ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මේ වසරේ හජ් උත්සවයට මක්කම ගිය බොහෝ දෙනෙකු මිය යාමට බලපෑ හේතු 6ක්
විවිධ රටවලට අයත් වන්දනාකරුවන් අවම වශයෙන් 1300 දෙනෙකුගේ ජීවිත අහිමි කරමින්, මේ වසරේ හජ් වන්දනාව ශෝකාන්තයකින් කෙළවර විය. AFP පුවත් ඒජන්සියේ ගණනය කිරීම් අනුව බහුතර පිරිසක් මියගොස් ඇත්තේ, අධික උෂණත්වය සම්බන්ධ හේතු නිසා ය.
ලෝකයේ විශාලතම සාමූහික ඒකරාශි වීම් අතර ඇති හජ් වන්දනාව හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයින් මිලියන ගණනක් සෞදි අරාබිය වෙන පැමිණෙති.
මූල්‍ය සහ ශාරීරික හැකියාවෙන් යුතු මුස්ලිම් වැසියන්ගේ ජීවිත කාලයට ම එක් වරක් හිමි වන මෙම ආගමික වන්දනාව පසුගිය බදාදා නිල වශයෙන් අවසන් විය.
වාර්තා වූ මරණ සංඛ්‍යාව ස්වාධීනව තහවුරු කර ගැනීමට බීබීසී පුවත් සේවයට නොහැකි විය.
ජූනි 19 සහ 20 යන දිනවල බීබීසී පුවත් සේවය, මරණ සහ සංවිධායකයින්ට එල්ල වූ විවේචන පිළිබඳව අදහස් දක්වන ලෙස සෞදි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය ද, නිල ප්‍රතිචාරයක් නොලැබිණි.
කෙසේ වෙතත්, මේ වසරේ හජ් සමය වෙනුවෙන් වූ සෞඛ්‍ය සැලසුම්වල සාර්ථකත්වය පිළිබඳව සෞදි රාජධානිය වාර්තා කළේ ය.
‘විශාල වන්දනාකරුවන් සංඛ්‍යාවක් සහ අධික උෂ්ණත්වය නිසා ඇති වන අභියෝග පැවතිය ද, හජ් සමය තුළ කිසිදු වසංගත තත්ත්වයක් හෝ මහජන සෞඛ්‍යමය තර්ජනයක් නොවන,’ බව සෞදි සෞඛ්‍ය අමාත්‍ය ෆහාඩ් අල්-ජල්ලායෙල් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබිණි.
සෞදි බලධාරීන් පැවසුවේ, මෙවර චාරිත්‍ර සඳහා වන්දනාකරුවන් මිලියන 1.83ක් පමණ සහභාගි වූ අතර, ඉන් මිලියන 1.6ක් විදෙස් වන්දනාකරුවන් බව ය. පකිස්ථානය, ජෝර්දානය සහ ටියුනීසියාව යන රටවලින් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් පැමිණ තිබිණි.
මෙම වසරේ හජ් උත්සවයේදී බොහෝ දෙනෙකුගේ මරණයට හේතු විය හැකි සාධක පිළිබඳව බීබීසීය විමසා බැලීය:
අධික උණුසුම
සෙල්සියස් අංශක 51.8 දක්වා ඉහළ ගිය සෞදි අරාබියේ අධික උෂ්ණත්වය, මරණ සංඛ්‍යාව ඉහළ යාම පසුපස ඇති ප්‍රධාන සාධකයක් බවට විශ්වාස කෙරේ.
උෂ්ණත්වයට නිරාවරණය වීමෙන් වළකින ලෙසත් ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත්, සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවා තිබියදීත්, බොහෝ වන්දනාකරුවෝ උණුසුම නිසා විවිධ රෝගී තත්ත්වයන්ට ගොදුරු වූහ.
අරාබි රාජ්‍ය තාන්ත්‍රිකයෙකු පැවසුවේ, වන්දනා සමයේදී වාර්තා වූ ඊජිප්තු වැසියන්ගේ මරණ 658 න් සියල්ලකට ම පාහේ අධික උණුසුම හේතු වී තිබූ බව ය. මෙම වන්දනාකරුවන්ගෙන් බොහෝ දෙනෙකුට නිසි හජ් බලපත්‍ර නොමැති වූ අතර, සංවිධායකයින්ගේ සහයෝගය සහ සම්පත් වෙත ප්‍රවේශ වීම සීමා වන්නට ඇත.
‘දෙවියන්ගේ ක්ෂමාව නිසා තමයි මාව බේරුණේ, මොක ද, එහෙ දරාගන්න බැරි තරම් රස්නයක් තිබුණා,’ බීබීසී ලෝක සේවයේ Newsday වැඩසටහනට අදහස් දක්වමින් නයිජීරියානු වන්දනාකාරියක වන අයිෂා අයිඩ්‍රිස් පැවසුවාය.
‘ඒගොල්ලො කාබා (ඉස්ලාම් ධර්මයේ වඩාත් ම වැදගත් පල්ලිය මධ්‍යයේ පිහිටි ශෛලමය ගොඩනැගිල්ල) එකට යන දොරවල් ඔක්කොම වහලා දැම්මා. අපට යන්න වුණේ රස්නෙන් පිච්චෙන වහලය උඩට.’
‘මට කුඩයක් පාවිච්චි කරන්න වුණා. ඒ වගේ ම, නිතර නිතර ශුද්ධ වූ වතුර මගේ ඇඟට ඉහගන්න සිද්ධ වුණා,’
‘එක වෙලාවක මට හිතුණා මාව සිහි නැතුව ඇදගෙන වැටෙයි කියලා. ඒ වෙලාවෙ කෙනෙක් මට කුඩයක් ඉහළලා උදව් කළා. මම බලාපොරොත්තු වුණේ නෑ රස්නය ඒ තරම් දරුණු වෙයි කියලා,’ ඇය පැවසීය.
නායිම් නමැති තවත් වන්දනාකරුවෙක්, ඇයගේ පවුලේ සාමාජිකයින්ට ප්‍රශ්න කිහිපයක් ඉතිරි කර අධික උෂ්ණත්වයේ බලපෑමෙන් මිය ගියා ය.
‘මගේ අම්මා එක්ක තිබුණ සන්නිවේදනය හදිසියේ බිඳ වැටුණා. එයා හජ් වන්දනාව අතරතුර මැරුණා ද කියලා දැන ගන්න අපි දවස් ගාණක් ගත කළා,’ ඇයගේ පුත්‍රයා බීබීසී අරාබි පුවත් සේවයට පැවසීය. මක්කමෙහි මිහිදන් කරන ලෙසට ඇය තුළ වූ කැමැත්තට ගරු කරන බව ද ඔහු සඳහන් කළේ ය.
වන්දනාකරුවෝ නුහුරු උෂ්ණත්වය, දැඩි ශාරීරික ක්‍රියාකාරකම්, විශාල විවෘත අවකාශයන් සහ බොහෝ අය වයෝවෘද්ධ වීම හෝ අසනීප වීම හෝ දෙක ම හේතුවෙන් අවදානම්වලට මුහුණ දුන්හ.
හජ් වන්දනා සමයේදී සිදුවන අධික උෂ්ණත්වයට සම්බන්ධ මරණ අලුත් සිද්ධියක් නොවන අතර, වසර 1400 සිට වාර්තා වී තිබේ.
පසුගිය වසරේදී, වන්දනාකරුවන් අතරින් අධික උණුසුම නිසා මිය ගිය සංඛ්‍යාව 2000 ඉක්මවූ බව සෞදි බලධාරීහු වාර්තා කළහ.
විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ, ගෝලීය උෂ්ණත්වය තවත් නරක අතට හැරීමට නියමිත බව ය.
‘හජ් උත්සවය සහස්‍රයකට අධික කාලයක් උණුසුම් දේශගුණයක් තුළ ක්‍රියාත්මක වූ නමුත්, මෙම තත්ත්වයන් දේශගුණික අර්බුදය නිසා උග්‍ර අතට හැරෙමින් තිබෙනවා,’ රොයිටර්ස් පුවත් ඒජන්සියේ දේශගුණික විශ්ලේෂක කාර්ල්-ෆ්‍රෙඩ්‍රික් ස්ලූස්නර් පැවසීය.
ඔහුගේ පර්යේෂණවලින් පෙනී යන්නේ, පූර්ව කාර්මික යුගයේ පැවති මට්ටමට වඩා ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5කින් ඉහළ යාමත් සමග, හජ් සමයේදී තාප ආඝාත (heatstroke) අවදානම පස් ගුණයකින් වැඩි විය හැකි බව ය.
2030 වසර වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5කින් ඉහළ යනු ඇතැයි වත්මන් ප්‍රක්ෂේපණවලින් පෙන්නුම් කරන අතර, එම තත්ත්වය අනාගත වන්දනාකරුවන් මුහුණ දෙන අභියෝග තවත් තීව්‍ර කරනු ඇත.
තදබදය සහ සනීපාරක්ෂක ගැටලු
ඇතැමුන් කර ඇති ප්‍රකාශ අනුව, සෞදි බලධාරීන්ගේ වැරදි කළමනාකරණය හේතුවෙන් අවදානම් තත්ත්වය උග්‍ර වූ අතර, වන්දනාකරුවන් සඳහා වෙන් කර තිබූ බොහෝ ප්‍රදේශවල ගැටලු ඇති වූ බව පෙනී යයි.
ඔවුන් පවසන්නේ, ප්‍රමාණවත් පරිදි ඉඩක් හෝ සිසිලක් මෙන් ම සනීපාරක්ෂක පහසුකම්වලින් තොර නවාතැන් සහ පහසුකම් කළමනාකරණය ඉතා දුර්වල මට්ටමක පැවති බව ය.
ඉස්ලාමාබාද් සිට පැමිණි 38 හැවිරිදි අමීනා (ඇයගේ සැබෑ නම නොවේ) පවසන්නේ: ‘මක්කම තිබුණ අධික උෂ්ණත්වය මැද්දේ අපේ කූඩාරම්වල වායු සමීකරණ තිබුණෙ නෑ. සවි කරල තිබුණ කූලර්වලත් ගොඩක් වෙලාවට වතුර තිබුණෙ නෑ.’
‘මේ කූඩාරම් ඇතුළේ හුස්ම ගන්නත් අමාරු වුණා. දහඩිය ගලන්න ගත්තා. ඒක භයානක අත්දැකීමක්,’ ඇය වැඩිදුරටත් පවසයි.
ජකර්තාවල සිට පැමිණ වන්දනාකාරියක වූ ෆවුසියා පැවසුවේ, ‘කූඩාරම් තුළ පැවති තදබදය සහ අධික උණුසුම නිසා බොහෝ දෙනෙකු සිහි මුර්ජා වූ,’ බව ය.
‘අපි රෑ වෙනකම් රාත්‍රි ආහාරය බලාගෙන හිටියා. ඒ නිසා කූඩාරම්වල හිටිය මිනිස්සු බඩගින්නෙ හිටියේ," ඇය පැවසූවාය.
එහෙත්, වැඩිදියුණු කිරීම් සම්බන්ධයෙන් ඇය සතුට පළ කරන අතර, ‘හජ් උත්සවයේ මෙතෙක් පැවති හොඳ ම සංවිධානය කිරීම මෙය වන,’ බව ඇය විශ්වාස කරයි.
ප්‍රවාහන ගැටලු
මාර්ග බාධක සහ දුර්වල ප්‍රවාහන කළමනාකරණයට දොස් පවරමින් බොහෝවිට දැඩි උෂ්ණත්වය මධ්‍යයේ දීර්ඝ දුරක් ගමන් කිරීමට වන්දනාකරුවන්ට සිදුවිය.
අනන්‍යතාව හෙළි කිරීමට අකැමැත්ත පළ කළ පකිස්ථාන වන්දනාකාරියක පැවසුවේ, "අපිව වතුර නැති, හෙවණක් නැති කිලෝමීටර් හතක් දුර පාරකට දැම්මා. පොලිසිය මාර්ග බාධක දාලා තිබුණ නිසා අපට අනවශ්‍ය විදිහට දුර ඇවිදින්න සිද්ධ වුණා."
ඇය පැවසූ පරිදි, සෞදි රජයේ වාහන තිබුණ ද, අධික උෂ්ණත්වය නිසා රෝගී වූ සහ සිහි මුර්ජා වූවන් වෙනුවෙන් ඒවා පාවිච්චි කළේ නැත.
‘කඳවුරු ඇතුළේ මිනිස්සුන්ව දාලා තිබුණේ කුකුල්ලු එහෙම නැත්නම් සත්තු වගේ. ඇඳවල් අතර ඇවිදගෙන යන්නවත් ඉඩක් තිබුණෙ නෑ. මිනිස්සු සිය ගණනකට දීලා තිබුණ වැසිකිළි කිහිපය ප්‍රමාණවත් නෑ.’
පෞද්ගලික කණ්ඩායමක හජ් සංවිධායකයෙකු වූ මුහම්මද් අචා එය පිළිගනී.
‘මේ මගේ 18 වන හජ් වන්දනාව. මගේ අත්දැකීම අනුව සෞදි පාලකයෝ පහසුකම් සලසන්නෝ නෙවෙයි. ඔවුන් පාලනය කරනවා, ඒත් උදව් කරන්නෙ නෑ,’ ඔහු පැවසීය.
අචා පවසන පරිදි, ගිම්හාන සමයේ සාමාන්‍ය වන්දනාකරුවෙකුට දිනකට අවම වශයෙන් කිලෝමීටර් 15ක්වත් පයින් යාමට සිදුවේ. මේ හරහා ඔවුන් තාප ආඝාත තත්ත්වයන්ට, මහත් විඩාවට සහ ජලය හිඟකමට නිරාවරණය වේ.
‘කලින් අවුරුදුවල කූඩාරම්වලට පිවිසෙන්න U-turnවලට ඉඩ දුන්නා. ඒත් දැන් ඒ පාරවල් ඔක්කොම වහලා. ඒක නිසා, පළවෙනි කලාපයේ A ශ්‍රේණියේ නවාතැන් ගන්න සාමාන්‍ය වන්දනාකරුවෙකුට වුණත් තමන්ගේ කූඩාරමට යන්න මේ අව්වේ කිලෝමීටර් 2.5ක් ඇවිදින්න වෙනවා,’ ඔහු පැහැදිලි කරයි.
"මේ වගේ පාරක හදිස්සියක් වුණොත්, මිනිත්තු 30කින් මෙහා කිසි කෙනෙක් එන්නෙ නෑ. ජීවිත ආරක්ෂා කර ගන්නවත්, මේ පාරවල්වල වතුර ගන්න තැන් හදන්නවත් සැලසුමක් තිබුණේ නෑ," අචා පැවසීය.
වෛද්‍ය සහය ප්‍රමාද වීම
බොහෝ වන්දනාකරුවන්ට ලැබුණු වෛද්‍ය අවධානය ප්‍රමාණවත් නොවූ බව වාර්තා වී තිබේ.
වන්දනාකරුවන් විශාල පිරිසක් පැවසූ පරිදි, උණුසුම නිසා ඇති වන තෙහෙට්ටුව හෝ වෙනත් සෞඛ්‍ය ගැටලු අත්විඳි පුද්ගලයින්ට ගිලන්රථ සහ ප්‍රථමාධාර ලබා ගැනීම පහසු නොවී ය.
ආවෘතභීතිකාව (claustrophobia) හේතුවෙන් වන්දනාකරුවෙකුට ඔක්සිජන් අවශ්‍ය වූ අවස්ථාවක, ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වූ ආයාචනා නොතකා ගිලන් රථයක් පැමිණීමට මිනිත්තු 25කට වඩා කාලයක් ගත වූ බව අමීනා සිහිපත් කළා ය.
‘අවසානයේ, ගිලන් රථයක් පැමිණි අතර, වෛද්‍යවරයා තත්පර දෙකක්වත් ඔහු දෙස බලන්නෙ නැතුව, එයාට කිසි දෙයක් වෙලා නෑ' කියල යන්න ගියා,’ ඇය වැඩිදුරටත් පැවසුවාය.
කෙසේ වෙතත්, සෞදි සෞඛ්‍ය අමාත්‍යවරයා වන්දනාකරුවන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා වෙන් කර තිබූ පහසුකම් ඉස්මතු කර පෙන්වා දී තිබේ.
රජයේ නිවේදනයක දැක්වුණේ, එම පහසුකම් අතර ඇඳන් 6,500කට වඩා වැඩි ධාරිතාවක් සහිත රෝහල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ ජංගම සායන 189ක් මෙන් ම වෛද්‍ය, තාක්ෂණික, පරිපාලන කාර්ය මණ්ඩල සහ ස්වේච්ඡා සේවකයන් 40,000කට අධික සංඛ්‍යාවක් ඇතුළත් බව ය.
ගිලන් රථ 370 කට වැඩි සංඛ්‍යාවක්, ගුවන් ගිලන් රථ හතක් සහ රසායනාගාර 12ක්, සැපයුම් ට්‍රක් රථ 60ක් මෙන් ම සැලසුම්සහගතව ස්ථානගත කර තිබූ ජංගම වෛද්‍ය ගබඩා තුනකින් සමන්විත ශක්තිමත් සැපයුම් ජාලයක් ඔවුන්ට සහය වූ බව නිවේදනයේ සඳහන් වේ.
හජ් සමය එළඹෙන විට වැඩි සූදානමක් පැවති බව මක්කම සෞඛ්‍ය පර්ෂද අධිකාරිය විස්තර කළේ ය:
‘දැඩි සත්කාර සඳහා ඇඳන් 654ක් ඇතුළුව විවිධ සෞඛ්‍ය පහසුකම් සඳහා ඇඳන් 3,944ක් වෙන් කර ඇති බැවින්, සියලු ම රෝහල්වල සහ මධ්‍යස්ථානවල සියලු ම බාහිර රෝගී සායනවල වැඩ අඛණ්ඩව සිදු කිරීම සහතික කිරීම සඳහා කාර්ය මණ්ඩලය පුහුණු කිරීමට සහ අවශ්‍යතා සපුරාලීමට සියලු හැකියාවන් උපයෝගී කරගෙන තිබෙනවා.’
ලේඛනගත නොවූ වන්දනාකරුවෝ
හජ් වන්දනාවට සහභාග වීමට විශේෂ හජ් වීසා අවසරයක් අයැදුම් කළ යුතු ය.
එහෙත්, ඇතැම් පුද්ගලයෝ නිසි ලියකියවිලින් තොරව වන්දනාවේ නිරත වීමට උත්සහ දරති.
මෙම ‘නිල නොවන හජ් වන්දනාව’ වැඩි වශයෙන් මරණ සිදුවීමට දායක වූ බව පිළිගැනේ.
නිසි ලියකියවිලි නොමැති වන්දනාකරුවන්ට උපකාර අවශ්‍ය වූ විට පවා බලධාරීහු මගහරිති.
ඇතැම් කූඩාරම්වල තදබදය ගැන බලධාරීන් ඔවුන්ට දොස් පවරා තිබේ.
‘හජ් නොවන වීසා තියෙන අය හජ් ප්‍රදේශවලට ඇතුළු වෙලා ඉන්නවා කියලා අපි සැක කරනවා,’ ඉන්දුනීසියාවේ ජාතික හජ් සහ උම්රා කොමිසමේ සභාපති මුස්ටොලිහ් සිරාජ් පවසයි.
AFP පුවත් සේවය, අරාබි රාජ්‍ය තාන්ත්‍රිකයෙකු උපුටා දක්වමින් පැවසුවේ, හජ් බලපත්‍ර නොමැති 630 දෙනෙකු ඇතුළුව, අවම වශයෙන් ඊජිප්තුවරුන් 658 දෙනෙක් මෙවර මිය ගිය බව ය.
අවිධිමත් වන්දනාකරුවන් නුසුක් කාඩ්පත් භාවිතයෙන් හඳුනා ගන්නා බවත්, ඒවා නිල වන්දනාකරුවන්ට ලබා දෙන අතර ශුද්ධ ස්ථානවලට ප්‍රවේශ වීම සඳහා තීරු කේතයක් (barcode) අඩංගු බවත් ඔහු සඳහන් කරයි.
වයෝවෘද්ධ, ආබාධිත හෝ රෝගී වන්දනාකරුවන්
බොහෝ වන්දනාකරුවන් හජ් වන්දනාවට සහභාගි වන්නේ, ඔවුන්ගේ ජීවිතයේ අවසානය එළඹි විට, ජීවිත කාලය පුරාවට ම ඉතිරි කර ගැනීමෙන් පසුව හෝ ඔවුන් මිය යාමට ආසන්න වූ විට ඔවුන් එහිදී මිය යාවි යන බලාපොරොත්තුවෙන් ය.
උදාහරණයක් ලෙස බංගලාදේශයේ මුස්ලිම් ප්‍රජාව සලකන්නේ, හජ් වන්දනාවේ නියැළෙමින් සිටියදී මිය යාම වාසනාවක් බව ය. ඉන් විශේෂ තත්ත්වයක් හිමි වන බව ඔවුහු විශ්වාස කරති.
මෙය, සෑම වසරක ම හජ් වන්දනාවේදී සිදුවන මරණවලට එක් හේතුවකි. 2022-23 හජ් වන්දනා සමයේ සිදුවූ මරණ සංඛ්‍යාව 200ක් පමණ විය.
හජ් වන්දනාව අතරතුර යමෙකු මිය ගියහොත් සිදුවන්නේ කුමක් ද?
හජ් වන්දනාව අතරතුර වන්දනාකරුවෙකු මිය ගියහොත් එම මරණය පිළිබඳව හජ් දූත කණ්ඩායමට වාර්තා කෙරේ. අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ඔවුහු අත්පටි (wristband) හෝ ගෙළට දැමූ අනන්‍යතා පත්‍ර (neck ID) භාවිත කරති. ඉන්පසු, ඔවුහු වෛද්‍ය සහතිකයක් ලබා ගන්නා අතර, සෞදි අරාබිය මරණ සහතිකයක් නිකුත් කරයි.
මරණය සිදුවූ ස්ථානය අනුව, මෙකා නගරයේ මස්ජිඩ් අල්-හරාම් දේවස්ථානයේ හෝ මෙදීනාහි මුහම්මද්තුමාගේ දේවස්ථානයේ අවමංගල්‍ය යාච්ඥා සිදු කෙරේ. මෘත ශරීරය සෝදා, ආවරණය කර අධිශීතකරණවල බහා රැගෙන ගොස් භූමදානය කරන අතර ඒ සඳහා වන සියලු වියදම් සෞදි රජය විසින් දරනු ලබයි.
භූමදානය සරලව සිදුකෙරෙන අතර, ඇතැම්විට එක් ස්ථානයක මළ සිරුරු රැසක් වළ දමයි. සුසාන භූමියේ පොතෙහි භූමදානය කළ තැනැත්තන් ලේඛනගත කරන අතර, එමගින්, භූමදානය කළ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින්ට අවශ්‍ය නම් සොහොන නැරඹිය හැකි ය.
විවිධ කණ්ඩායම්වල සහ රතු අඩසඳ ව්‍යාපාරයේ සහය ඇතිව, "ගෞරවණීය භූමදාන ක්‍රියාවලියක්," සහතික කරන බව සෞදි රජය පවසයි.