ගාල්ලට නොදුරුව ඇති වැසි වනාන්තරයක් බලන්න යමුද?

ජාතික සංරක්ෂණ විමසුමට අනුව ඉහළ ප්‍රමුඛත්වයක් දී සංරක්ෂණ කළයුතු වනාන්තරයක් ලෙස කොට්ටව රක්ෂිතය නම් කර ඇත.
ඡායාරූප ශීර්ෂ වැකිය, ජාතික සංරක්ෂණ විමසුමට අනුව ඉහළ ප්‍රමුඛත්වයක් දී සංරක්ෂණ කළයුතු වනාන්තරයක් ලෙස කොට්ටව රක්ෂිතය නම් කර ඇත

මුහුදුබඩ ප්‍රධාන නගරයක් ආසන්නයේ පිහිටා ඇති සුවිශේෂී නිවර්තන තෙත් කලාපීය වැසි වනාන්තරයක් සොයා අපි ගාල්ල කොට්ටව වෙත ගියෙමු.

ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල නගරයට ආසන්නව පිහිටා ඇති මෙම රක්ෂිතය කොට්ටව සංරක්ෂණ වනාන්තරය යනුවෙන් හඳුන්වනු ලබයි.

පහසුම ප්‍රවේශ මාර්ගය කුමක් ද ?

ගාල්ල නගරයේ සිට කිලෝමීටර් 13ක දුරින් පිහිටා ඇති මෙම තෙත් කලාපීය වනාන්තරය ශාක සහ සතුන් රැසකට නිවහනකි.

ගාල්ල - උඩුගම ප්‍රධාන මාර්ගය ඔස්සේ ගොස් මෙම රක්ෂිතයට පහසුවෙන් ළඟාවිය හැක. මෙම මාර්ගය ඔස්සේ ගමන් ගන්නා ඕනෑම බස් රථයක ද ගොස් මෙම රක්ෂිතයට ප්‍රවේශ විය හැක.

ගාල්ල - උඩුගම ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් කිහිපයක් මෙම රක්ෂිතය හරහා වැටී ඇත. අප රක්ෂිතයට ළඟා වෙන අවස්ථාවේ වැහිබර කාලගුණික තත්ත්වයක් පැවතුණි.

වනෝද්‍යානය සෑම දිනකම පෙරවරු 8 සිට පස්වරු 4.30 දක්වා විවෘතව පවතියි. ප්‍රධාන මංපෙත පිහිටි කාර්යාලයෙන් ප්‍රවේශපත්‍රයක් ගෙන රක්ෂිතය තුළට ඇතුළු විය යුතුය.

ගාල්ල - උඩුගම ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් කිහිපයක් මෙම රක්ෂිතය හරහා වැටී ඇත.
ඡායාරූප ශීර්ෂ වැකිය, ගාල්ල - උඩුගම ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් කිහිපයක් මෙම රක්ෂිතය හරහා වැටී ඇත

සුන්දරම මංපෙත කුමක් ද?

මේ වනාන්තරයට ඇතුළු වී මඳ දුරක් ගිය විට නොයෙකුත් දිසාවන්ට විහිදුණු මංපෙත් කිහිපයක් දැකිය හැකිය.

එක් මාර්ගයක් අලංකාර තුරුවැල් වියනක් යටින් ඈතට දිව යන ඉතාමත් සුන්දර මංපෙතකි. මෙය වනයේ සුන්දරත්වය නැරඹීය දැකුම්කළු මංපෙතකි. තවත් මාර්ගයක් තේ වගාව සඳහා වෙන් වන අතර පහත රට තේ වගාව නරඹන්නන්ට ඒ මාර්ගයේ ගමන් කළ හැකිය.

මේ වනාන්තරයට ඇතුළු වී මඳ දුරක් ගිය විට නොයෙකුත් දිසාවන්ට විහිදුණු මංපෙත් කිහිපයක් දැකිය හැකිය.
ඡායාරූප ශීර්ෂ වැකිය, මේ වනාන්තරයට ඇතුළු වී මඳ දුරක් ගිය විට නොයෙකුත් දිසාවන්ට විහිදුණු මංපෙත් කිහිපයක් දැකිය හැකිය
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අනෙක් මාර්ගයෙන් කොට්ටව ස්වභාවික ජල තටාකය වෙත ගමන් කළ හැකිය. ස්වභාවික දිය උල්පත්වලින් වතුර ගලා එන මෙම ජල තටාකයෙහි නියං සමයේදීවත් ජලය නොසිඳේ. මෙම ජල තටාකය දෙස් විදෙස් සංචාරකයන් බහුලව නරඹන ස්ථානයක් ලෙස ප්‍රචලිතය.

ශ්‍රි ලංකාව තුළ සංරක්ෂණ වනාන්තර ලෙස දැනට හඳුනාගෙන ඇති වනාන්තර 33 නෙන් එකක් වන මෙම වනාන්තරය අධ්‍යාපනික, පර්යේෂණ, ජෛව විදහාත්මක වැදගත්කම අතින් ඉතා ඉහළ ස්ථානයක් ගනී.

ජාතික සංරක්ෂණ විමසුමට අනුව ඉහළ ප්‍රමුඛත්වයක් දී සංරක්ෂණ කළයුතු වනාන්තරයක් ලෙස කොට්ටව රක්ෂිතය නම් කර ඇත.

අධ්‍යාපනික හා පර්යේෂණ කටයුතු සඳහාම වෙන් කළ හෙක්ටයාර් 10 ක ස්වාභාවික වන උද්‍යානයක් මෙම වනාන්තරය තුළ ඇත. මෙම වනාන්තරයට යාබදව තොරතුරු මධ්‍යස්ථානයක්ද පවත්වගෙන යනු ලැබේ. මෙමගින් දෙස් විදේශීය සංචාරකයින්ට හා පාසැල් සිසුන්ට වනාන්තරය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම මෙන්ම වන විද්‍යාත්මක තොරතුරු ලබා දෙනු ලබයි.

මහජනතාව සඳහා අවශ්‍ය පැළ මිලදී ගැනීම සඳහා පැළ තවානක්ද එම ස්ථානයේ පවත්වාගෙන යනු ලැබේ.

මෙම වනාන්තරය තුළ 'නාග ආරණ්‍යය' හා 'මලුවේගොඩ ආරණ්‍යය' යන ආරණ්‍යය සේනාසන ද පිහිටා ඇත.

මුහුදුබඩ ප්‍රධාන නගරයක් ආසන්නයේ පිහිටා ඇති සුවිශේෂී නිවර්තන තෙත් කලාපීය වැසි වනාන්තරයක් සොයා අපි ගාල්ල කොට්ටව වෙත ගියෙමු.
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම රක්ෂිතය තුළින් තුන්දොළ, දුනුකෙයියා දොළ, හල්දොළ, උඩුමුල්ල දොළ ගළා බසින අතර පොල් අතු මෝදර ගඟේ ජලපෝෂක ප්‍රදේශය ලෙසද ක්‍රියා කරයි

මෙහි උසම ප්‍රදේශය යැයි සැළකෙන 'කැකිල්ලගල කන්ද' තැනිතලා භූමි ප්‍රදේශයකි. එම කන්දට නගින ඕනෑම කෙනෙකුට කොට්‌ටව වනාන්තරයේ අසිරිය මෙන්ම ගාල්ල අවට ප්‍රදේශයද දැකිය හැකිය. නමුත් අප ගිය දිනයේ පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයට ගමන් ගන්නා මාර්ගයේ කුඩැල්ලන් සහ සර්පයන් බහුලව ගැවසෙන බැවින් එහි යෑම අවදානම් බව වනසංරක්ෂණ නිලධාරීන් පැවසීය.

වනාන්තරයේ උසම ස්ථානය කැකිල්ලගල වන අතර එහි ගල් ගුහා 2ක් පිහිටා ඇත.

මෙම රක්ෂිතය තුළින් තුන්දොළ, දුනුකෙයියා දොළ, හල්දොළ, උඩුමුල්ල දොළ ගළා බසින අතර පොල් අතු මෝදර ගඟේ ජලපෝෂක ප්‍රදේශය ලෙස ද ක්‍රියා කරයි.

මෙහි උසම ප්‍රදේශය යැයි සැලකෙන කැකිල්ලගල කන්ද තැනිතලා භූමි ප්‍රදේශයකි.
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙහි උසම ප්‍රදේශය යැයි සැලකෙන කැකිල්ලගල කන්ද තැනිතලා භූමි ප්‍රදේශයකි

මෙම වනාන්තරය තුළ පිහිටි යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව මඟින් පවත්වා ගෙන යනු ලබන ජල පොකුණු ද ප්‍රදේශවාසින්ගේ හා සංචාරක ආකාර්ෂණය දිනූ ස්ථානයකි.

වන උද්‍යානය හැර ඉතිරි වනාන්තර කොටස් 1968 දී රාජ්‍ය දැව සංස්ථාව විසින් දැව ඉවත් කර ඇති අතර අනවසර මිනිස් ක්‍රියාකාරකම් නිසා ද වනාන්තරයට හානි පැමිණ ඇත.

දෙවන ලෝක යුද සමයේදී 'බ්‍රිටිෂ් එම්පයර්' නැමැති ආරක්ෂිත යුද මෙහෙයුම් මූලස්ථානයක් කොට්ටව වනාන්තරයේ පවත්වාගෙන ගිය බව ගැමියන් අතර ඇති මතයකි.

මුහුදුබඩ ප්‍රධාන නගරයක් ආසන්නයේ පිහිටා ඇති සුවිශේෂී නිවර්තන තෙත් කලාපීය වැසි වනාන්තරයක් සොයා අපි ගාල්ල කොට්ටව වෙත ගියෙමු.
ඡායාරූප ශීර්ෂ වැකිය, වන උද්‍යානය හැර ඉතිරි වනාන්තර කොටස් 1968 දී රාජ්‍ය දැව සංස්ථාව විසින් දැව ඉවත් කර ඇති අතර අනවසර මිනිස් ක්‍රියාකාරකම් නිසාද වනාන්තරයට හානි පැමිණ ඇත

මෙහි තිබූ මුඩු ඉඩම් වල පයිනස්, ඇරුකේරියා හා දේශීය දැව විශේෂ වගා කර තිබේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වගාකර ඇති පර්යේෂණ බිම් කටිටි විශාල ප්‍රමාණයක් මෙම වනාන්තරය තුළ පිහිටා ඇත.

කොට්ටව සංරක්ෂණ වනාන්තරය තැනි තලා පහත් බිම් ප්‍රදේශයක පිහිටා ඇත. මුහුදු මට්ටමින් මීටර් 50- 150ක් උසින් මෙය පිහිටා තිබේ.

රතු කහ පොඩිසොලික් පස් හා ඇලු වියල් පස් මෙම වනයේ දක්නට ලැබේ. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මි. 2160 -3500 අතර වේ. වර්ෂාපතනයෙන් 2/3ක් මැයි සහ ඔක්තෝම්බර් අතර ලැබෙන අතර මෙම වනය නිවර්ථන තෙත් සදාහරිත වනාන්තර ඝනයට අයත් වේ.

ආවේණික ශාක 45ක්

මෙම වනෝද්‍යානය තුළ ඇති ශාක වර්ග අතරින් ශාක වර්ග හතළිස් පහක් ආවේණික ශාක ලෙස හඳුනාගෙන ඇත.ඒවා නම්

බැදි දෙල්, වැලිපැන්න, හැඩවක , බූහොර, පිනිබෙරලිය, හොර, ගොඩපර, රුක්, තව්වැන්න, වල් දිවුල්, කිරිහැඹිලිය, කන්පෙත්ත, දියතාලිය, දොඩම්කහ, උගුඩුහල්, වල් ජම්බු, වල්ල, අලුබෝ, කැකුණ, වලුකීන, දත්කැටිය, කබර බදුල්ල, කැටබුල්ල, නාමැන්ඩෝරා, උබ්බේරිය, පත්කැල, තලන්, දොරණ, ගල් ඇට, කලුබදුල්ල, දියබෙර, වල්කෝපි, කැකිරිවරා, තිනියදුන්, වනම්, බෙරු, රත්බෙරලිය, මැන්දෝරා, දුන්, බටුකීන, කිරිපෙද්ද, ඇත්හෙරලිය, පොල්හුන්න, දුනුකෙයියා, වෙනිවැල් වේ.

ආවේණික පක්ෂි වර්ග

ගිරාමලිත්තා, සැලළිහිණියා, හබන් කුකුළා, තිත්පිය නිරාසිකයා, අළු කැදැත්තා, හිස කළු කොන්ඩයා යන පක්ෂි විශේෂ මෙම වනාන්තරය තුළ දැකිය හැකිය.

උභය ජීවින්

වකරැලි මැඩියා, වෙල් මැඩියා, කුඩා බැදී මැඩියා, විචල්‍ය ඇටිකිත්තා, සුලබ පහිඹු ගස් මැඩියා, විසිතුරු රතු මැඩියාද මෙහි දැකිය හැකිය.

කටුස්සන්

රළු අඟ කටුස්සා, කරමල් බොදිලියා, පිනුම් කටුස්සා, මුකලන් කටුස්සා, පලා කටුස්සා, ගරා කටුස්සා යන කටුසු විශේෂ ද මෙම වනාන්තරය තුළ දිවි ගෙවති.

මත්ස්‍යයින්

ලේ තිත්තයා, බුලත් හපයා, රතුවරල් පෙතියා, බන්ඩ් තිත්තයා, කර ඇදයා, දණ්ඩියා, හල්මල් දණ්ඩියා, රැවුල් දණ්ඩියා යන මත්ස්‍ය විශේෂවලටද මේ වනාන්තරය නිවහන වී තිබේ.

සර්පයින්

පලා පොළගා, තිත් පොළගා, දාර කරවලා, කුන කටුවා, හාල් දණ්ඩා, ඇහැටුල්ලා, ගරුඩියා ද මෙහි සුලබව දැකිය හැකිය.

ක්ෂීරපායින්

කලවැද්දා, මීමින්නා, දිය බල්ලා, දඬු ලේනා ද මෙහි දිවි ගෙවති.

රළු අඟ කටුස්සා, කරමල් බොදිලියා, පිනුම් කටුස්සා, මුකලන් කටුස්සා, පලා කටුස්සා, ගරා කටුස්සා යන කටුසු විශේෂ ද මෙම වනාන්තරය තුළ දිවි ගෙවති.
ඡායාරූප ශීර්ෂ වැකිය, රළු අඟ කටුස්සා, කරමල් බොදිලියා, පිනුම් කටුස්සා, මුකලන් කටුස්සා, පලා කටුස්සා, ගරා කටුස්සා යන කටුසු විශේෂ ද මෙම වනාන්තරය තුළ දිවි ගෙවති.

මෙහි යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව මගින් නඩත්තු කරනු ලබන කොට්ටව නාන තටාකය වනාන්තරය හරහා ගලා බසින පිල්ල දොළෙන් පෝෂණය වේ. මෙම ස්වාභාවික නාන තටාකයේ විශේෂත්වය නම් වසරේ සෑම කාලයකදීම ජලයෙන් පිරී උතුරා යෑමයි.