ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
X-Press Pearl: වන්දි අය කර ගැනීමේ ක්‍රියාදාමය ගැන විනිසුරු අචල වෙංගප්පුලිගෙන් පැහැදිලි කිරීමක්
- Author, බීබීසී සිංහල
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් නඩුකර වලදී ගෙවෙන ලෙස නියම කෙරුණු වන්දි මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් එම නෞකාවේ විදේශීය සමාගමට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බලා ලබන ජනවාරි මස 26 වැනිදා අධිකරණයට කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (සැප්තැම්බර් 25 වැනිදා) නීතිපතිවරයාට නියම කළේය.
වන්දි ගෙවීම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.
ඒ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීය.
මෙහිදී අදාළ පෙත්සම්වල වග උත්තරකරුවකු ලෙස නම් කර ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට සම්බන්ධ විදේශීය සමාගමක් වන එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය පෙරකලාසිය ඉවත් කරගන්නා බව අධිකරණයට දැනුම් දුන්නේය.
ඉන් අනතුරුව එම සමාගම වෙනුවෙන් නීතිඥ නියෝජනයක් අධිකරණය හමුවේ ඉදිරිපත් වූයේ නොමැත.
අනතුරුව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ කරුණු දක්වමින් අදාළ නෞකා අනතුරින් සිදුවූ පාරිසරික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් වසරක් තුළ ගෙවන ලෙස අදාළ නෞකාවේ විදේශීය සමාගම වෙත ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවයි.
එම වන්දි මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් සැප්තැම්බර් මස 23 වැනිදා හෝ ඊට පෙර ගෙවිය යුතු බවට නියෝග කර තිබුණත් එම මුදල් මෙතෙක් ගෙවා නොමැති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.
මේ තුළින් අදාළ සමාගම අධිකරණයට අපහාසයක් කර තිබෙන බවත් පැමිණිල්ලක් නොමැතිව වුවද අදාළ සමාගමට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ කටයුතු කිරීමට හැකියාව තිබෙන බවත් පෙන්වා දුන් නීතිඥවරයා එම සමාගමේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව සුදුසු නඩු විභාගයක් පවත්වා දඬුවම් පැමිණි විය යුතු බවත් ඉල්ලා සිටියේය.
ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරනු ලැබූ වන්දි මුදල් ගෙවීම පැහැර හැරීම තුළින් වග උත්තරකාර සමාගම අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව පෙන්වා දුන්නාය.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි සෙසු නීතිඥවරුද මෙම කරුණු වලට එකඟතාවය පළ කළහ.
නියම කළ වන්දි මුදලින් රුපියල් මිලියන 300 මුදලක් ගෙවයි
ඉන් අනතුරුව අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළ වන්දි මුදලින් රුපියල් මිලියන 300 මුදලක් ගෙවා තිබෙන බව සඳහන් කළේය.
තම සමාගමට ගෙවිය හැකි මුදල එපමණක් බවත් ඊට වඩා වැඩි මුදලක් ගෙවීමට ඔවුන්ට මූල්‍ය හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
තම සේවාදායකයා අධිකරණයට අවනත වී අදාළ වන්දි මුදල් ගෙවීමට කටයුතු කර ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඔවුන් අධිකරණයට අපහාසයක් කර නොමැති බවත් සඳහන් කර සිටියේ ය.
ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නිකුත් කළ නියෝගවලට අනුව වන්දි කොමිසම සහ පාරිසරික හානි ඇගයීමේ කොමිසම ස්ථාපිත කිරීමේ කටයුතු සිදුකෙරෙන බව සඳහන් කළේය.
ඊට අමතරව මෙම සිද්ධියට අදාළ අපරාධ විමර්ශන කටයුතු සිදුකෙරෙන බවත් ඔහු පැවසීය.
එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ වන්දි මුදල් ගෙවීම පැහැර හැරීම තුළින් වගඋත්තරකාර සමාගම අධිකරණයට අපහාසයක් කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අචල වෙංගප්පුලි විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ අදාළ නෞකා අනතුරින් සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය නීතිමය සීමාව තුළ තමන්ට හැකි උපරිම දේ සිදු කළ බවයි.
ඉන් ඔබ්බට ගොස් මෙම වන්දි අය කර ගැනීමේ ක්‍රියාදාමය ඉටු කිරීම විධායකයේ වගකීමක් බව පෙන්වා දුන් විනිසුරුවරයා වගඋත්තරකාර සමාගමේ අධ්‍යක්ෂවරු සිරභාරයට පත් කිරීමෙන් පමණක් මෙම ගැටළුවට විසඳුම් නොලැබෙන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.
ඉන් අනතුරුව මෙම නඩුකරය සම්බන්ධයෙන් නිකුත් කළ නියෝගවල ප්‍රගතිය විමසා බැලීම සඳහා එම නඩුව යළි ජනවාරි මස 26 වැනිදා කැඳවන ලෙසද විනිසුරු මඩුල්ල නියම කළේය.
අදාළ නෞකා අනතුර තුළින් ධීවර ප්‍රජාව සහ පරිසරයට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව හතරක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ඉදිරිපත් කර තිබිණි.
නඩු තීන්දුවේ සඳහන් වුයේ කුමක් ද?
2021 වසරේ කොළඹ වරායට ආසන්න මුහුදු තීරයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් ඇති වූ පාරිසරික මෙන් ම ආර්ථික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නෞකා සමාගමට ඉකුත් ජුලි මස 24 වැනිදා නියම කරන ලදී. එම වන්දි මුදල් භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවට තීන්දුවේ සඳහන් විය.
එම වන්දි මුදල් වසරක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බව ත්, එය කොටස් වශයෙන් ගෙවිය හැකි බව ත් සඳහන් කළ හිටපු අගවිනිසුරුවරිය එහි පළමු ගෙවීම සැප්තැම්බර් මස 23 වන දාට පෙර ගෙවීමට පියවර ගත යුතු බවටත් තීන්දු කළා ය.
මීට අමතරව මෙම ව්‍යවසනය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ ව්‍යවස්ථාපිත වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් එවක විෂය භාර අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ හිටපු සභාපති දර්ශනී ළහඳපුර සහ නීතිපතිවරයා මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවේ සඳහන් වේ.
මෙම වන්දි ගෙවීමේ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව මාස තුනකින් වාර්තා ඉදිරිපත් කළ යුතු බවට ද නීතිපතිවරයාට නියෝග කෙරිණි.
'වන්දි ගෙව්වොත් අනෙක් රටවලට ඒක නරක පුර්වාදර්ශයක්'
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් නියම කළ අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදල ගෙවීම X-Press Feeders නෞකා සමාගම විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ප්‍රංශ පුවත් සේවය (AFP) වාර්තා කර තිබිණි.
එම පුවත් සේවය සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී X-Press Feeders නෞකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ෂුමෙල් යෝස්කොවිට්ස් (Shmuel Yoskovitz) පවසා ඇත්තේ වන්දි ගෙවීමක් කළහොත් එයින් පවතීන සමුද්‍රීය සම්මුතීන්ට දැඩි බලපෑමක් ඇති කරන බවය.
මෙම වන්දි මුදල ගෙවීම සිදුකළහොත් එය අනෙකුත් රටවලට ද වැරදි පූර්වාදර්ශයක් සපයන බවද ඔහු එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, සිදු වූ හානිය සම්බන්ධයෙන් කණගාටු වන අතර මෙම අනතුර වෙනුවෙන් වන්දි ගෙවීම කිසිවිටෙකත් පැහැරහැරීමක් සිදුනොකළ නමුත් එම වන්දි ගෙවීම් සිදුකරන්නේ අදාළ සමුද්‍රීය සම්මුතීන්ට අනුකූලව සමස්ත අවසන් වන්දි ගෙවීම් මුදලක් ගණනය කිරීමෙන් පසුව බවය.
'දිවුරුම් ප්‍රකාශයක් එක්ක මුදල් ගෙවීමක් කරලා තියෙනවා'
විදෙස් පාර්ශව වන්දි මුදල් නොගෙවෙන බවට ප්‍රකාශ කර තිබුණ ද එම නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම විසින් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් රුපියල් මිලියන 300ක් භාණ්ඩාගාරයට ගෙවා ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ බීබීසී සිංහල සේවය වෙත පැවසුවේය.
"මේ නඩු තීන්දුවේ එක්ස්ප්‍රස් පර්ල් ගෘප් කියලයි සඳහන් වන්නේ. එතන සමාගම් 05ක් විතර තියෙනවා. මේ නඩුවේදී විදෙස් පාර්ශව මොනවා කිව්වත් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම (සැප්තැම්බර් 22) දිනයේදී භාණ්ඩාගාරයට දිවුරුම් ප්‍රකාශයක් එක්ක රුපියල් මිලියන 300ක් ගෙවලා තියෙනවා.''
''ඒ දිවුරුම් ප්‍රකාශයේ මේ සමාගම සඳහන් කරලා තියෙනවා තමන්ට මුදල් නැති නිසා රුපියල් මිලියන 300ක් ගෙවලා තියෙනවා. එතැනදී ඔවුන් අධිකරණයේ තීන්දුවට ගරු කරනවා කියන එකයි මේ මුලික ගෙවීමෙන් පෙන්නුම් කරන්නේ. මොකද අද වෙද්දී ඔවුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් ගෙවන්න තිබුණේ.''
''මේ නඩුවේ එක තීන්දුවක් විතරයි ඇමෙරිකානු ඩොලර් බිලියනයක් ගෙවන්න කියලා තියෙන්නේ. ඊට අමතරව මේ නඩුවේදී තවත් කරුණු කිහිපයක්ම තියෙනවා ඉදිරියේදී තීරණය කරන. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉදිරි නඩු දිනයේ දී ඒ සම්බන්ධයෙන් අපිට වැඩිදුර තොරතුරු දැන ගන්න පුලුවන් වේවි." මෙම නඩුවේ දෙවන පැමිණිලිකාර පාර්ශවය වන පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ පැවසුවේය.
එක්සත් ජාතීන්ගෙන් නිවේදනයක්
මේ අතර එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර ව්‍යසනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට අනුකූල වීම සිංගප්පූරුව පදනම් කරගත් නැව් සමාගමක් වන එක්ස්ප්‍රස් ෆීඩර්ස් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය කනස්සල්ල පළ කර තිබේ.
සිය X ගිණුම ඔස්සේ සටහනක් තබමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මේ බව ප්‍රකාශ කර ඇත.
"මිනිසුන්ට, වෙරළ තීරයට සහ සමුද්‍ර ජීවීන්ට සිදුවන හානියේ පරිමාණය සමාලෝචනය කරන ලෙස ත්, ප්‍රජාවන්ට සහ පරිසර පද්ධතියට යුක්තිය ඉටු කරන ලෙස ත් අපි නැව් සමාගමෙන් ඉල්ලා සිටිමු," එම X නිවේදනයේ සඳහන් වේ.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය සමාගම් නියෝජිතයා විසින් අදාළ වන්දි මුදලින් යම් කොටසක් මේ වන විට ගෙවා ඇති පසුබිමක මේ සම්බන්ධ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගය කුමක් විය හැකි ද යන්න සැප්තැම්බර් මස 25 වැනිදා කැඳවීමට නියමිතව ඇති නඩු වාරයේදී දැන ගැනීමට හැකිවනු ඇත.