව විභාගයේ ලබාගෙන ඇති වැඩි ම ලකුණු සංඛ්‍යාව 198 (සිංහල මාධ්‍යය)කි.

එය පසුගිය වසරට සංඛ්‍යාව ලකුණු 10ක අගයකින් ඉහළ ගොස් තිබේ.

පසුගිය වසරේ සිංහල මාධ්‍යයෙන් ලබා ගත් වැඩි ම ලකුණු සංඛ්‍යාව වූයේ, 188කි.

දෙමළ මාධ්‍යයෙන් ලබාගෙන ඇති වැඩි ම ලකුණු සංඛ්‍යාව 194කි.

4. ශිෂ්‍යත්ව 20,000ක්

2025 වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 20,000කට ශිෂ්‍යාධාර පිරිනැමීමට පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසීය.

ඉන්, ශිෂ්‍යත්ව 258ක් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පිරිනැමීමට නියමිත ය.

ඊට අමතරව, පාසල් තෝරා ගැනීම සඳහා ද ශිෂ්‍යත්ව සමතුන්ට අවස්ථාව හිමි වනු ඇත.

5. කඩඉම් ලකුණු

මෙවර දිස්ත්‍රික් කඩඉම් ලකුණු සංඛ්‍යාව සිංහල මාධ්‍යයෙන් 140ක් වන අතර, දෙමළ මාධ්‍යයෙන් 134කි.

පළාත් මට්ටමින් ලකුණු 70ට වඩා ලබා ගත් දරුවන්ගේ ඉහළ ම සාධනය පෙන්නුම් කර ඇත්තේ, සබරගමු පළාත ය. එහි විභාගය සමත් වීමේ ප්‍රතිශතය 74.59%කි. දකුණු පළාත (72.82%) සහ වයඹ පළාත (72.56%) පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථාන හිමි කරගෙන තිබේ.

පළාත් වශයෙන් කඩඉම් ලකුණු අනුව ඉදිරියෙන් ම සිටින්නේ ද, සබරගමු පළාත ය. එම පළාතේ 21.29%ක ප්‍රතිශතයක් කඩඉම් ලකුණු සීමාව ඉක්මවා තිබේ.

20.16%ක් සහ 18.77%ක් කඩඉම් ලකුණු සීමාව ඉක්මවා ගොස් ඇති ඌව සහ දකුණු පළාත් දෙවන සහ තෙවන ස්ථාන හිමි කරගෙන ඇත.

දිස්ත්‍රික්ක වශයෙන් ගත් කල, කඩඉම් ලකුණු පසු කළ වැඩි ම සිසු සිසුවියන් පිරිසක් සිටින දිස්ත්‍රික්ක වන්නේ, පිළිවෙළින් හම්බන්තොට, රත්නපුර සහ යාපනය යන දිස්ත්‍රික්ක යි.

6. අභියාචනා ඉදිරිපත් කිරීම

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇතොත් ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට ද අවස්ථාවක් පවතී.

ඒ සඳහා අයැදුම් කිරීමට හැකියාවක් පවතින අතර, ඊට ඉදිරියේදී දින ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවසීය.