ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දීය වෙරළට ඔබ්බෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිනි ගැනීමෙන් කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු අතුරුදන්
දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ වෙරළට ආසන්නයේ අරාබි මුහුදේ සිංගප්පූරු ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකාය අඛණ්ඩව උත්සාහ කරමින් සිටී.
කොළඹ සිට ඉන්දියාවේ මුම්බායි නගරය බලා ය්‍රාතා කරමින් තිබූ MV Wan Hai 503 නෞකාවේ බහාලුම් පිපිරීමක් සදුදා වාර්තා වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස නෞකාවේ විශාල ගින්නක් ඇති විය.
නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දහඅට දෙනෙකු බේරාගෙන ඇති අතර, හතර දෙනෙකු අතුරුදන් වී ඇත. ගලවා ගැනීමේ කටයුතු සඳහා සහාය වීමට සිංගප්පූරුව ද කණ්ඩායමක් යවා තිබේ.
නෞකාවේ තෙල් කාන්දුවක් සහ සුන්බුන් ඇතිවීමේ අවදානමක් හේතුවෙන් ඉන්දීයාවේ ජාතික සාගර තොරතුරු සේවා මධ්‍යස්ථානය (INCOIS) කේරළ වෙරළ තීරයට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අඟහරුවාදා ලබා ගත් වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ ඉන්දීය නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය ගින්න නිවා දැමීමට දැඩි ප්‍රයත්නයක නිරතවන අතරතුරත්, MV Wan Hai 503 නෞකාවෙන් විශාල දුමාරයක් පිටවන ආකාරයයි.
නෞකාවේ ගිනි ගැනීම් සහ පිපිරීම් අඛණ්ඩව සිදුවන අයුරු දක්නට ලැබුණු බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය පැවසීය.
සඳුදා සිදු කරන ලද සෝදිසි කිරීමේ හා ගලවා ගැනීමේ මෙහෙයුමේදී, නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් විසි දෙදෙනාගෙන් 18 දෙනෙකු බේරාගෙන ගොඩබිමට රැගෙන එන ලද අතර, ඔවුන්ගෙන් සමහරෙක් තුවාල සඳහා ප්‍රතිකාර ලබමින් සිටිති.
ගින්න හටගත් විට කාර්ය මණ්ඩල සාමාජිකයින් නෞකාව අතහැර දමා බෝට්ටුවකින් පිටත්ව ගොස් ඇති අතර පසුව නාවික හමුදාව විසින් ඔවුන් බේරා ගත් බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.
සිංගප්පූරු සමුද්‍රීය හා වරාය අධිකාරිය (MPA) පැවසුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති බවයි - ඔවුන්ගෙන් දෙදෙනෙක් තායිවාන ජාතිකයින් අතර සෙසු දෙදෙනා මියන්මාර සහ ඉන්දිනීසියානු ජාතිකයන් වේ.මුදා ගැනීමේ කටයුතු සඳහා සහාය වීම සඳහා කණ්ඩායමක් යවා ඇති බව සිංගප්පූරු සමුද්‍රීය හා වරාය අධිකාරිය (MPA )පැවසීය.
කේරළ වරාය අමාත්‍ය වී.එන්. වාසවන් පැවසුවේ නෞකාවේ තිබූ බහාලුම් 50 ක් මුහුදට වැටී ඇති බවයි.
නෞකාවේ බංකර් තෙල් ටොන් 100 ක් රැගෙන ගොස් ඇතැයි මාතෘභූමි ප්‍රවෘත්ති සේවය වාර්තා කළේය. නෞකාවෙන් වැටුණු බහාලුම් කේරළ වෙරළ තීරය දිගේ පාවෙමින් තිබූ බවත්, ඉදිරි දින තුන තුළ එවා වෙරළ තීරය දෙසට ගසාගෙන යා හැකි බවත් INCOIS ආයතනය මනෝරාමා ප්‍රවෘත්ති සේවය වෙත පැවසීය.
කේරළ වෙරළ තීරයේදී සති තුනක් ඇතුළත වාර්තාවූ මෙවැනිම දෙවන සිදුවීම මෙයයි. පසුගිය මාසයේ අරාබි මුහුදේදී තෙල් සහ අනතුරුදායක භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ, ලයිබීරියානු ධජය සහිත යාත්‍රාවක් කාන්දු වී ගිලී ගිය අතර, එහි හානිකර ද්‍රව්‍ය මගින් සාගර ජීවීන්ට අනතුරක් විය හැකි බවට බියක් ඇති විය.
ඉන්පසු ප්‍රාන්ත රජය නෞකාව අනතුරට පත් වූ ස්ථානයේ සිට නාවික සැතපුම් 20 ක අරයක් සහිත කලාපය තුළ මසුන් ඇල්ලීම තහනම් කළ අතර බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක හතරක ධීවර ප්‍රජාවන්හි පවුල් සඳහා වන්දි ප්‍රකාශයට පත් කළේය.
කේරළ වෙරළබඩ ප්‍රදේශය ජෛව විවිධත්වයෙන් පොහොසත් අතර එම ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ද වේ.